අනුරපුරෙන් ඇරඹුණු උපන්දින අරමුදලේ සමාජ සත්කාරය… Birthday Fund

Chandana Gunasekera | 18 Sep, 2014 01:57AM | Leave a comment

නිකිණි පෝය වෙන අවුරුදු වල වගේම මේ අවුරුද්දෙත් වියළි අහස් කුස ඉරාගෙන මෝදුවෙන්නට පටන් ගත්තා. කිසිදු තෙතමනයක් නොමැති පොළොවේ දුලී වළාවන් නංවාගෙන ජීවයෙන් තොරවූ වියළි සුළඟක්ද හමා ගියේ ඒ ඇසිල්ලෙදිමයි.


අනුරාධපුර නගරයේ සිට යාපනය දක්වා දිවෙන මහා මාර්ගයේ රඹෑව හන්දියේ වැසියන්ටත්‍ මෙය අරුමයක් වුණේ නෑ. එය වෙන අවුරුදුවල වගේම තවත් එක්තරා නිකිණි පෝයක්ම වුණා.


ඒත් මේ ගම්මානයේ විසූ අක්කා නගෝ සතර දෙනෙකුගේ ජීවිතවලට මෙම පෝයත් සමග අති විශේෂිතවූ සිඳුවීම් පෙළක සමාරම්භය සනිටුහන් වෙමින් පැවතුණා.


දරිද්‍රතාවයත්, වැලැඳුණු ලෙඩ රෝගවලටත් පැරදුණු මෙම ළමුන්ගේ මව් පියන් මේ වනවිට මේ පුර පෝය දකින්නට මේ ලෝකයේ සිටියේ නෑ. ඔවුන්ගේ වියෝවත් සමගම මේ දූවරුන්ගේ නෙතු වල රැඳුණු කඳුලකට වියලෙන්නට කිසිදු නිමේෂයක හැකිවූයේ නැතැයි කියූවොත් එය අතිශෝක්තියක් නොවෙයි.


මව්පිය වියෝවෙන් පසුව කාත් කවුරුවත් නොමැතිව මේ රුදුරු ලෝකයේ තනිවූ ඔවුනට පිහිටවූයේ ඔවුනගේම ලොකු අප්පච්චි සහ ලොකු අම්මා. ඒත් ඔවුනටත් තිබූ අධික ජීවන බර හේතුවෙන් මේ දරුවන්ටත් උවමනා ප්‍රමාණයට සැලකීමට හැකියාවක් ලැබුණේ නෑ.


මේ කාලයේදී රඹෑවේම විසු ජයන්ත සුබසිංහ නම් කලාකාමී සංවේදී හදවතක් ඇති තරැණ මහතකුගේ හද මේ තනිවූ දරුවන්ගේ දුක හමුවේ උනුවූයේ මේ අසරණයන්ට යම් බලාපොරොත්තුවක සේයාවක් මතුකරලමින්. එතුමා ඔවුනට හැකිපමණින් උදව් කළා. ඒ සමගම අපගේ උපන්දින අරමුදල ගැන මුහුණු පොතින් දැන ගත් එතුමා අපට මේ දරුවන් ගැන දන්වා සිටියා.


මේ පිළිබඳව සැලකිල්ලට ගත් අපේ අරමුදලේ සමාජිකයින් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉක්මනින් කළ හැකි යමක් ප්‍රථමයෙන්ද, ඔවුනට ජීවත්විය හැකි මාර්ගයකට අඩිතාලම දමා දීම දෙවනුවටද කිරීමට එකඟතාවයකට එළැඹුණා.


මේ අතරම දරුවන්ගේ අධ්‍යාපනයට ඇති හැකියාව හා උනන්දුවද සහතික කරමින් විදුහල්පති තුමා, ගමේ හාමුදුරරුවෝ ඇතුළු ප්‍රභූන් විසින් අත්සන් කළ ලියවිල්ලක්ද ජයන්ත සුබසිංහයන් විසින් අප අතට පත් කළා.


කරුණු කාරණා මෙසේ සිදුවෙමින් පවතිද්දී මේ දරරුවන්ගේම පිනකට අප අරමුදලේ නිර්මාතෘ ජයන්ත හේරතුන්ට ලංකාව බලා යාමට අවස්ථාවක් උදාවුණා.


එතුමා ලංකාවට ගොඩබට ඇසිල්ලෙහිම තම පුද්ගලික වැඩ පසෙකට දා අනුරාධපුරය බලා පිටත් වුණේ සමාජ සේවය වෙනුවෙන් එතුමාගේ ඇති කැමැත්ත හා උනන්දුව තව තවත් අපට පසක් කරමින්.


එදා, එනම් පහුගිය නිකිණි පුන් පොහෝදා අනුරාධපුරයේ ජය සිරි මහා බෝධිය වැඳ පුදාගෙනම අපේ ජයන්ත හේරත් මහතා අප අරමුදලේ පළමුවන සමාජ සත්කාරය ඇරඹීමට රබෑව බලා පිටත්වුණා. ඔහුගේ වැඩිමල් සොයුරිය වූ හෙට්ටිපොළ මහා විද්‍යාලයේ උසස් පෙළ ගුරුතුමියක වන ජයන්ති හේරත් මහත්මිය ද ඒ ගමනට එක්වීම විශේෂ සිද්ධියක් වුණා.


එහිදී ජයන්ත සුබසිංහයන් හමුවූ එතුමා මේ අසරණ දරුවන් හමුවට ගියා. ඔවුන් සමග විස්තර කථාවෙන් අනතුරුව ඔවුනගේ භාරකාර ලොකු අප්පච්චී හා ලොකු අම්මාද හමුවී, එම දරුවන් සිව් දෙනාම තම වාහනයේ නංවාගෙන නගරයේ සාප්පුවකට ගොස් ඔවුනට මූලිකවම අවශ්‍යව තිබූ සපත්තු, වතුර බෝතල්, පාසල් බෑග, කාන්තා කුඩ, පෑන්, පැන්සල් හා කවකටු පෙට්ටි මිලට ගෙන දුන්නා. ඔවුන්ගේ දැනට පාසල් දමන සපත්තු දුහුවිල්ලෙන් නැහැවී, හිල් සෑදී අබලන්වයි තිබුණේ.


යාන වාහන වල ගමන් යන ධනවත් දරුවන්ගේ සිනිඳු දෙපා වැසුණු මිල අධික සපත්තු මෙන් නොව සැමදාම මහා පොළොවේ පයින් ඇවිදින මේ දරුවන්ගේ සපත්තූ පොළොවත් සමග කරන හරඹයෙන් හොඳටම හෙම්බත් වෙලයි තිබුණේග


එදා තමයි ඔවුන්ගේ දුක් කඳුළින් හැමදාම පිරුණු දෑස් වලට සතුටු කඳුළක තෙතමනයල, සිසිලස දැනුණු දවස. ඔවුන්ගේ පුංචි මුහුණු වල බලාපොරොත්තුවේ සේයා ඇඳුණු දවස.


ඒ හැම දෙයක්ම කරන්න හැකිවුණේ ඔබ අප මේ අරමුදලට දුන් මුදලින්. බිඳුවක් සිතා බලන්න. අපේ දරුවන්ට සපත්තු කුට්ටම් කීයක් තිබෙනවද? ඇඳුමක් කී සැරයද අඳින්නේ? පොත් පත් පෑන් පැන්සල්‍ කෙතරම් අපතේ යවනවද? අපි වැය කරන මේ පුංචි පවුම් දහයෙන් අර අසරණ දරුවන්ගෙ ළපටි හදවත්වලට දැනුණ සතුට කෙතරම්දර?


ඒ ගමනේදීම ජයන්ත හේරත් මහතා ජයන්ත සුබසිංහයන්ගේ මඟ පෙන්වීම යටතේ දෙමව්පියන් ආර්ථික අපහසුතාවන්ට මැදිව සිටින, උසස්පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබනා තවත් දක්ෂ දියණියකටද ඉගෙනීම සඳහා ආධාර කළා.


මේ දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා නොකඩවා අත දීමට මේ වනවිටත් ලංඩනයේ වෙසෙන තරංගා ඩයස් සොයුරිය බාරගෙන තිබීම උපන්දින අරමුදල වෙනුවෙන් ඉතාමත්ම සතුටුවිය හැකි කාරණයක්. ඔබත් ප්‍රමාද නෑ. ඔබටත් මෙවැනි මහඟු කාර්‍යකට දායකවී ඒ අසරණ දුවා දරුවන්ගේ මුහුණුවලට සතුට ළඟා කරදිය හැකියි.


තරංගා සොයුරියට උපන්දින අරමුදල වෙනුවෙන් මගේ ස්තූතිය පුදකිරීමටද මෙය අවස්ථාවක් කර ගන්නවා.


මෙයින් නොනැවතුණු ජයන්ත හේරත්‍ අපේ සහෝදරයා ලංකාවේ ගතකළ සතියක් වැනි කෙටි කාලය ඇතුළත තම උපන්ගම වූ වැල්ලවායේදී එතුමාගේ දැන් වගකිවයුතු උසස් තනතුරු දරන පාසල් මිතුරැ මිතුරියන් තිදෙනෙකුද සමග උපන්දින අරමුදලේ ලංකාවේ ශාඛාවක් ස්ථාපිත කිරීමටද කටයුතු කළා.


පළාතේ විදුහල්පතිවරුන් හමුවූ එතුමා දක්ෂ වුවත් දුප්පත්කම නිසා අසරණ සිසුන් අප අරමුදල වෙත යොමුකරන වැඩ පිළිවෙළක්ද සකස් කළා. ඒ ගැන වැඩි විස්තර ජයන්ත සොයුරා ඒ පිළිබඳ ලියා ඇති සටහනින් ඔබට දැනගත හැකියි.


මේ ලෙසින් අරමුදලේ පළමු හා දෙවන සමාජ සත්කාරයන් අනුරාධපුරයෙන් ආරම්භවෙද්දී සතිය නිමාවී ජයන්ත සොයුරා ලංඩනය බලා පැමිණියා.


නිකිනි පුන් පොහෝ සඳ මේ මොහොතේ අවපසට යමින් ඇති. ඒත් ඒ අසරණ දරුවන්ගේ සිත්වල පිබිඳුණු බලාපොරොත්තුවේ පුෂ්පයෝ දිනෙන් දිනම සුවඳවත් වෙමින් හා හැඩවෙමින් වැඩි දියුණු වෙනවා ඇති.


දයාබර සොයුර සොයුරිය, තීරණය ඔබේයි. මේ අසරණ දරුවන්ට සරණවී ඔවුන්ගේ අනාගතය යහපත් කිරීමට එන්න අප හා එක්වන්න. ඔබ සැමටම ජය හා සතුට!


සටහන – චන්දන ගුණසේකර-


 
Our Next Event - Autumn Food Fair 2014 ( more info )  
 

Website : www.birthdaycharity.org.uk
FB : www.facebook.com/birthdayfund