යාල වනයේ අමුතු සතුන්

tmadawela | 21 Feb, 2015 02:12AM | Leave a comment
Photographs by Tissa Madawela


මැණික් ගඟ සහ කුඹුක්කන් ඔය සීමා කොටගත් වර්ග කිලෝමීටර් 980ක පමණ ප්‍රමාණයකින් යුතු යාල අද ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරකයින් පැමිණෙන ප්‍රමුඛ තම වනෝද්‍යානය බවට පත්වී ඇත. විශාලත්වයෙන් එය දෙවෙනි වන්නේ විල්පතු වන උයනට පමණි. යාල වන උයනේ සතුන් දැක බලාගැනීමට පැමිණෙන්නන් අතර දේශීය මෙන්ම විදේශ සංචාරකයින්ද විශාල ප්‍රමාණයක් වෙති. මෙම පිරිස් වනෝද්‍යානය තුල සංචාරය කිරීම  සඳහා අවශ්‍යවන වාහන සැපයීම දැන් විශාල ව්‍යාපාරයක් බවටද පත්වී ඇත. දිනකට වාහන 500 කටත් වඩා වැඩි ප්‍රමාණයක් වන උයන තුලට ඇතුල්වෙයි.

මේවා සැපයීමෙන් විශාල ආදායමක් එම වාහන සපයන්නන් ලබාගනී. එසේවුවද එම වාහන පදවන්නන් වනෝද්‍යානය තුල ගෙනයන ක්‍රියා කලාපය වන උයනේ වනජීවීන්, වෘක්ෂ ලතා හෝ පරිසරයට කිසිසේත්ම හිතකාරී නොවන බව කනගාටුවෙන් වූවද කිව යුතුව ඇත.

යාල ප්‍රසිධව ඇත්තේ ශ්‍රී ලංකා දිවියන්, වලසුන් සහ අලි ඇතුන් ගහන වනෝද්‍යානයක් වශයෙනි. යාල කැලෑව ලෝකයේ එක තැනක දිවියන් වැඩිවශයෙන්ම ගැවසෙන වනාන්තරයක් ලෙසද ප්‍රසිද්ධියට පත්වී ඇත. වනඋයන තුලදී එක වාහනයක් දිවියෙක් හෝ වෙනත් සතෙකු දුටුවහොත් රියදුරා විසින්  අනෙක් සියලුම වාහනවලට ඒ බව ජංගම දුරකථන මඟින් දැනුම් දෙනු ලබයි. මෙහිදී සිදුවන්නේ අවට ඇති සියලුම වාහන ඒතැනට එක් රොක් වීමයි. මුලින් පැමිණෙන වාහන මාර්ගය අහුරමින් වනසතුන් එතනින් ඉවත් වන තුරුම නවතා තබාගෙන බොහෝ වෙලාවක් සිටියි.එකදු රියදුරෙක්හෝ අනෙකුත් වාහන සඳහා අවස්තාවක් ලබාදෙන්නේ නැත. යාල ඇති මාර්ග පටු වීම හේතුවෙන් මුලින් පැමිණෙන වාහන ඉදිරියෙන් නවතාගෙන සිටීම නිසා පසුව පැමිණෙන වාහනවලට සතුන්  දැක ගැනීමට හෝ ඒ අසලට යාමටහෝ අවස්තාවක් ලැබෙන්නේ නැත. එවිට සමහර අසංවර රියදුරන් කරන්නේ මාර්ගයෙන් බාහිර වන පෙදෙස පැත්තෙන් වාහනය පදවමින් ඉදිරියට යාමට උත්සාහ කිරීමයි. එවන් ක්‍රියාවකදී වනයට හෝ කුඩා සතුන්ට සිදුවන හානිය පිළිබඳව ඔවුන් සැලකිලිමත් වන්නේ නැත.

බොහෝ තැන්වල ඉවක් බවක් නොමැතිව වාහන පැදවීම නිසා  අවට භූමියට හා පරිසරයට විශාල වශයෙන් අලාභ හානි සිදුවෙයි. වාහන පැදවීම  නිසා නියමිත මාර්ගය අවට විශාල මඩ ගොහොරු ඇතිවී තිබේ.

පසුගියදා යාල සංචාරය කල අවස්තාවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වනජීවී දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වන්නන් කිහිප දෙනෙක්ම  පැවසුවේ මෙම වාහන රියදුරන් සතුන් පෙන්වා සංචාරකයින්ගෙන් වැඩි මුදලක් ලබාගැනීමට උනන්දුවන නිසා මෙවන් තරඟකාරී තත්වයක් ඇතිවෙන බවය.

සමහරු මෙම තත්වය වාහන " මාෆියාවක්" බවද පැවසුහ.

සමහර රියදුරන් සහ මඟ පෙන්වන්නන්   බොහෝ අවස්ථාවල සංචාරකයින් හට මැණික් ගඟේ හෝ මුහුඳු තීරයේ දිය නෑමටද අවස්ථා ලබාදෙති. මෙය සම්පුර්ණයෙන්ම නීති විරෝධී මෙන්ම භයානක ක්‍රියාවකි. සංචාරක බංගලා සියල්ලගේම මත්පැන් පානය තහනම් බවට දැන්වීම් ඇතත් ඒවා ගණන් ගන්න බවක් පෙනෙන්නට නැත.

මෙයට අමතරව යාල වනයේ "ගැමුණු" නමින් වූ ඇතෙකු වාහනතුල ඇති ආහාර උදුරා ගැනීමට පුරුදු කරවීමට සමහරු ක්‍රියා කර ඇති බවද ඔවුන් පවසති. සංචාරකයින් ගමන් ගන්නා මෙම වාහන තුල ඇත්තේ ඔවුන්  ගමන් බිමන් යන අවස්ථාවල කෑමට බීමට ගන්නා විස්කෝතු, මාළු බනිස්,පාන්, මසල වඩේ, තම්බපු කඩල, කෙසෙල් ගෙඩි, පැණි බීම වැනි සතුන්ට කිසිසේත්ම නොසුදුසු ආහාර වර්ගයන්ය. මෙවැනි ආහාර වන සතුන්ට ලබාදීම නීති විරෝධී ක්‍රියාවක් වුවද  රියදුරන් හෝ මග පෙන්වන්නන් ඒ ගැන සැලකිලිමත් වන බවක් පෙනෙන්නට නැත.

පසුගිය රජය පැවති සමයේ දේශපාලන හිතවත් කම් මත තාවකාලික පත්වීම් ලැබූ බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ සියලුම වනෝද්‍යාන වල සේවයට යොදවා තිබුණි. ජනාධිපති වරණයට සති දෙක තුනකට පෙර මේ සියලුම දෙනාගේ රැකියා ස්ථිර කරනු ලැබීය. මේ කිසිවෙක්  එම වනෝද්‍යාන අවට ප්‍රදේශවල ජීවත්වූ අය නොවුහ. එම නිසා රැකියාව පිලිබඳ උනන්දුවක්, වන ජීවීන් හෝ වෘක්ෂ ලතා හෝ පිලිබඳ දැනුමක් හෝ ඇල්මක්  ඔවුන්තුල පිහිටා නැත.

මට මතක අන්දමට මා වන සත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කල අවධියේ රටේ සෑම වනෝද්‍යානයකම රැකියාවන් සඳහා පත්කරනු ලැබුවේ ඒ අවට ගම්වල ජීවත්වුවන්ය. ඔවුහු වනාන්තරය පිලිබඳ අත්දැකීම් ඇති දැනුම් සම්භාරයක් මෙන්ම වනසතුන් කෙරෙහි ගෞරවයක් ඇති පුද්ගලයින් වුහ. සමහරවිට ඔවුන්ගේ දරුවන් පවා වනෝද්‍යාන වල රැකියාවන්ට යොමුකිරීමට ඔවුන් උනන්දු වුහ. උද්‍යාන පාලක තනතුර සඳහා පමණක් පරිපාලන සේවයේ කෙනෙකු පත්කෙරුණි. සමහර අවස්ථාවල  වනෝද්‍යානවල සුලුරැකියා කරමින් කාලාන්තරයක්  තිස්සේ වනය හා වන සතුන් පිලිබඳ පරිනත දැනුම් සම්භාරයක් මෙන්ම පළපුරුද්දක් ලබාසිටි නිලධාරීන් හට උද්‍යාන පාලක තනතුර දක්වා උසස්වීම් ලබාදෙනු ලැබීය.

අවාසනාවකට සියලුමදේ දේශපාලනීකරනයවී තිබු පසුගිය කාල වකවානුවේ වන ජීවී සංරක්ෂණයටද එම අභාග්‍ය සම්පන්න කල දසාව උදාවී තිබුණි. එවකට රට පුරා වසංගතයක් මෙන් ප්‍රචලිතව පැවති දේශපාලන "කටවුට්" උන්මාදය වන උයන් තුල පවා දක්නට ලැබුණි.

එදා වන උයනක කුඩා ගේට්ටුවක් සදා එතන ප්‍රදේශයේ දේශපාලඥයින්ගේ සිට ඇමති සහ ජනාධිපතිගේ පින්තුර සහ නම් ගම් ඇතුලත් මහා පරිමානයේ දැන්වීම් පුවරු සවිකිරීම සාමාන්‍ය දෙයක් විය.

පසුගිය රජය පැවති කාලයේ ඉදිකෙරුණ, දේශපාලඥයින් සහ ඔවුන්ගේ හිතමිත්‍ර ප්‍රභූන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක්ම වෙන් කෙරුන සුපොපභෝගී බංගලාවක් යාල වනෝද්‍යානයේ ඇත. උණු වතුර, රුපවාහිනි යන්ත්‍ර සහ ශීත කරන අඩංගු " බුතව බංගලාව" සාමාන්‍ය සංචාරකයින් හට වෙන්කර ගැනීමට අවකාශයක් නැත.

ගිය වසරේ පැවති අධික නියන් සමයේ යාල වනෝද්‍යානය මාස කිහිපයක්ම වසා තිබුණි. නමුත් මේ කාලය තුල වන උයන තුල පිහිටි සියලුම බංගලාවන් එවකට පැවති රජයේ මැති ඇමතිවරුන්, දේශපාලඥයින් සහ ඔවුනගේ හිත මිත්‍රාදීන් හට භාවිතා කිරීමට අවකාශය ලබාදී  තිබුන බවත් වනෝද්‍යානය වසා තිබු සියලු කාලය තුල දේශපාලඥයින් සහ ඔවුනගේ හිතමිත්‍රාදීන් නොකඩවා යාල වනය තුල නැවතී සංචාරය කල බවත් එහි සේවකයෝ පවසති.

වරෙක එවකට සිටි වනජීවී ඇමති වරයා විසින් එක වනෝද්‍යාන බංගලාවක දඩමස් පිසූ සිද්ධියක් පරීක්ෂා කිරීමට ගිය අවස්තාවක් මාධ්‍ය විසින් අනාවරණය කර තිබුණි.

පසුගියදා විල්පත්තු වනෝද්‍යානයේ සංචාරය කල අවස්ථාවේදී වන උයන්තුල සිදුනොවිය යුතු තවත් හිඩැසක් දැකගැනීමට ලැබුණි.

අප වන උයන තුල දින දෙකක් ගත කළෙමු. ඊට දින කිහිපයකට පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගීවන සම්මේලනයක් විල්පත්තු උද්‍යානයේ අලුතින් ගොඩනඟා ඇති මරදන්මඩුව බංගලාවේදී පැවැත්වෙන බවත් ඒ දිනවල එම බංගලාවට යන මාර්ගයේ පිළිසකර කිරීම් සිදුකිරීමට මග පෙන්වන්නන් ඇතුළු සියලුම දෙනා සහභාගීකරවා ගැනීමට සිදුවී ඇති බවත් දොරටුවේදී අපට දන්වනු ලැබීය. අප කණ්ඩායමට වාහන දෙකක් ඇතුලත් විය. ඉන් එකක් විල්පත්තුවෙන් ලබාගත් ජීප් රථයකි. වනෝද්‍යානයකට වාහනයක් ඇතුල් කිරීමේ සාමාන්‍ය පිළිවෙත වන්නේ එම වාහනයට මග පෙන්වන්නෙකු ලබාදීමයි. නමුත් මේ අවස්ථාවේදී මාර්ග පිළිසකර කිරීම් සඳහා සියලුම මග පෙන්වන්නන් යොදා ඇතිනිසා අපගේ වාහනසඳහා නිලධාරියෙකු ලබාදීමට නොහැකි බව අපට දන්වනු ලැබීය. කෙසේවුවත් විල්පත්තුවෙන් කුලියට ගත් වාහනයේ රියදුරා විල්පත්තුවේ යන එන මංමාවත් සම්බන්ධ දැනුමක් ඇති අයෙක් නිසා ඔහු සමඟ අප කණ්ඩායමට වනෝද්‍යානයේ සංචාරය කිරීමට ඉඩ ලබාදුනි.

දින දෙකක් අප විල්පත්තු වනය පුරා සැරිසැරුවේ  කිසිදු බලයලත් නිලධාරියෙකු නොමැතිවය.


මෙය අද වනජීවී සංරක්ෂණය පත්වී ඇති කනගාටුදායක තත්වය පෙන්නුම් කරන හොඳම නිදසුනකි.

වනයට සහ එහි ඇති ගහ කොළට මෙන්ම සතා සිව්පාවනට අසීමිත ගෞරවයක් සහ ඇල්මක් දක්වන සමහර වනජීවී නිලධාරීන් අප සමඟ පැවසු තොරතුරු සම්බන්ධයෙන් පසක් කිරීමේදී එක් දෙයක් පැහැදිලි වෙයි.

එනම් වැටත් නියරත් දෙකම ගොයම් කොටාබාන තැනට පසුගිය දුර්දාන්ත පාලන සමයේදී වනජීවී සංරක්ෂණයත් ඇද දැමීම මේ සියලු ව්‍යසනයන්හට මුලිකම හේතුව වන බවයි.


එවන් පසුබිමක් තුල අප දුටු සංචාරක රියදුරන්ගේ අසංවර ක්‍රියා කලාපය සමස්ත පාලන යාන්ත්‍රය ඇතුලතම කාලාන්තරයක් තිස්සේ වර්ධනයවී ඇති ජරාජීර්ණත්වයේම එක්තරා  දිගුවක්  පමණකි.

මෙම අවාසනාවන්ත ක්‍රියා කලාපයන් නවත්වා දැමීමට කල හැකි එකම ප්‍රතිකර්මය වන්නේ සියලුම වනෝද්‍යාන තුල සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා වාහන සැපයීම සම්පුර්ණයෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන වන සතුන් දැක බලාගැනීම සඳහා සියලුම සංචාරකයින් හට සමසේ අවස්තාවක් ලබාදෙන සාධාරණ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවීම සහ  සියලුම රියදුරන්  එවන් ක්‍රියාදාමයක ඇති වැදගත් කම පිළිබඳව උපරිමයෙන් දැනුවත් කිරීම බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මගපෙන්වන්නන් පැවසුහ.