සිනහසී ලේ පිරිසිදු කරගත් ඉරිදා හැන්දෑව......

Chandana Gunasekera | 28 Oct, 2015 11:19AM | Leave a comment
අද උදේ ඉදන්ම චුරැ චූරැ වැස්ස. පළාතම අඳුරැයි. අහස කළු රෙදි පොරවගෙන බලාගෙන ඉන්නේ මහා තරහකින් වගේ. ඊයේ නිලට නිලේ හිනා වෙවී ඉරත් එක්කලා කරට අතදාගෙන මහා සතුටකින් හිටපු අහසමද මේ කියල හිතා ගන්නත් බැරි තරම්.

අහසත් අපේ හිත් වගේ. වෙලාවකට සතුටින් ඉතිරිලා බලාපොරොත්තු කර පින්නාගෙන ඉන්න අපේ හිතම ඊළඟ දවසෙ , සමහර විට ඊළඟ මොහොතෙ මහා කනගාටුවකින් හා අපේක්ෂාභංගත්වයකින් ඔත්පල වෙනවා. සමහර විට කිසිම හේතුවක් නැතිව.

ඒත් පහුගිය ඉරිදා හැන්දෑයාමෙ , මළහිරැ තේමස් නදිය රත්පැහැ ගන්වමින් බිග් බෙන් කුළුණට මුවා වෙද්දී උතුරැ ලංඩනයේ, කින්ගස්බරි උසස් විද්‍යාලීය ශාලාව පිරී ඉතිරී යන්නට එක් රොක්වූ සහෘද රසිකයන් කැලකගේ සිත්වල නම් දුකක්,කණගාටුවක් එහෙමත් නැතිනම් ටිකක් බරට කියනවනම් කිසිදු මානසික ආතතියක සේයාවක්වත් දකින්නට ලැබුණෙ නැහැ. ඔවුන් සියල්ලන්ම වේදිකාවේ සිටි පුද්ගලන් දෙදෙනකුගේ සංවාදයක් අසමින් ඉල ඇඳෙන තුරැ සිනහවෙමින් පසුවුනා.

ඔබට දැන් කුතුහලයක් ඇතිවෙන්නට ඇති මා මේ කියන්නට යන්නේ කුමක් ගැනද කියා. මදක් ඉවසන්න මා ඒ විස්තරය මෙසේ අරඹන්නම්.

" සිනහසී තර වන්න " යන පුරාණ කියමන ඔබ අසා ඇතුවාට සැකයක් නැත. එහෙත් එම කියමන අද කාලයට නම් නොගැලපෙන බව මගේ හැඟීමයි. ශාරීරික අභ්‍යාස සඳහා මහ මුදල් කන්දරාවක් වියඳම් කරමින් හා අදිපෝෂ්‍යදායී ආහාර අනුභවය වර්ජනය කරමින් , අද කාලේ සාමාන්‍ය දිවියේ ගත වෙහෙසීමක් නැති බහුතරයේ ඒකායන පැතුම නම් තරවීම නොව ඇඟපත කෙට්ටුකර ගැනීමයි. එහෙයින් තර වන්නට නම් කවුරැත් මේ කාලයේ සිනහ නොවනු ඇත. එහෙයින් මේ සඳහා " සිනහසී ලේ පිරිසිදු කරගන්න " වැනි වදනක් යොදා ගන්නට තීරණය කළෙමි.

පුද්ගලයෙකු හැඬවීම බොහෝ විට ලෙහෙසි කාරියකි. එහෙත් කෙනෙකු සිනහ ගැන්වීම නම් සිතන තරම් ලෙහෙසි පහසු නැත. එය මැනැවින් කළ හැක්කේ හාස්‍ය උත්පාදනයේ කෙළ පැමිණිය අයෙකුටම පමණි. එය වෙනම කලාවකි. අප ඉතිහාසය දෙස මොහොතක් ආපසු හැරී බැලුවොතින් මේ කලාව අපූරැවටම කළ , අපගේ හදවත් තුළ අදටත් වෙසෙන කිහිප දෙනෙකුගේම නාමයන් මතකයට නැගෙන්නේ නිරායාසයෙනි.

එකල විකට තුන් කට්ටුව නමින් ප්‍රචලිත වූ ඇනෙස්ලි, සැමුවෙල් සහ බර්ටි මට මුලින්ම සිහිවෙයි. රෑපවාහිනී නොතිබුණු එකල ඔවුන් මිනිසුන් සිනා සයුරේ ගිල්වූයේ කට හඬින්ම පමණි. එලෙසින්ම " විකට රජා " යන විරැදාවලියෙන් පිදුම් ලත් ෆෙඩී සිල්වාටද ඒ නම ලැබුණේ නිකම්ම නොවේ. මේ අතරට විමල් කුමාරද කොස්තා, දොන් සිරිසේන, ඩී ආර් නානායක්කාර, මර්සි එදිරිසිංහ, විල්සන් ගුණරත්න , විජය නන්දසිරි ,ජයසේකර අපොන්සු හා ගැමුණු විජේසූරිය ඇතුළු එකල සිටි විකට ශිල්පීන් කළ සේවයද අපට අමතක කළ නොහැක.

මින් පසුව ඇතිවූ බල්ලො මරා හෝ සල්ලී සොයන සංස්කෘතියත් සමඟ බිහිවූ සමහර විකට ශිල්පීන් යැයි කියා ගන්නා පිරිස් හාස්‍ය උත්පාදනය වෙනුවට උත්පාදනය කළේ පිළිකුලකි. මිනිසුන් සිනාසෙනවා වෙනුවට ඔවුන් දෙසා බෑ අමු කුණුහරැප අසා තම දෙමාපියන්, දූදරැවන් හා බිරිදෑවරැ ඉදිරියේ ලැජ්ජාවට පත් වූහ. ඔවුන් නිර්මාණය කළේ මිනිසුන්ට විහිළු එපා කරවන තත්වයකි.

මේ අතර 2003 වසරේදී පමණ කරළියට ආ කොලු ගැටයින් දෙදෙනකු පිළිබඳව ප්‍රේක්ෂක ප්‍රජාවේ සැලකිල්ල යොමුවූයේ විකට වැඩසටහන් වල තත්වය සහ විකට ශිල්පීන් පිළිබඳ ජනතාවගේ ආකල්පය ඉතාම පහළ මට්ටමක පැවති අවස්ථාවකය. ඔවුන් දෙපළ ඉදිරිපත් කළ වැඩසටහනේ නමෙහිද යම් අපූර්රත්වයක් හා හාස්‍යක් ගැබ්වී තිබිණි. "අපි නොදන්න ලයිව්" එහි නමවූ අතර එය සාමාන්‍ය බස් වහරටද කාන්දුවූයේ ඔවුන් දෙපළව ජනතා සිත් සතන්හී ඉතා ඉක්මනින්ම තැන්පත් කරමිනි.

එමෙන්ම ඔවුන්ගේ මුහුණේ ඉරියව්, අංග චලන, කතා කරන විලාසය සහ විශේෂයෙන්ම ශිෂ්ට සමාජයේ කතා කළහැකි වචන භාවිතය , ඔවුන් ඉතා ඉක්මනින්ම ජනප්‍රියතාවයේ ඉහළටම ඔසවා තබන්නට හේතු පාදක වූ කරැනු විය.

" චූටි මල්ලී " හා " පොඩි මල්ලී " යන නම්වලින් ඔවුන් ඔවුන්ව හදුන්වාගත් අතර එයම ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් විය. විනීතව කතා කරමින් හා ව්‍යාංගයෙන් පහර ගැසිය යුතු තැනට නිසි ලෙස පහර ගසමින් ඔවුන් ප්‍රේක්ෂක ජනතාවට නැවත නියම හාස්‍ය රසය ළඟා කර දුන්හ.

ඔවුන් දැනටත් කරමින් පවතින දෙරණ එෆ් එම් රේඩියෝවේ " චූටි මල්ලී හා පොඩි මල්ලී" වැඩසටහන , අපව හැත්තෑව දශකයේ අප ඉල ඇදෙන්නට සිනාවූ " විනෝද සමය " සිහි ගන්වයි. එසේම ක්‍රිකට් කුසලාන සමයේ ඔවුන් ගෙනා fan Talk වැඩසටහන් මාලාවද ඉතාමත්ම උසස් හාස්‍ය ගුණයෙන් අනූන විය.

සුනෙත් චිත්‍රානන්ද චූටි මල්ලී ලෙසත් ගාමින්ද ප්‍රියවිරාජ් පොඩි මල්ලී ලෙසත් ගෙන යන මේ භූමිකාවන් මෙතරම් ජනප්‍රිය වීමට හේතුව නම් ඔවුන්ගේ අව්‍යාජත්වය සහ විනීතකමයි. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය,කොරියාව හා මැදපෙරදිග ඇතුළු ලෝකයේ බොහෝ රටවලත් එමෙන්ම අපගේ ශ්‍රී ලංකාව තුළත් ප්‍රේක්ෂක ජනයා ඔවුන් වටා එක් රොක්වන්නේ ඔවුන් හැබෑම හාස්‍ය උත්පාදකයන් එසේත් නැතිනම් නියම විහිළු කාරයන් නිසාය.

පසුගිය ඉරිදාවේ අපගේ ලේ පිරිසිදු කළේ වෙන කවුරැන් හෝ නොව මා ඉහතින් වර්ණනා කළ චූටි මල්ලී හා පොඩි මල්ලීය.

ඇරඹුමේ පටන්ම නොනැවති හා නොකැඩී තමන්ගේ ඇඟට පතට නොදැනී සංවාදය මිනිසුන් සිනා සයුරේ ගිල්වමින් ගෙන යාමට ඔවුන් දෙදෙනාට තිබුණේ උපන් ගෙයි හැකියාවකි.

දිවිය සාර්ථක කරගත් පුද්ගලයන්ගේ ඒ දියුණුව " පසුපස" රහස ලෙස ඔවුන් හඳුන්වා දුන් වැසිකිළි කොමෝඩය හා ඒ සම්බන්ධයෙන් තනා තිබූ වෙළඳ දැන්වීමේ වීඩියෝ පටය සැමටම ඉතා නැවුම් අත්දැකීමක් විය. එපමණක් නොව වේදිකාවේද ඔවුන් දෙදෙනාට අමතරව තිබුණේ කොමෝඩයකි.

එසේම සංවාදය අතරතුරදී වැසිකිළියට ජලය වදින(water flush) වන හඬක් වරින් වර නිකුත්වූයේ ප්‍රේක්ෂකයාව සිනහවට බඳුන් කරමිනි. ඒ වතුර ෆ්ලස් වන හඬ ඇසෙන වාර ගණන නිවැරදිව තමන් අත ඇති කොළ කැබැල්ලේ සඳහන් කරන ලෙස ප්‍රේක්ෂකයාට දැන්වූ ඔවුන් ජයග්‍රාහකයාට වටිනා තිළිණයක් හා චටි මල්ලී හා පොඩි මල්ලී සමඟ රාත්‍රී ආහාර වේලක් ගැනීමට අවස්ථාවක් ලැබෙන බැව් නිවේදනය කොට විවේකයෙන් පසුව දිනුම් ඇදීමද සිදුකරන ලදී. මේ හේතුව නිසා ප්‍රේක්ෂකයන්ට විහිළුවලට සවන් යොමන අතරම වතුර ෆ්ලස්වන වාර ගණන පිළිබඳවද අවදානෙන් ඉන්නට සිදුවිය.

ඔවුන්ගේ හාස්‍යජනක සංවාදය ප්‍රධාන වශයෙන් දිවියේ කාල වකවානු තුනකට බෙදා ඉදිරිපත් කළහ. ඒ කුඩා අවධිය, යොවුන් අවධිය හා විවාහක අවධිය වශයෙනි.

සංවාදය අතරතුරදී යම් යම් කතන්දර වීඩියෝ පට මගින් තිරයේද ඉදිරිපත් කළේ මුළු ප්‍රේක්ෂකාගාරයම සිනා ගන්වමිනි.

සමහර විහිළු මදක් ඒකාකාරී වූවත් බහුතරයක් අපගේ ඉල ඇඳ , ගත ලේ පිරිසිදු කිරීමට සමත් විය. ඒ අතර වූ විහිළු කිහිපයක් අන්තර් ජාලයෙන් කියවා හෝ මිතුරන්ගෙන් අසා හෝ මා දැන සිටියත් ඔවුන් ඒවා ඉදිරිපත් කළ ආකාරයෙන් ඒවා මුලින්ම අසන්නාසේ අපූරැ නැවුම් බවකින් මගේ හද කිතිකවන්නට සමත් වූ බව නොකියාම බැරිය. ඔවුන් කළ විහිළු එකින් එක මෙහි ලියා ඔබව වෙහෙස කරවීමට මම අදහස් නොකරමි. ඒවා ඔවුන්ගෙන්ම අසා රස විඳිය යුතුය.

එසේම විනීතව හා ශිෂ්ට සම්පන්නව අපහාසය නොව උපහාසය පෙරදැරිකරගෙන ඔවුන් ඉදිරිපත් කළ මේ සාර්ථක සංදර්ශනය වෙනුවෙන් චුටි මල්ලීට හා පොඩි මල්ලීට මගේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැත්තෙමි. . එමෙන්ම පිළිගැනීමේ පානයක්( welcome drink) පවා පේක්ෂකයාට පිළිගන්වමින් ආදී ආනන්දීයයන් , විශේෂයෙන්ම භූමින්ද හා හර්ෂ සොයුරන් ඇතුළු මේ කාරීය සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වූ සියල්ලන්ටම , කලාවට ළැඳි හා එහි උන්නතිය සැමවිටම පතන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මගේ කෘතඥතාවයද පුද කරමි.

පිළිගැනීමේ පානය පිළියෙල කළ අන්දම පිළිබඳව ඔවුන් නිර්මාණය කර තිබූ හාස්‍යයෙන් පිරි වීඩියෝවද ප්‍රේකෂකයා පිනවීමට සමත්වූ බව සඳහන් කරනු කැමැත්තෙමි. එමෙන්ම පිළිගැනීමේ කතාව කළ ලුම්බිනී විතාන සොයුරියට හා ආලෝකය හා ශබ්දය මනා ලෙස පරිපාලනය කරමින් අපගේ රස විඳීම තීර්ව කළ ගොඩ්ෆ්‍රී ද සිල්වා සහ සමාගමටද මගේ ස්තූතිය අවසාන වශයෙන් පුදකරන අතර මෙවැනි සාර්ථක කලා කටයුතු ඉදිරියේදීත් අපට ඉදරිපත් කිරීමට භූමින්ද සොයුරා ඇතුළු ආදී ආනන්දයිනට අවශ්‍ය සියලුම ශක්තිය හා දහිරිය ලැබේවායිද පතමින් මම නිහඬ වෙමි.

සටහන : චන්දන ගුණසේකර