ප්‍රේමකීර්ති නැවත කියවමු

Chandana Gunasekera | 18 Oct, 2014 09:42PM | Leave a comment
අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න අහසමයි ඊළඟ නිමේෂයේ මහා බියකරැ වැහි වලාකුළු මවලා ඉර මුවා කරලා පළාතම අඳුරැ කරන්නේ.ඒ වගේ තමයි සමහර දිනක සතුටින් පිරිලා තියෙන අපේ හිත ඊළඟ මොහොතේ එහෙමත් නැතිනම් ඊළඟ දවසේ මහා මොකක්දෝ පාළුවක්,තනිකමක් හෝ දුකකින් වෙළෙන්නේ. සමහර වෙලාවට අපට එයට හේතුවක් හෝ එය ඇතිවූ වෙලාවක් හෝ සොයා ගන්න බැරිවෙනවා.  පහුගිය දිනකිහිපයේ මගේ සිතත් මොකක්දෝ පාළුවකින් හා දුකකින් වෙලී ඇතිබව මට හැඟුණා. මගේ බිරිඳ හා දරැවෝ ලස්සනට පායපු ඉර වගේ මගේ සිත් අහස ලස්සන කළා. ඒත් ඒ ඉර පායලා තියෙද්දිම කොහෙන්දෝ පාත්වූ වැහි වලාවක් මගේ සිත අඳුරැ කළා. මම දස අතේ කල්පනා කළත් මෙයට හේතුව නම් සිතේ අහලකටවත් ආවේ නෑ. ඒත් අන්තිමේදි සිතට වඳ දුන් ඒ හේතුව අහම්බෙන් වගේ මගේ සිහියට නැගුණා.

ඒ තමයි පහුගිය දවස් ටිකේම කියවලා ඊයේ අහවර කළ පොත. ඒ මම බොහෝම ආදරය කළ දැනටත් ඒ ලෙසම ආදරය කරන සංවේදී කලා කරැවකුගේ චරිතාපදානය. ඒ වෙන කවුරැවත් නොවේ රටක් ආදරය කළ රටක් තම හැකියාවෙන් සැනැහූ රටේම අභාග්යයට අපට අහිමි කළ රේමකීර්ති ද අල්විස් සූරීන්. පොතේ නම "සසර සැරිසරන තෙක් ප්රේමකීර්ති නැවත කියවමු" ගීතනාත් කුඩලිගමයන් විසින් සම්පාදිත මෙම කෘතිය මගේ සිතට මෙතරම් පෙරළියක් කරතැයි මම කිසිවිටෙකවත් සිතා නොසිටියෙමි. පොත කියවා ආතුරවූ මගේ සිතේ ඇතිවූ පීඩනය ලිහිල් කරගෙන යම් සැනසීමක් ලැබීමට මේ සටහන අකුරැ කරනවා විනා මගේ හැගීම් නතර කිරීමට මේ පොත සමත්විය. ඇතිවූ හැගීම දුකක්ද, පසුතැවීමක්ද ඊටත් වඩා වෙනයම් හැගීමක්ද යනවග පසක් කරගැනුමට මම මේ මොහොතේදීත් වෙහෙසෙමි.

මම මෙලෙස පටන් ගන්නම්. සුභාවිත ගීතයට ළැඳි මගේ මස්සිනාලා හෝ වෙනත් යහළුවකු සමඟ මධුවිතින් සැනැහුණු එකදු සැන්දෑවක් හෝ එතුමා ගැන කථාවකින්,ගුණ වැයුමකින් හෝ නැතිවූ පාඩුව ගැන දුක්වීමකින් තොරව ගෙවුණා යැයි මට සැක සහිතය. අප එතරම්ම එතුමන්ගේ ගීත සාහිත්යට හා සංනිවේදන කලාවට ප්රිය කළෙමු. එතුමා පිළිබඳ අතන මෙතන තිබූ විස්තරත් එතුමා සමඟ වැඩකළ හා සමීපව ඇසුරැ කළ වික්ටර් රත්නායකයන් වැනි කලා කරැවන් කළ ප්රකාශත් හැරැනු කොට එතුමා ගැන පැහැදිලි සම්පූර්ණ විස්තරයක් මා මෙතුවක් කලකට කියවා නොතිබිණි. ඒ විස්තර දැනගැනීමේ දොළදුකකින් මා බොහෝ කලක් තැවුණෙමි.

එතුමා කුරිරැ ලෙස ඝාතනය කොට විසිපස් වසක් සපිරි පසුගිය ඇසළ මාසයේ එතුමා පිළිබඳ මේ පොත නිකුත් විය. එතුමා පිළිබඳ බොහෝදේ මේ පොතෙහි අඩංගුය. උපතේ පටන් ඝාතනය දක්වා කළ කී දෑ, ඇසුරැ කළ අය බිරින්දෑ හා දරැවන් ගැන මෙහි සම්පූර්ණයෙන්ම විස්තර කොට ඇත. එතුමාගේ පළමු බිරිඳවූ දයා ද අල්විස් මහත්මියගේ සටහන් මගේ හදවත නතර කිරීමට සමත් විය. ඉතාමත් සංවේදීව හා අවංකව පෙළ ගස්සවා තිබූ ඇයගේ සටහන් කියැවූ මට මහත් දුකක් ඇතිවිය. මෙතරම් සංවේදී මිනිසෙකුට මෙවැනි ආදරණීය දෑ ලියූ මිනිසෙකුට මෙසේ වෙනස් විය හැකිද? මෙසේ හැසිරිය හැකිද? වරක් ඔහු ඇය හා තමන්ගේ ලෙයින් හැඳුණු අසනීපයෙන් සිටි දුවව රාත්රියේ ගෙදරින් එළියට දමා දොර වැසීමට තරම් සාහසික විය.

එය කෙසේ නම් සිදුවිය හැකිද? දයා මහත්මියම පවසන ආකාරයට ඒ හැසිරී තිබුණේ ඔහු නොවේ ඔහු තුළ ක්රියාත්මකවූ මත් පැන් රකුසාය. මට මහා කණගාටුවක් දැනිණි. ලොවක් සැනහූ දැයක් නැලැවූ ඔහුගේ කුටුම්බය ගිනි ගොඩක් වූ හැටි? මෙය කර්මය හෝ ලබා උපන් හැටියැයි කියා අපට හිත හදාගත හැකිද? ඔළුවට මහා බරකි. ඇයට අසීමිතව ආදරය කළ ඔහු විසින්ම ඇයව සැක කරන ලදී. බහින්බස්වීම් හා අඩදබර දෙදෙනා වෙන්වන තැනටම වැඩ සිද්ධ කරන ලදී. ඒ සඳහා උල්පන්දම් දුන් හා ඔවුන්ගේ විනාශය පැතූ බොහෝ දෙනෙකු එවිට සතුටුවන්නට ඇත.
මොනදේ සිදුවූවත් දයා ද අල්විස් මහත්මිය ප්රේමකීර්තීන් පිළිබඳ අඹමල් රේණුවක තරමින්වත් අහිතකින් හෝ තරහකින් සිටින බවක් මේ සටහන් වලින් නොපෙනුණි. ඒත් මේ සිදුවීම් නිසා මා සිත ඇතිවූ කනගාටුව පහව නොගියේ මා එතුමාට අවංකවම ප්රිය කළ නිසායැයි මට හැගේ.

ඉන්පසුව එතුමා විවාහ වූ නිර්මලා ද අල්විස් මහත්මියගේ සටහන්ද පළමු විවාහයේ දියණිය සුරංගී හා දෙවැනි විවාහයේ පුතුගේ සටහන්ද මගේ දුක හා පසුතැවිල්ල වැඩි කළා මිස අඩු නොකෙරැණි. එතුමාගේ ගුරැවරැ,මිතුරන් හා එකට වැඩ කළ කලා කරැවන්ද පැවසුවේ එතුමාගේ මානුෂික ගුණ හා තිබුණු අසාමාන්ය හැකියාව ගැනය. ඔවුන් සැවොම කියන්නාක් මෙන් එතුමා වයස අවුරැදු 42 වැනි අඩු වයසකින් වියෝ වූවත් වයස 84කදී පවා යමෙකුට කල නොහැකි සේවාවක් කලාවට කල බැව් මගේද හැගීමයි.

මේ පොත කියවන තුරැම සැමවිටම මම එතුමාගේ අකල් වියෝව පිළිබඳව දුක් වුණෙමි. දැන් හිටියානම් තව තව කෙතරම් නම් නිර්මාණ ගොන්නක් කල හැකිව තිබුණාදැයි සිතුවෙමි. ඒත් මම දැන් එසේ නොසිතමි. එතුමා කල්ප කාලාන්තරයක් තිස්සේ පෙරැම් පුරමින් එක්රැස් කළ දැනුම් සම්භාරය අපට දී අවසානය. එතුමා මේ ලෝකයට පැමිණි කාරණය ඉෂ්ට කොට අවසානයේ මේ ලොවින් නික්ම ගියේය. මා දැන් මෙසේ සිතා සැනසෙමි. ඒත් එවැනි සමාජයට වැඩදායී පුද්ගලයන්ගේ ජීවිත මෙසේ විනාශවූයේ ඇයි හා ඔවුන්ගේ පවුල් දිවිය අවුල්වූයේ ඇයි යන ප්රශ්න මගේ සිතේ දෝංකාර දෙමින් මා සිත කම්පනය කිරීමනම් තවමත් අඩුවී නොමැත.

අවසානයේ මම මෙසේ කියමි... දයාබර ප්රේම් ඉක්මනින්ම නිවන් නොදැක නැවත අප අතර ඉපදී අප සනසවනු මැනවි....!
එහෙත් මෙය මහා ආත්මාර්ථකාමී පැතුමක් බව මම දනිමි. එහෙත් මගේ හිත හදා ගැනුමට වෙන විකල්පයක් නැත. කල හැකි වෙන දෙයක් නැත.
ඔබත් ඉඩක් ලදවිට මේ පොත කියවන්න. එය අපගේ දයබර ප්රේම්ට කරන්නාවූ උපහාරයක්ම වේවි.

 

සඳුන් සෙවණ -  Chandana Gunasekera