Characters to be appreciated

Chandana Gunasekera | 08 Mar, 2016 09:42AM | Leave a comment

" පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා


ගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතුවෙනවා "


අපගේ පිනට පහළවූ පණ්ඩිත් අමරදේවයන් ගයන , අතිශ ජනප්‍රිය , සංවේදී මෙන්ම විරහවෙ සුරතාන්තයටම ගිය මෙම ගීතය සෙන සෑම මොහොතකම ගේ සිතට නිතැතින්ම නැගෙන කාරණා දෙකකි. ඉන් පළමු වැන්න නම් පේරාදෙණිය සරසවියයි. එහි දිවියයි. නෙක් කරුණ නම් මෙහි පද එහෙ මෙහෙ කොට මේ තාලයටම සරසවි කොල්ලන් විසින් සාදාගත් අනෙක් හාස්‍යජනක ගීතයයි. එනම්,


" පෙර දිනයක මා පෙම් කළ හැතිරිය තවෙකකු දක්කනවා


මගේම කලිසම ගජේට ඇඳගෙන උගේ වගේ යනවා"


මෙය මෙසේ කොල්ලන් ගයන බව අමරදේවයෝ දනිති. එතුමන් ඒ බව ප්‍රසිද්ධියේම පවසනුයේ ඉතාමත්ම මැදහත් සිතින් හා සතුටිනි. එමෙන්ම මෙම අමරණීය ගීතය ලියූ ඒ ප්‍රවීණ ගේයපද රචකයාද අවංකවම එය මැදහත් සිතින් ඉවසන ඉතාමත්ම නිහතමානී සොඳුරු මිනිසෙකි. මේ පුංචි සටහන සුනිල් සරත් පෙරේරා නම්වූ ඒ ප්‍රතිභා සපිරි කවියාගේ, ගේයපද රචකයාගේ අද දිනට යෙදෙන ජන්ම සංවත්සරය වෙනුවෙනි.


පණ්ඩිත් අමරදේවයන්, ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන් ඇතුළු පුංචි සිරුරකින් හෙබියද රටේ යෝධයන්වූ මිනිසුන් අතරට මේ පුංචි සිරුරැති නිහතමානී යෝධයාද අයිතිවන්නේ ,එතුමා සිංහල ගීතය නැමති රත්තරන් මාලයට ඔබ්බවා ඇති අගනා මිණිවන් එතුමා ලියූ ගීත පොකුර නිසාවෙනි. එයින් නැගෙන මහා වටිනාකම හා දීප්තිය නිසාවෙනි.


තවත් පුංචි සිරුරකින් හෙබි එහෙත් ඔහුගේ අව්‍යාජ , ශෝකීබරිත හඬින් සුව හසක් රසිකයන් නැලැවූ, හැඬවූ සෝමතිලක ජයමහ නම්වූ ඒ කෘතහස්ත ගායනවේදීයා ගයන සුනිල් සරත් පෙරේරා සූරීන් ලියූ " මහ වරුසාවට පසුව නැඟෙන සඳ", " සැදෑ අඳුර ලොව ගලන වෙලාවට" හා සැන්දෑ අහසේ හිරුට මුවාවෙන්" වැනි ගීත රස විඳ ඒවායේ ජීවත් නොවූයේ නම් කවුරුන්ද?


" මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි


නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි. " මෙහි ඇති සඳ එළිය පිළිබඳ උපමාව කෙතරම් නම් අපූරුද? තාත්විකද?. නෝක්කාඩුවෙන් පසුව බබළන මුහුණක් වැනීමට ඔයිටත් වඩා හොඳ උපමාවක් මටනම් සිතාගන්නටවත් බැරිය. එමෙන්ම සැදෑ අඳුර ගීතය ජයමහ සූරීන්ගේ ඒ සෝබරිත හඬින් ගැයෙද්දී අපට මැවෙන චිත්ත රූපයන්ට බලපාන ප්‍රබලම සාධකය වන්නේ සුනිල් සරත් පෙරේරාගේ වචනය.


එමෙන්ම අමරදේවයන්ම ගයන" ඔබ මා සමඟ අතිනත ගන්නා දවස " ගීතය කෙතරම් නම් හදවත කලඹන අන්දමේ ගීතයක්ද? වරක් රජරට ප්‍රදේශයේ සංචාරයකදී මෙය එසැනින් තැනූ ගීතයක් බව එතුමා මේ ගීතය ගැන අදහස් දැක්වීමකදී පැවසූ බව මට මතකය. මගදී දුටු කන්දක් සිතේ තබාගෙන පදපෙල ලියා , අමරදේවයන් එවෙලේම තනුවක් යොදා ගැයූ මේ ගීතය සදා මතකයේ රැදෙන්නට තරම් ප්‍රබල වූයේ ඔවුන්ගේ ප්‍රතිභාව නිසාය.


මහාචාර්‍ය සංගීත නිපුන් සනත් නන්දසිරි ගයන " යසෝදරා", " මගේ රටට දළදා හිමි සරණයි", " අනෝතත්ත විල නෙළුම නෙළාලා " හා " ඈත එපිට ගම්මානෙක" ඇතුළු තවත් ගීත රාශියක පද බැඳුම්කරුවා මේ පුංචි මිනිසාය. සුනිල් සරත් පෙරේරාය. මේ ගීතය මෙවැනි පතිදම් රකින සියලුම යශෝදරාවන්ට කෙරෙන උපහාරයකි. එමෙන්ම " ඈත එපිට ගම්මානෙන්" ගීතයෙන් වෑහෙන ගැමි සුවඳ. එහි චමත්කාරය. ඉතාමත්ම අනර්ඝය. ආශ්චර්‍යජනකය.


එමෙන්ම එච් එම් ජයවර්ධනයන් සංගීතවත් කළ අමරසිරි පීරිස් සූරීන් ගයන " ඇය යන්න ගියා මැකිලා " ගීතය සුව හසක් තම බිරින්දෑවරුන්ගේ වියෝවින් තැවෙන සැමියන්ට පිදූ මල් මිටක්මය. සුනිල් සරත් පෙරේරාට සහ සංගීතය නිර්මාණය කළ එච් එම් ජයවර්ධනයන්ටද ඒ වියෝ දුකම විඳීමට සිදුවීම දෛවයේ කොතරම් නම් මුරණ්ඩු අකාරුණික තීරණයක්ද?.


ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂක ජෙනරාල් පදවියෙන් පවා පිදුම් ලැබූ මේ සම්මානනීය කලාකරුවාගේ අගය අදටත් වඩා රටට දැනෙන්නේ හෙටටය. අපගේ ප්‍රවිණ කලාකරුවන් එකිනෙකා අප හැර යන මේ සමයේ සුනිලුණි, ඔබ අපට අගනා මැණිකකි. කලාකෙත හා මාධ්‍ය ශේස්ත්‍රය බැබලූ තවත් සුනිළුන් කිහිපදෙනෙකුම අපට ඇත. ඔවුන් සමඟම දිදුලන ඔබ ජාතියට පහළවූ මිණි පහනකි. ඉතිං රසවතාණනි, සොඳුරු නිහතමානී මිනිසානනි, අපේ හද ගැහෙනා රාවය හඳනන සහෘදයාණෙනි, අද දින ජන්ම සංවත්සරය සමරන ඔබගේ දිවි ගමන සාර්ථක වේවා! තව තවත් අගනා නිර්මාණ වලින් අප කලාකෙත පෝෂණය කිරීමට හැකිවේවා! නිදුක් නිරෝගි සුව අත්වේව්යි පතමින් මේ පුංචි සටහන අවසන් කරන්නට මට අවසර. ඔබට චිරං ජයතු!