ප්‍රංශයේ සංඝමිත්තා පින්කමක්

tmadawela | 31 Dec, 2016 12:03AM | Leave a comment
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් වාර්ෂිකව සංවිධානය කරණ සංඝමිත්තා අරහත් මෙහෙණින් වහන්සේ අනුස්මරණය කිරීමේ පිංකම මෙවරත් පසුගියදා විහාරස්ථානයේදී පැවැත්වුනි. මෙහිදී ශ්‍රී ලංකාවේ බුදුදහම ප්‍රචලිත කිරීමෙහි සහ විශේෂයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවීමත් ශ්‍රී ලංකාවේ මෙහෙණි සසුන ස්ථාපිත කිරීමත් සඳහා සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙන් ඉටුවුණ සේවය විස්තර කරමින් සිංහල සහ ප්‍රංශ භාෂාවන්ගෙන් අනුස්මරණ දේශනා පවත්වනු ලැබිය. විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියන් විසින් මෙම පින්කමෙහි අරමුණ පැහැදිලි කර දුන්හ. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් සෝබනී ගුණසේකර මහත්මිය ඉංග්‍රීසි භාෂාවෙන් දේශනයක් පවත්වමින් මෙම පින්කමෙහි වටිනාකම පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කලාය.

ප්‍රංශයේ පිහිටි බෞද්ධ කෞතුකා ගාරයේ අධ්‍යක්ෂිකාවක් වන ප්‍රංශ ජාතික වෙරෝනික් මහත්මිය සංඝමිත්තා තෙරණිය සම්බන්ධ ඉතිහාස ගත මුලාශ්‍ර ගෙනහැර දක්වමින් ප්‍රංශ භාෂාවෙන් විශේෂ දේශනයක් පැවැත්වූවාය.

පිංකම සඳහා සහභ්ගිවු සියලුම දෙනා සංඝමිත්තා මෙහෙණින් වහන්සේහට මල් පහන් සහ සුවඳ දුම් පුජා කොට උපහාර දක්වනු ලැබිය. සෑම වසරකම ප්‍රංශයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන වෙත ලබාදෙන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේන් ලබාගත් බෝ අංකුරය මෙවර පැරිස් නුවර පිහිටි වියට්නාම විහාරස්ථානයක් වෙත පුජා කෙරුණි.

මෙම පිංකම සඳහා පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියන් සමඟ එම විහාර වාසි මාපලගම ජිනානන්ද, ඇල්ලේවැවේ ආනන්ද, සමාධිගම විමලජෝති, කන්දවින්නේ රාහුල, කදුරුපොකුණේ ධම්මාලෝක, සහ කටුවන සමිත යන භික්ෂුන් වහන්සේලා සමඟ කාම්බෝජ සහ වියට්නාම සංඝයා වහන්සේ දෙනමක්ද සහභාගී වුහ.

මේ අතර නව වසර උදාවීමත් සමඟ විශේෂ මව්පිය උපහාර පුජාවක් 2017 ජනවාරි මස 1 වෙනි දින සවස 5 ට ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර ඇත.පුජ්‍ය කටුවන සමිත හිමියන් මෙහෙයවන මෙම විශේෂ පුජා පිංකම සඳහා සියලුම දෙනා තම දු පුතුන් සහ නෑදෑ හිත මිත්‍රාදීන් කැටුව සුදු වතින් සැරසි සහභාගී වන ලෙස ගෞරවාන්විතව ඉල්ලා සිටින බව චන්දරතන හිමියෝ පැවසුහ.