යටඳොලවත්ත 1 - පිං වල.....

Chandana Gunasekera | 01 Jan, 1970 12:00AM | Leave a comment
ඒ 1974-1976 කාල වකවානුව වන්නට ඇත. පුහුණු උප ගුරැවරියකවූ අපේ මෑණියන්ට රජයෙන් ලැබුණු එකම වරප්‍රසාදය වූ අවුරැද්දකට තුන් වරක් දුම්රියේ දෙවැනි පංතියේ යාමට ඉඩ සලසාදෙන " වොරන්ට්" කියා අම්මලා හදුන්වන දුම්රිය බලපත්‍ර මේ නිවාඩු කාලයේත් ගන්නට ලැබුණේ පාසල් නිවාඩු ලැබී අප ගමේ යන්නට සූදානම්වූ දවසට කලින්දාය.

මෙවැනි කටයුතු වලදී අපේ අම්මා කල් වේලා ඇතිවම ඒ හැමදේ ලෑස්ති කරගත්තත් අවසාන මොහොතේ විදුහල්පති තුමාගේ ප්‍රමාද දෝෂයක් නිසා ඒ කාරිය අවසාන මොහොත දක්වාම කල් ගොස් තිබිණි.

ගමේ යාමේ උනින් සිටි නංගිට හා මට මෙය ඉතාමත්ම බිය ජනක කාරියක් විය. මන්ද වරක් හදිසියේ ලියා තිබූ වොරන්ට් පතක නමේ අකුරක් වැරදී තිබී එදා අපට ගමේ යාමට නොහැකිවීම වැනි අමිහිරි මතක අපේ සිතේ හොල්මං කිරීමයි.

වරක් සියලු කටයුතු ගමේ යාම සඳහා සූදානම් කරගෙන තිබියදී ඊට කලින් දිනයේ නිවසට කඩා පාත්වූ අප නෑදෑයන් පිරිසක් නිසා අප පුල පුලා බලා සිටි ගමේ යෑම සතියකින් කල් යෑම අනෙක් කාරණයයි. නංගී සහ මම කෙතරම් සිත් රිදවා ගත්තාදැයි කියූවොත් ඒ පැමිණි නෑදෑ පිරිසේ ළමුන් සමඟ සිනහවත් නොවූ බව මට මතකය.

පෙරැම් පුරාගෙන ගමේ යාමට සූදානම්වන අපට කුමක් හෝ අකරතැබ්බයක්ම වන නිසා ගමන යන දිනයේ ඉස්ටේසමට ගොස් දුම්රියේ වාඩිවන තුරැ මගේ සිතට නම් නිවනක් නොවීය.

උදෑසන 05:05 ට අනුරාධපුරයෙන් පිටත්වන රජරට රැජින දුම්රියෙන් කොළඹ කොටුවට ගොස් එතැන් සිට මුහුදුබඩ මාර්ගයේ ගමන් ගත් මන්දගාමී "පවර්සෙට් " නමින් හැදින්වූ දුම්රියකින් දකුණු කළුතර දක්වා යෑම අපගේ ඒ ආනන්දජනක දුම්රිය ගමන විය.

අනුරාධපුර නව නගරය ස්ටේෂම ඒ කාලයේ තිබුණේ නැත. දුම්රිය ගැනීම සඳහා අනුරාධපුර මහ ස්ටේසමටම යෑමට සිදුවිය. කොළඹ කොටුවේ සිට වව්නියාව දක්වා ගමන්ගත් රජරට රැජින අනුරාධපුරයට ළඟා වන්නේ රාත්‍රී අටඨය. ඉන්පසු දුම්රියේ සෙසු පෙට්ටි අනුරාධපුර ස්ටේෂමේ නවතා පෙට්ටි දෙකක් පමණක් වව්නියාව දක්වා ධාවනය විය. මේ හේතුවෙන් උදයෙන්ම දුම්රියපළට යන අපට නවතා ඇති මැඳිරිවල සුව පහසුවට අසුන් ගෙන වව්නියාවේ සිට එන්ජිම එනතුරැ කල් මැරීමට හැකිවිය.

සෑම ස්ටේසමකින්ම නිවේදනය කළ දුම්රියේ ගමන් විස්තරය හා දුම්රිය නවත්වන දුම්රියපළවල් ඒ නිවේදක මහතුන් ඉදිරිපත් කළේ ඉතාමත්ම සිත්ගන්නා සුළු ලෙසටයි.

සිංහල,දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන් තුනින්ම නිවේදන කටයුතු සිදුවිය. අප මේ නිවේදන වලින්ද වින්දනයක් ලැබුවෙමු.

අනුරාධපුරයේදී ඇසුණු නිවේදනය මට අදත් මතකය. " දැන් පළමුවෙනි වේදිකාවට පැමිණි රජරට රැජින ශීඝ්‍ර ගාමී දුම්රිය තව ස්වල්ප වෙලාවකින් කොළඹ කොටුව බලා පිටත්වේ. අනුරාධපුරයේ සිට කුරැණෑගල දක්වා වූ සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ඇත. කුරැණෑගල සිට දුම්රිය නවත්වන්නේ පොල්ගහවෙල, මීරිගම, වේයන්ගොඩ,රාගම,මරදාන සහ කොළඹ කොටුව.... ටින් ටුන් ටින්..."

අප ආපසු අනුරාධපුරයට එද්දී බොහෝවිට කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ යාල්දේවී දුම්රිය ගතිමු. එය උදෑසන එකොළහකුත් ගානට කොටුවෙන් පිටත් වූ අතර අනුරාධපුරයට ළඟා වූයේ සවස හතරට පමණය.

බැස යන හිරැගේ කිරණයෙන් මදින් මද සිසිල්වන අනුරාධපුරයට මේ හෝරාවේ ළඟා වන විට අපට දැනුණේ අමුතුම ප්‍රබෝධයකි.

කොටුවේදී ඇසුණු දුම්රිය නිවේදනය මට මතක හැටියට මෙසේයි.

"කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන යාල්දේවී ශීඝ්‍ර ගාමී දුම්රිය තව ස්වල්ප වෙලාවකින් කන්කසන්තුරේ දක්වා පිටත්වේ. දුම්රිය නවත්වන්නේ මරදාන,රාගම,වේයන්ගොඩ,මීරිගම,පොල්ගහවෙල,කුරැණෑගල. කුරැණෑගල සිට අනුරාධපුරය දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. "

අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ස්ථාන මට මතක මෙපමණය. "අනුරාධපුරය, වව්නියා,මාන්කුලම්,කිලිනොච්චි,පරන්තන්, පලෙයි,කොඩිකාමණ්,චාවකච්චේරි,නාවක්කුලි, යාපනය, එලිෆන්ට්පාස් සහ කන්කසන්තුරේ."

මුලදී ගමන් ගත් දුම්රිය වල එක පසෙක කොරිඩෝවක් සහ අනෙක් පස කුඩා කුටි වැනි මැදිරි තිබූ බව මතකය. ඒවායේ තිබූ ආසන නිමවා තිබුණේ ලීයෙනි. ඉන්පසුව අප රටට රැමේනියාවෙන් ආ තරමක් සැප පහසු කුෂන් කළ ආසන සහිත දෙවැනි පංතියේ මැදිරිවල අප ගමන් ගත්තේ තරමක ආඩම්බරයකින්ද යුක්තවය.

මගදී දුම්රියට ගොඩවන ඉස්සෝවඩේ කාරයන්,ටොෆි සිගරට් කාරයන්,සාරවිට කාරයන්,නාරං සහ පැලපී කාරයන් ආදී මෙකී නොකී නානාවිධ වෙළෙන්දන්ගේ කරච්චලය අපට ඒ දිනවල ඇසුණේ මිහිර ගීත විලසිනි.

ඒ කාලයේ අම්මා අපට කිසිවිටෙක කඩචෝරැ අරගෙන නොදුන්නාය. වඩයකවත් රහ බලන්නට ලැබුණේ, අපේ තාත්තට පිංසිදු වන්නටය. අම්මා කළේ පරිප්පු හෝ කව්පි හොඳින් හිදෙන්නට උයා තෙම්පරාදු කර පාන් පෙති මැදට දමා දුම්රියේදී කෑම සඳහා ගෙදරින්ම අරගෙන යෑමයි.

දුම්රියේ තිබූ බෆට් එකෙන් තාත්තා කිරි තේ ගෙනා බව තරමක් ලොකුවනතුරැත් මා දැන සිටියේ නැත. මට තිබුණ ප්‍රශ්නය වූයේ මේ දුවන දුම්රියේ සිට තාත්තා කඩේකින් තේ ගත්තේ කොහොමද යන පැනයයි.

බොහෝ බලන්නට දේවල් දුම්රිය දෙපස තිබිණි. කඳු වැටි,පොල් වතු,කුඹුරැ,ඇළ දොළ හා ගංගා දෙස බලමින් ගිය අපගේ ඇස් පහුවෙනිදා වනවිට ඇරීමටවත් බැරි අයුරින් රිදුම් දුනි. දෙළුම් හා සියඹලා කොළ තම්බා ඇස් සේදු විට ඒ අමාරැ අඩුවිණි.

දුම්රිය පොලගහවෙලට එන තුරැ තිබුණේ තනි රේල් පාරකි. පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා මාර්ග දෙකක් විය. ඒ හරියේදී දුම්රිය වංගු ගනිදදී රෝද වලින් ඇතිවූ ඒ කන් බිහිරි කරවන හඬට පවා අප පෙම් බැන්දෙමු.

ඒ මාර්ගයේ තිබූ එකම බිං ගෙයින් දුම්රිය යන විට අප අම්මාට හෝ තාත්තාට තුරැල්වූයේ එළියේ කළුවර දැකීමෙන් ඇතිවූ බය මෙන්ම සිත යට වූ සතුටින්ද යුක්තවය.

කොළඹ සිට කළුතර දක්වා දුම්රිය ගමන මීටත් වඩා රසවත් මෙන්ම සිදුවීම් රාශියකින්ද යුක්ත විය. මේ දුම්රියන්හී මැදිරිවල ආසන තිබුණේ එකිනෙකාට මුහුණලාය. අපට වාඩිවීමට සිදවූයේ ජනෙල් වලට පිටුපාය.

දුම්රියට නැංග විගසම මුහුද පැත්තේ ආසන අල්ලා ගැනීම අපේ අරමුණ විය. මුහුදේ අසිරිය බලමින් මුහුද සුළඟේ පහස විඳිමින් යන අපට කිසිදු ගමන් මහන්සියක් හෝ බඩ ගින්නක් නොදැනුණි.

මුහුදේ රැල්ල ගසන අයුරැ,මිනිසුන් දැල් අදින අයුරැ,ඔරැ හා ඈත මුහුදේ නැව් යන අයුරැ අප නැරඹුවේ ආසන මත දණහිස්වලින් හිටගෙනය.

මේ අතර දුම්රියට ගොඩවන කත් කාරයන්ගේ හා වට්ටි අම්මලාගේ අළුත් මාළු වලින් නිකුත්වූ මාළු ගඳ අපට දැනුණේ නැත. ඒ බඳුන් වලින් ගලා ගිය මාළු ලේ මිශ්‍ර වතුර ධාරා දුම්රිය එහාට මෙහාට පැද්දෙද්දී දුම්රියේ බිම මත ඇන්ද රටා දෙස පවා කෙතරම් නම් කාලයක් මා බලා සිටින්නට ඇතිද?

එමෙන්ම දුම්රියට ගොඩවන සිඟන මිනිසුන්ගෙන් හා ඩොලැක් ගසා ගී කියා එදා වේලට සල්ලි එකතු කරන ගායකයින්ද අඩුවක් නොවිණි. මේ ගායකයින් අතර එච් ආර් ජෝතිපාල හා මිල්ටන් පෙරේරා ලෙසටම ගී ගැයූ කිහිප දෙනෙකුම සිටි බැව් මගේ මතකයේ ඇත.

දකුණු කළුතරින් දුම්රිය ගමනට ආයුබෝවන් කියන අප එතැන් සිට යටඳොලවත්තට ගියේ බස් රියෙනි. කළුතර සිට මතුගම දක්වා දිවෙන බසයේ ගොස් යටඳොලවත්ත හංදියට මෙහා "පිංවල " පහුවෙන විටම හමුවෙන බස් හෝල්ට් එකෙන් බැස එතනින්ම රබර්වත්ත මැදින් කන්ද උඩට මීටර් සියයක් පමණ ගිය කළ ගමේ නිවසට සේන්දු වෙයි.

බසයෙන් බසින තැන, පිංවලටත් වඩා අප මතක තබා ගත්තේ රබර් වතු අතර තිබූ තැඹිලි වත්තක් ආධාරයෙනි. තැඹිලි පාටින් බැබළුණු තැඹිලි වත්ත දකුණු පසින් හා වම් පසින් ලැයිම පේනවිටම බසයේ බෙල් එකගසා බසින්නට සැරසිය යුතුය. ඉන්පසු දකුණෙන්වූ පිංවල පහුවෙනවත් සමඟම අප බසිනා බස් නැවතුම ළඟා වෙයි.

එම ලැයිම නමින් හැදින්වූ කාමර සහිත රබර් වත්තක් මැද පිහිටි ගොඩනැගිල්ලේ විසුවේ රබර් වතුවල වැඩකළ කම්කරැ දමිළ ජනතාවය. සුදු පාලකයන්ට අයිතිව තිබූ මේ වතු හැදින්වූයේද ඉංග්‍රීසි නම් වලිනි.

මෙහි විසූ දමිළ ගැහැනුන් රබර් කිරි කැපීම කළ අතර පිරිමින් ගස් වලට පොහොර දැමීම,අගල් කැපීම ආදී බර වැඩ කළෝය. හවසට ගෑනු පිරිමි භේදයකින් තොරව කසිප්පු හෝ යම් ස්පිරිතුවක් කට ගා ගත් ඔවුන් ලැයිම දෙවනත් කළත් පසුදා හමුවූ විට මාතියා කියා බුලත් කහටින් වැසුණු දසන් පෙන්වා පෑ ඒ සිනහව කෙතරම් නම් අහිංසකද? මා ඔවුන් ගැන වැඩි විස්තර පසුව ලියමි.

අප ගම කීවට යටඳොලවත්ත අපේ අම්මාගේවත් තාත්තාගේවත් උපන් ගම් නොවීය. අම්මා ඉපදී තිබුණේ මීරිගම අඹේපුස්සේ බෝතලේ නම් සුන්දර ග්‍රාමයේ වූ අතර තාත්තා දකුණේ මහඉඳුරැව මුහුදුබඩ ග්‍රාමයේ ඉපැදී තිබිණි.

නිවාඩුවට මේ ගම් දෙකටම වැඩිපුර නොගොසින් යටඳොලවත්තට යාම නිසා එය ඉබේම අපේ ගම විය.

යටඳොලවත්ත පිහිටියේ දකුණු කළුතර හා මතුගම අතරයි. රබර් ගස් පිරි කඳු යායෙන් වටව හා තැනිතලාව වටා පැතිරැනු සුන්දර වෙල් යායෙන් මේ ගමට එක්කළේ අමුතුම චමත්කාරයකි.

යටඳොලවත්ත පසුකොට මතුගම දෙසට යනවිට හමුවෙන හංදිය යටඳොල හංදිය නම් විය . මේ පාරේ ගිය විට පැලවත්ත අවිත්තාව හරහා අඹගස් හංදියෙන් අලුත්ගම දර්ගා නඟරයට සේන්දු විය හැක.

යටඳොල වත්තේ විසුවේ අපේ ලොකු ලොකු අම්මාය. අප ලොකු ලොකු කියා දෙසැයක් කියූවේ ඇයට බාල එහෙත් පවුලේ බඩපිස්සිය වූ අපේ අම්මාට තවත් අක්කා කෙනෙකු සිටිය නිසාය.

පවුලේ වැඩිමලා වු ලොකු ලොකු අම්මා හා බාලයා වූ අපේ අම්මා අතර අවුරැදු විස්සක පමණ පරතරයක්‍ තිබිණි. ඒ නිසා ලොකු අම්මාගේ දරැවන් අපේ අම්මාට මම්මා කියූවත් වයසින් වැඩි පරතරයක් නොවිණි. ඒ නිසා කුඩා අප ඒ අක්කලා සැමගේම සුරතලුන් විමු.

ඔවුන්‍ පෙරමග බලා සිටියේ අප එනතුරැය. ඉන්පසුව අපව වඩා ගැනීමට වූයේ රංඩුවකි.

අපව වඩා ගන්නා අක්කලා ගෙදරින් ඔතාගත් බත් හා පාන් ගෙන කෙළින්ම ගියේ "පිං වලටය".

"පිං වල" වනාහී මාළුන් පිරී ඉතිරී ගිය කළුතර මතුගම පාරේ පිහිටි කුඩා බෝක්කු පාලමකින් කුඩා දොළක් ගලායන සේ සෑදී තිබුණු වළකි. මෙහි මාළු ඇල්ලීම ප්‍රදේශවාසීන් විසින්ම සපුරා තහනම් කොට තිබීම හේතුවෙන් එකා පිට එකා යන තරමට මහා විශාල ලූලන්,දණ්ඩින්,උංගන් හා මඩකරියන්ගෙන් මේ වල පිරී තිබිණි. ඔවුනට ජීවිත දානය ලැබී තිබූ නිසා මේ වල "පිං වල" නමින් හැදින්විණි.

අප අහුරැ පිටින් විසිකරන බත් සහ පාන් තප්පරයෙන් ඔවුන් අවසන් කළේ එකා පිට එකා පොරකමින් ගුවනේද කරණම් ගසමිනි. මේ නැටුම් බලා අප ලැබුවේ ඉතා අහිංසක වූ අතිමහත් වින්දනයකි.

එකල දැන් මෙන් පුද්ගලික බස් ධාවනය නොවූ අතර පාරේ ගමන් කළේ ලංගම බස් කීපයක් හා පුද්ගලික වාහන කිහිපයක් පමණි. මේ නිසා පාර අයිනේ බෝක්කුව අසල රැඳෙමින් නිදහසේ මාළුන් බැලීමට අපට හැකිවිය.

තව රසවත් විස්තරයක් ලබන සතියේ බලාපොරොත්තු වන්න.

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය