ලංඩනයේ උපන්දින අරමුදල.....

Chandana Gunasekera | 03 Apr, 2016 10:19AM | Leave a comment
" උපන්දින අරමුදල" ..එක් එක් මාදිලියේ හා එක් එක් නම් වලින් සැදි අරමුදල් කොතෙකුත් දැක හා අසා ඇති ඔබට "උපන්දින අරමුදල ", යම්කිසි විශේෂිතවූ නමක් සේ හැඟෙන බවට කිසිදු විවාදයක් නැත. කුමක්ද මේ උපන්දිනය හා මේ අරමුදලේ ඇති සම්බන්ධය? බිඳුවක් ඉවසන්න. මා ඔබට එය පැහැදිලි කර දෙන්නම්.


මෙය , ලංඩනයේ වෙසෙන ජනහිතකාමී පිරිසක් විසින් මීට වසර දෙකකටත් අඩු කාලයකට ඉහතදී පිහිටුවාගත් සුබ සාධක සංවිධානයක් වුවද එහි නමින්ම මෙහි අරමුණ හා එය ක්‍රියාත්මක වන ආකාරය අනෙකුත් මෙවැනි සංවිධානයන්ට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබට හැඟේ යැයි සිතමි. එය විමසා බලන්නට වටින්නේ එබැවිනි.


ලංඩන්වාසී අපේ සහෘදයෙකු මෙන්ම දරුවන්ගේ ගුණ නුවන පාදා දෙන ගුරුපියෙකුද වන ජයන්ත හේරත් සොයුරාගේ සිතෙහි කාලයක සිට පැලපදියම්ව තිබූ සිහිනයක ප්‍රතිඵලයක් ලෙස තවත් එවැනිම සහෘදයන් පිරිසකගේ දායකත්වයෙන් මෙම අරමුදල බිහිවුණි.


හේරත් සොයුරාගේම නවමු සංකල්පයක් වූ මෙයට උපන්දින අරමුදල යැයි නම් තැබූවේ විශාල අරුතක් ඇතිවය. එනම් මෙම අරමුදලේ අරමුදල් රැස්වන්නේ අප සැමටම වසරක් පාසා එළැඹෙන අපගේ ජන්ම දිනය මූලික කරගෙනය. එනම් උපන් දිනයදා පවුම් දහයක් වැනි සුළු මුදලක් අරමුදලට පරිත්‍යාග කිරීමෙනි. උපන්දින සමරා උත්සව ගන්නට වැය කරන මුදල් සම්භාරය හා සැසැඳීමේදී මෙය ඉතාම සුළු මුදලකි.


එමෙන්ම මෙම අරමුදලේ මුක්ත පරමාර්ථය වූ ලංකාවේ වෙසෙන ඉගෙනීමට සමත් වුවද අගහිඟ කමේ අගාධයේ ගිලී සිටින අසරණවූ දුවා දරුවන්ට සරණක් වීම වුවත් ඔවුනට එය ලබාදෙන අන්දමේ ඇත්තේද ඉතා අපූරු ප්‍රායෝගික ක්‍රියාදාමයකි. එනම් මාස්පතා ඔවුනට මුදලක් දී ,මුදල් නිකම්ම ලැබෙන තුරු කට ආයා බලා සිටින නිකමුන් පිරිසක් බිහිකරනු වෙනුවට තම ස්වෝත්සාහයෙන් දියුණුවීමට ඔවුන්ව හුරු කිරීමයි. එමගින් දරුවන් පමණක්‍ නොව ඔවුනගේ පවුලම දියුණු කිරීමයි.


මෙය සිදුකරන්නේ කෙසේද? " යමෙකුට මාළුවකු දෙනු වෙනුවට බිලී පිත්තක් ලබා දීම" මෙහි පිළිවෙතයි. ක්‍රමවේදයයි. මෙය සිදුවන්නේ මෙලෙසිනි. ලංකාවේ වෙසෙන අප දන්නා නියෝජිතයකු,ගමේ විදුහලේ විදුහල්පති , පංසලේ හාමුදුරුවෝ හෝ වෙනයම් ආගමික ස්ථානයක පූජකතුමන්ගේ රෙකමදාරුව මත හඳුනා ගන්නා දරුවන්ගේ දෙමාපියන්ට කළ හැකි හෝ ඔවුනට පුහුණුවක් ඇති ස්වයං රැකියා මාර්ගයක් ඇරඹීම සඳහා අවශ්‍ය මූලික වියඳම හා යටිතල පහසුකම් අරමුඳල මගින් සපයා දෙනු ලබයි. ඉන්පසු මාස තුනකට වරක් පමණ අරමුදලේ නියෝජිතයින් මාර්ගයෙන් ඔවුනගේ ප්‍රගතිය හා ඒ සඳහා ඇති උනන්දුව සමාලෝචනය කිරීමෙන් අනතුරුව තව ඉදිරියටත් අවශ්‍ය සහන සපයා දෙයි.


අරඹා වසර දෙකකටත් අඩු වුවත් අරමුඳල මගින් දැනටමත් විසල් සේවයක් අති සාර්ථකව සිදුකොට ඇත. අනුරාධපුර පුද බිමින්ම මෙහි මංගල කටයුත්ත ආරම්භ වීමම මෙහි සාර්ථක ගමනට රුකුලක් වූ බව මගේ හැගීමයි.


අනුරාධපුර මහ විලච්චියේ වසන දිළිඳු පවුල් තුනක් කෙරෙහි අරමුඳලේ අවධානය යොමු වූයේ විලච්චිය තක්ෂිලා විදුහලේ උප විදුහල් පති ආර් ඩී කුලරත්න මහතාගේ මග පෙන්වීමෙනි.


මේ යටතේ ඉගෙනුමට දක්ෂ දියණියකගේ ඇඳුම් මැසීමට සමත් මෑණියන්ට මහන මැෂිමක් සපයා දුනිමු. දැන් ඇය මසන ඇඳුම් විකුණා ලැබෙන ආදායමින් ඔවුන් දිවි ගෙවති.


මහ විලච්චියේම කුලී වැඩකොට දිවි ගැටගසාගත් දරු තිදෙනකුගේ දෙමාපියනට ගව පට්ටියක් ඇතිකර ගැනීමට එළදෙනුන් දෙදෙනකු ලබා දුනිමු. අද ඔවුනගේ පට්ටිය හරකුන් හතර දෙනෙකු දක්වා වර්ධනය වී ඇත. ඔවුනට ඉන් ස්තීර ආදායම් මාර්ගයක් විවර වූයේ එලෙසිනි. ඔවුන්ගේ උනන්දුවේ තරමට එය තව තවත් වර්ධනය කරගත හැක.


රස කැවිලි, මුරුක්කු හා වඩේ වැනි කෑම සාදා නගරයට ගෙනගොස් විකුණා දරුවන් තිදෙනකු පෝෂණය කළ තුන්වැනි පවුලේ පියා හැතැම්ම විස්සක් දුරින් වූ නගරයට වෙළදාමට ගියේ පාපැදියෙනි. අද ඔහු උපන්දින අරමුඳලින් සපයාදුන් යතුරු පැදියේ පිහිටින් වෙළඳාම පහසුවෙන් කරගෙන යයි.


අම්පාරේ පවුලකට මිරිස් තුනපහ විකුණා ජීවත්වීමට ඇඹරුම් යන්ත්‍රයක්ද ඇඹිලිපිටියේ පවුලකට බ්ලොක් ගල් විකුණා දිවි ගෙවීමට බ්ලොක් ගල් මැෂිමක් හා එය ක්‍රියා කරවීමට හා දරුවන්ට පහසුවෙන් ඉගෙනීම් කර ගැනීමට විදුලි බලය ලබා දුන්නේද උපන්දින අරමුඳලෙනි.


එමෙන්ම කෑගල්ලේ හෙම්මාතගම පදිංචි දරු දෙදෙනකුගේ පියෙකුට නිවසටම අල්ලා පුංචියට කඩ කෑල්ලක් දමා ගැනීමටද අරමුඳලේ සහය මහ මෙරක් විය.


මෙපමණක් නොවේ " පයට පහසක්(Happy Feet) නමින් මාස්පතා තෝරාගත් පාසලක, පංතියක ළමුන්ට පාසල් සපත්තු සපයාදීමද උපන්දින අරමුඳලේ තවත් සත් කාර්‍යයකි. මේ සඳහා යම් සහනදායී මිලකට පාවහන් සපයන ඩී එස් අයි සමාගමද මේ අවස්ථාවේ කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතුමය.


අරමුඳලේ නවතම ව්‍යායාමය වන්නේ දෘෂ්‍යාබාධිත දරුවන්ගේ ලිය කියැවිලි මුද්‍ර‍නය කිරීම සඳහා බ්‍රේල් මැෂිමක් සපයා දීමය.


මේ වැඩකටයුතු සියල්ලම සිදුවූයෙත් ඉදිරියේදී සිදුවන්නෙත් දිනපතා සේවයට යන එංගලන්තවාසී සහෘදයන්ගේ පිහිටාධාරයෙනි. මීට අමතරව අරමුඳලේ ක්‍රියාකාරීන්ගේ ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් සංවිධානයවූ ආහාර සල්පිල්, ප්‍රිය සම්භාෂණ හා චිත්‍රපට පෙන්වීමෙන්ද අරමුඳල් තරකර ගැනීම සිදුවුණි.


මේ යටතේ සංවිධානය කළ , අරමුඳලේ මුදල් තර කිරීමේ නවතම වැඩපිළිවෙළ ලෙස මෙම අප්‍රේල් දහවෙනිදා " හෝ ගානා පොකුණ" නම්වූ දැනටත් ලංකාවේ අති සාර්ථකව තිරගතවන ඒ සුන්දර සිනමා අත්දැකීම ලංඩන්වාසීන් සඳහා තිරගතවීමට නියමිතය. මෙහි ආදායම සම්පූර්ණයෙන්ම ලංකාවේ ඉගෙනීමට දක්ෂ නැතිබැරි දරුවන් වෙනුවෙනි. ලංඩන් ඉතිහාසයේ වාර්තාගත මොහොතක් සනිටුහන් කරමින් මෙහි ප්‍රවේශ පත්‍ර දින දහයකටත් කලියෙන් විකිණී අවසන්වූ බව පවසන්නේ ඉමහත් සතුටිනි. අවසාන වශයෙන් උපන්දින අරමුඳල දිනෙන් දිනම දියුණු වී තව තවත් අසරණ පවුල් සුඛිත මුදිත කිරීමට හැකිවේවායි පතන අතරම අරමුඳලේ නිර්මාතෘ ඇතුළු සියලුම සාමාජිකයින් හා නන්අයුරින් සහයවන සහෘද කැලටද මගේ හදපිරි ප්‍රණාමය පුදකරමි.


සටහන: චන්දන ගුණසේකර