රාජසිංහ රජු අත්අඩංගුවට පත්ව වසර 200යි.... (සිංහල රාජවංශය අවසන් වී වසර 200 පිරීම නිමිත්තෙනි)

Admin | 18 Feb, 2015 10:04AM | Leave a comment
ක්‍රි. ව 1815.02.18 දින ඇඳිරි වැටෙද්දී මැද මහනුවරදී එක්‌නැලිගොඩ මොහොට්‌ටාල සහ පිරිවර විසින් රජු සහ බිසෝවරුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්‌ථාව (සිංහල රාජවංශයේ අවසන් තත්පරය) මෙම චිත්‍රපටය නැගුවෙමි. එය සෙම් 55ං 45 තරම් ප්‍රමාණයේ කැන්වසය මත තෙල්සායමින් ඇඳි චිත්‍රයකි.

ක්‍රි.ව. 2015 පෙබරවාරි 18 දිනට කන්ද උඩරට රාජ්‍යයේ සිංහලේ අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට පත්ව වසර 200 ක්‌ සපිරේ. පුරා වසර 2357 විවිධ බාධක ආක්‍රමණ මැද අඛණ්‌ඩව පැවැති රාජාණ්‌ඩුව එයින් නිමාවට පත්විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සිංහලයේ අවසන් රාජධානිය කන්ද උඩරට හෙවත් මහනුවර රාජධානියයි. සෙංකඩගල නමින් හැඳින්වූ මහනුවර පුරවරය මහවැලි ගඟෙන් ද මහ වනයෙන් හා ගිරි දුර්ගයන්ගෙන් ද ආරක්‍ෂිත ප්‍රදේශයකි. අතීතයේදී 'කන්ද උඩරට පස්‌රට' යන්න ඒ සඳහා භාවිත විය. අතීතයේ සිදුරුවාන, බලනවිට, මාතලය, දුම්බර හා සගම තුන් රට යන ප්‍රදේශ මේ රාජ්‍යයට අයත් විය.

ඉංග්‍රීසීන් විසින් ක්‍රි. ව. 1815 යටත් කර ගන්නා විට මහනුවර රාජධානියට සතරකෝරලය, සත් කෝරලය, ඌව වලපනේ, උඩපළාත, නුවර කලාවිය, මාතලේ, සබරගමුව, වෙල්ලස්‌ස, බින්තැන්න හා තමන්කඩුවත්, කුඩා පළාත් ලෙස උඩුනුවර, යටිනුවර තුම්පනේ, හේවාහැට, උඩබුලත්ගම, කොත්මලේ, හාරිස්‌පත්තුව, දුම්බර හා වානබුලත්ගම යන ප්‍රදේශ කන්ද උඩරට රාජධානියට අයත් විය.

කන්ද උඩරට රාජධානිය පිළිබඳ විවිධ මත පළ වී තිබුණත්, ක්‍රි. ව. 1462 දී සෙංකඩගල මධ්‍යස්‌ථානය කරගත් සේනා සම්මත එහි ප්‍රථම ස්‌ථානය ගන්නා බවට මතයකි. කෙසේ වුවද උඩරට රාජධානිය කෝට්‌ටේ රජවරුන්ගෙන් රැක ගැනීම සඳහා බලවත් ප්‍රයත්නයක්‌ දැරීමට සිදුවිය. රදලයන්ගේ හා මහා සංඝයා වහන්සේලාගේ සහයෝගයෙන් පෘතුගීසීන් විසින් පත්කළ රජු එලවා 1591 දී කොනප්පු බණ්‌ඩාර පළමුවැනි විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යයේ අභිෂේක ලැබීය.

පළවැනි විමලධර්මසූරිය රජතුමාගෙන් ඇරැඹි උඩරට රාජධානියේ සිංහල රජවරු ලෙස පළමුවන විමලධර්මසූරිය 1591 - 1604 - සෙනරත් රජතුමා 1604 - 1635, දෙවැනි රාජසිංහ රජතුමා, ක්‍රි. . 1635 - 1687, දෙවැනි විමලධර්මසූරිය රජතුමා (ක්‍රි. ව. 1687 - 1707) වීර පරාක්‍රම නිරේන්ද්‍රසිංහ 1707 - 1739 යන රජවරුන් පස්‌දෙනා රාජ්‍ය පාලනය කළ අතර කොනප්පු බණ්‌ඩාරගෙන් ඇරඹි උඩරට සිංහල රාජවංශය 1789 ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මිය යැමෙන් පසු උඩරට සිංහල රාජවංශයේ නිමාව සනිටුහන් විය.

නායක්‌කාර් වංශයට සිහසුන අයත්වීම :-

සෙනරත් රජු තම පුතුන්ට ඉන්දියාවෙන් බිසෝවරුන් ගෙන්වා සරණ පාවා දුන් අතර, ඒ අනුව දෙවැනි රාජසිංහ රජු ද හා නරේන්ද්‍රසිංහ රජු ඉන්දියාවේ මදුරාපුරයෙන් බිසෝවරුන් ගෙන්වා සරණ පාවාගත් අතර එනිසා විශාල ඥාතීන් පිරිසක්‌ මෙරටට පැමිණි අතර පසු කාලයේ රාජ්‍යයේ ඉහළ තනතුරු සඳහා ද ඔවුහු පත්වූහ.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු රාජත්වයට නීත්‍යනුකූල හිමිකාරයකු නොමැතිව මිය යැමෙන් පසු රජුට දාව සිංහල කුමරියකට උපන් උණම්බුවේ බණ්‌ඩාරට රජකම දීම සඳහා සිංහල ප්‍රධානීන් උත්සාහ දැරූ අතර සිංහලයන්ගේ ඇති වූ මතභේද නිසා බුදු දහම වැළඳගෙන භික්‍ෂුන් වහන්සේලා අතර වාසය කළ නායක්‌කර්Êවංශික විජය රාජසිංහයන්ට රජකම හිමි විය. ශ්‍රී විජය රාජසිංහ රජතුමා (1739 - 1747) දක්‌වා පාලනය කළ අතර, ඉන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි. ව. 1747 - 1782), ශ්‍රී රාජාධිරාජසිංහ (ක්‍රි. ව. 1782 - 1798) ශ්‍රී වික්‍රම රාජසිංහ (1798 - 1815) නායක්‌කර් වංශිකයන් 4 දෙනකු උඩරට රාජ්‍ය පාලනය කළ අතර ශ්‍රී වික්‍රම රාජසිංහ ලක්‌දිව පාලනය කළ අවසන් රජු විය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට රාජ්‍යාaත්වය උරුම වන්නේ නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයෙන් පසුය. නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේ පැවත ආ සිරිත වූයේ රජුගේ බිසවගේ සහෝදරයකුට රජුකම උරුම වීමය. රජගේ බිසෝවරුන් තිදෙනාගේම සහෝදරයා වූ මුත්තුසාමි කුමාරයා සිටියද, පිළිමතලාව මහා අධිකාරම්ට රාජ්‍යත්වයට කෙනකු නම් කිරීමට ඇති බලය නිසා රජුගේ දෙවන බිසවගේ, සහෝදරයකුගේ පුත්‍රයා වූ දහඅට හැවිරිදි ලාබාලයකු වූ කන්නසාමි කුමරු රාජ්‍යත්වයට පත් කළේය. පිළිමතලාව මහ අධිකාරම්ගේ අරමුණ වූයේ පසුව රාජ්‍යත්වය තමාට ලබා ගැනීමය.

ශ්‍රී වික්‍රම රජ කරවීමට විරුද්ධ වීම මත රජුගේ බිසව හා ඥාතීන් බොහෝ දෙනෙකු සිරබාරයේ තැබූ අතර රජුගේ දෙවන අධිකාරම් ලෙස කටයුතු කළ ඇරැව්වෑවල නිළමේ හා දන්ගමුමේ දිසාව මරා දැමීය. පිළිමතලාවගේ නායක්‌කර් වංශික විරෝධය හමුවේ බොහෝ ඥතීන් බ්‍රිතාන්‍ය රැකවරණය යටතේ පලා ගිය අතර මුත්තුසාමි කුමාරයා කර්නල් බාර්බුට්‌ගේ ආරක්‍ෂාවේ තබන ලදී.

පසු කාලයේදී ශ්‍රී වික්‍රම රජතුමා පිළිමතලාවේගේ උපදෙස්‌වලට වඩා ස්‌වකීය නායක්‌කර් වංශිකයන්ගේ බහට නතු වූ අතර, රජු ඔහු කෙරෙහි තැබූ කැමැත්ත හා විශ්වාසය බිඳී ගියේය. මේ නිසාම රාජසිංහ රජතුමා රාජ්‍යයෙන් නෙරපා රජ වීමට උත්සාහ කළේය. මේ සඳහා පිළිමතලාවේ ඉංග්‍රීසීන් සමඟ ලිපි හුවමාරු කර ගත් අතර, පසුව නෝර්ත් ආණ්‌ඩුකාරතුමා අවිස්‌සාවේල්ලේදී හමුවී සාකච්ඡා කළ අතර එයින්ද ඵලක්‌ නොවීය. පසුව ඉංගී්‍රසීන් රජතුමා සමඟ සාමකාමී ගිවිසුමකට ජනරාල් මැක්‌ ඩොනල්ඩ් මහනුවරට යෑවූ නමුත් එම උත්සාහයන් ද නිශ්ඵල විය.

ක්‍රි. ව. 1802 ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ ප්‍රදේශවල සිට උඩරටට මුස්‌ලිම් වෙළෙඳ පිරිසක්‌ තමන් ගෙන ආ කරවල, දුම්කොළ, රෙදිපිලි විකුණා ලබාගත් පුවක්‌ තොගයක්‌ වෙළෙඳුන්ගෙන් කොල්ලකෑම නිසා ඔවුන්ගේ පාඩුව පිරිමසා ගැනීමට වන්දි මුදලක්‌ ලබා දෙන ලෙස ඉල්ලා සිටිය අතර, රජු මුලදී එම ඉල්ලීම පිළිගෙන පසුව එය නොසලකා හැරීම නිසා පොරොන්දු කඩ කිරීම නිසා වන්දි මුදලක්‌ ගෙවන ලෙස රජතුමාට බලකර සිටියේය. එම ඉල්ලීමට රජු එකඟ නොවූ නිසා 6000 යුත් සේනා දෙකක්‌ මහනුවරට පිටත් කර හැරීය. ඔවුන් මහනුවරට ළඟා වන විට රජු මාලිගයෙන් පලාගොස්‌ සිටි අතර, ඔවුන් බඩු බාහිර කොල්ල කා මාලිගාවට ගිනි තැබූ බව සඳහන් වේ. පසුව රජතුමා හඟුරන්කෙත ප්‍රදේශයේ සැඟවී සිටින බව පිළිමතලාවගෙන් දැන ගෙන සේනාව හඟුරන්කෙතට යෑවූ නමුත් රජ එහි නොසිටියේ ය.

ඉංග්‍රීසීන් කෙරෙහි වෛර බැඳගත් රජතුමා ඔවුන් මෙරටින් පන්නා දැමීම සඳහා යුද සේනාවක්‌ සමඟÊකොළඹ හංවැල්ලේදී මුහුණට මුහුණ ලා සටන් කළ අතර විශාල පිරිසක්‌ දෙපිරිස අතරින්ම මිය ගියහ. රජුගේ අණ පරිදි අත්අඩංගුවට ගත් පිරිස උල තියා මැරීමට නියෝග කළේය.

මෙම යුද්ධය නිෂ්ඵල වූ බැවින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ආපසු මහනුවරට පැමිණියේ ය. පසුව ඉංග්‍රීසීන් වර්ෂ 1804 දී විශාල සේනාවක්‌ සමඟ එම ප්‍රදේශ යටත් කර ගැනීමට උත්සාහ දැරීය. සිංහල සේනාව මහතා පරිශ්‍රමයක්‌ යොදා ඔවුන් මැඬපැවැත්වීය. ඉන්පසු නෝර්ත් ආණ්‌ඩුකාරවරයා ධුරයෙන් අස්‌ වී ජනරාල් මෙට්‌ලන්ඩ් ආණ්‌ඩුකාර ධුරයට පත් වූ අතර ඔහු රජතුමා සමඟ සාමයෙන් සිටීමට ක්‍රියා කළ අතර පසුව මෙය පිළිමතලාව ඇතිකරන ලද්දක්‌ යෑයි මතයක්‌ විය.

මේ සමයේදී රාජසිංහ රජතුමා මහනුවර වැව හා දළදා මාලිගාවේ පත්තිරිප්පුව සෑදීමට පටන් ගෙන තිබූ අතර පිළිමතලාවේ අධිකාරම් මෙයට විරුද්ධ විය. මේ නිසා පිළිමතලාවේ අධිකාරම් සතු සියලු තනතුරු තහනම් කළේය. රජු සමඟ දැඩි වෛරයෙන් පසු වූ පිළිමතලාවේ රජු මැරීමට නොයෙක්‌ උපක්‍රම යෙදූ අතර, ඒවා නිෂ්ඵල විය පසුව අධිකාරම්තුමාගේ බෑනා ඇතුළු 7 දෙනෙකු එල්ලා මැරීමට නියෝග කළේය. පිළිමතලාව අධිකාරම් ද පසුව මිය ගියේය.

රජතුමාගේ දෙවන අධිකාරම්ව සිටි ඇහැලේපොල ප්‍රධාන අධිකාරම් තනතුරට පත් කළ අතර රජතුමාගේ දේවිය හදිසිsයේ පරලොව සැපත් වූයෙන් නැවත බිසෝවරු දෙදෙනෙකු සරණ පාවා ගත්හ. එහිදී අධිකාරම්වරු තුටු පඬුරුත් රැගෙන මාලිගාවට ගිය අතර ඇහැලේපොල පිළිබඳ වැඩි කැමැත්ත රජුගේ නොවූයෙන් රාජකාරි සඳහා සබරගමුවට ගොස්‌ රජුට විරුද්ධව කැරලි ගැසීය. මේ බව දැනගත් රජතුමා ඇහැලේපොලගේ සියලු තනතුරු මාරුකර මොල්ලිගොඩට පළමු අධිකාරම්කම පිරිනමා කැරැල්ල මැඬපැවැත්වීමට නියෝග කළේය. රජුගේ නියෝගයෙන් මොල්ලිගොඩ සබරගමුවට ළඟාවත්ම ඇහැලේපොල කොළඹ ප්‍රදේශයට පලා ගියෙන් ඔහුගේ සගයන් සියලුදෙනාම උලතියා මරවන ලදී.

ඉන්පසු රජතුමාට විරුද්ධ වූ ජනයා සියගණන් මරා දැමීමට නියෝග දුන් අතර රජතුමා කෙරෙහි ජනතාවගේ වෛරය හා අප්‍රසාදය උග්‍ර විය. පසු රජු විසින් ඇහැලේපොල පවුලම සමූලඝාතනය කරවන ලදී. මෙය දුටු මහනුවර වැසියෝ දින ගණනක්‌ නිරාහාරව සෝකයෙන් හා බියෙන් කල් ගෙවූ බව සඳහන් වේ.

මෙම මහා විපත දැනගත් ඇහැලේපොල කොළඹට ගොස්‌ රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා හමුවී රජුගෙන් කෙසේ හෝ aපලිගැනීමට අවස්‌ථාව සලසා දෙන ලෙස ඉල්ලා සිටි අතර ආණ්‌ඩුකාරවරයා ඔහුට අවස්‌ථාව දෙන ලෙස පොරොන්දු විය.

මෙම සමයේදී වෙළෙ¹ම පිණිස මහනුවරට පැමිණි වෙළෙඳ පිරිසක්‌ ඔත්තුකරුවන් යෑයි සැක කොට ඔවුන්ගේ අත්, කන්, නාස කපා බෙල්ලේ එල්ලා භයානක වධ පමුණුවා ආපසු කොළඹට පිටත් කළ අතර ඔවුන්ගෙන් අටදෙනකු මඟදී මළ බවත්, දෙදෙනකු කොළඹට පැමිණ ආණ්‌ඩුකාරවරයාට සියල්ල හෙළිකර ඇත. ඉන් කෝපයට පත් ආණ්‌ඩුකාරවරයා 1815 පෙබරවාරි 10 දින රජුට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලදී. මොල්ලිගොඩ ඇතුළු පිරිස යුද්ධයට සූදානම් ව සිටියත් ඉංග්‍රීසි හමුදාවේ ප්‍රබලත්වය දැක පසුබැස පලා ගියහ. ඉංග්‍රීසි හමුදාව මහනුවරට ළඟා වන විට රජු දුම්බර මිටියාවතට පලා ගොස්‌ සිටියේය. ඇහැලේපොලගේ සිංහල හමුදාවද රජු සෙවීමේ දැඩි උත්සාහයක නිරත විය.

තමාගේ බලය බිඳී ගොස්‌ ඇති බව දැනගත් ශ්‍රී වික්‍රම රජාසිංහ රජු බිසෝවරු ද සමඟ මැද මහනුවරට ළඟා වී එහි ගිරිදුර්ගය ආරක්‍ෂා සහිත යෑයි සිතා නැවතී සිටිය අතර එදා වැසි සහිත අන්ධකාර රාත්‍රිය ගත කිරීම සඳහා අසල පිහිටි බෝමුරේ ආරච්චිලගේ උඩුපිටිය නිවසේ ලැගුම් ගත්තේය. මේ බව දැනගත් එක්‌නැලිගොඩගේ මඟ පෙන්වීමෙන් ආ සෙබළු දොර කඩා නිවසට ඇතුළු ව පිරිස අල්ලා ගත්හ. එහිදී රජුට ද බිසෝවරුන්ට ද සිංහල මිනිසුන් හිරිහැර කරන ලදුව පසුව ඉංග්‍රීසි හමුදාව මැදිහත්වී මහනුවරට ගෙන එන ලදී.

මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවූයේ 1815 පෙබරවාරි මස 18 වැනි දින දී ය.

ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් වූ රජු 1816 ජනවාරි මස කොළඹ කොටුවේ සිරකර තබන ලද අතර 1816 ජනවාරි 24 දින කොන්වොලිස්‌ නම් නෞකාවෙන් මදුරාසියට පිටුවහල් කරනු ලැබීය. එහිදී වෙල්ලෝර් කොටුවේ වසර 16 ක්‌ දිවි ගත කළ රජ අවු. 52 ක්‌ ආයු විඳ 1832 දී පරලෝ සැපත් විය. රජුගේ සියලු ඥාතීන් ද ලංකාවෙන් පිටමං කරන ලදුව රජුගේ පුතෙකු ද 1843 දී වෙල්ලෝරයේදී මිය ගියේය. ඉන්පසු සිංහලයේ රජ පරපුර අවසන් විය.

පාදක සටහන්
1 මහනුවර යුගය - (සිරිසුමන දිසානායක)
2. මහනුවර සැඟවුණ තොරතුරු
සංස්‌කාරක ශාස්‌ත්‍රපති ගොඩගම මංගල හිමි.

මහේන්ද්‍ර රන්දෙනිය

Source: www.divaina.com/2015/02/16/mano01.html