අප ආ ගමන් මඟ..... "උපන් දින අරමුදල"

Chandana Gunasekera | 25 Jun, 2015 09:07AM | Leave a comment
දිනය පසුගිය වසරේ එනම් දෙදහස් දාහතරේ වෙසක් මස පළමුවන සදුඳාය. එදින උදෑසන නමයට පමණ ලංඩනයේ හැරෝ ප්‍රදේශයේ නිවසකට එක් රැස්වූ පිරිසකි.

වැඩ කරන ජනතාවට සදුඳා යනු මදක් මානසික ආතතිය වැඩි දවසකි. දින දෙකක් අලස සුවය විඳි ඇත්තෝ විඳිමින් උන් සුවයෙන් මිදී සිත තම තමන් කරන්නාවූ රාජකාරියට අනුගත කරගන්නේ සදුඳාය. එලෙසම බොහෝ නව ව්‍යාපෘති හා වැඩපිළිවෙළවල්වල ආරම්භයද සිදුවන්නේ සතියේ පළමු දිනය වන සදුඳාය. මේ නිසා සදුඳා සාමාන්‍යයෙන් සතියේ අනෙකුත් දිනයන්ට වඩා කාර්‍ය බහුල හා සිතේ අසහනය වැඩිකරවන දිනයක් බව කවුරැත් දන්නා කරැනකි.

එහෙත් මා ඉහත කී පිරිසේ මුහුණුවල නම් අසහනයක ලකුණක හෝ දිස් වූයේ නැත. දින දෙකක නිවාඩුවෙන් පසු ඔවුන් සිටියේ ප්‍රබෝධයෙනි. එලෙසම එදින එංගලන්තයේ බැංකු හා රජයේ නිවාඩු දිනයක් වීමද මොවුන්ගේ සැනසුම තවත් තීර්ව කළ කාරණයක් විය.

අතක ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් ඇති එංගලන්තයේ බැංකු නිවාඩු දිනයන්හීදී වැඩකරන ජනතාවට කිරීමට ඇති වැඩ රාජකාරී නම් රාශියකි.

විශේෂයෙන්ම වෙසක් මස කාලගූනයද යහපත් නිසා බොහෝ දෙනෙකු ශීත කල අතහැර දැමූ තම ගෙවතු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බොහෝවිට මෙවන් දින යොදා ගනිති.

සමහරැන් තම දරැ පවුල් හා යහළු මිත්‍රාදීන් සමඟ විනෝද චාරිකා යති.

තවත් පිරිසක් විශේෂයෙන්ම කාන්තා පක්ෂය මෙවන් දිනයන්හී රෙදිපිළි ආදිය සඳහා පවත්වනු ලබන ' සේල්' වලින් හොඳ ආර්ථික වාසි අත්කරවා ගන්නට උදෑසනම පිටත්වන්නේ සාප්පු සවාරියේය.

එහෙත් එදා එක් රැස්වූ මේ පිරිස මා ඉහත කී පුද්ගලික කාරණා සියල්ලම මේ හමුව වෙනුවෙන් කැපකොට තිබිණි.

මෙම හමුව සඳහා තම නිවසට මේ සහෘද පිරිස රැස් කර ගත් ජයන්ත හේරත් සහෝදරයා, උදාර සිතිවිල්ලක් ලෙස ඉපැදී කලක් තිස්සේ තමන්ගේ සිත තුළම හැදීවැඩී යොවුන් වියේ එළිපත්තේ උන් ඒ නැවුම් සංකල්පනාව පිරිස හමුවේ නිරාවරණය කළේය. ඇත්තෙන්ම නැවුම් සංකල්පයක් වූ එය සංවේදී සහ අනුන් වෙනුවෙන් උණුවන හදක් ඇති සිතකට මිස මේ කපේදී නම් පහළ විය නොහැක.

ඒ උදාර සංකල්පය ප්‍රථම වරට ශ්‍රවණය කළ එදා රැස්වූ ඒ අතළොස්සේ කෙනෙකු වීමට මටද හැකිවීම මේ ජීවිතයේ මම ලද භාග්‍යක්සේ සලකමි.

ජයන්ත සොයුරාගේ යෝජනාව වූයේ අපේ ශ්‍රී ලංකාවේ වෙසෙන ඉගෙන ගැණූමට දක්ෂ සහ මහත් උනන්දුවක් ඇති එහෙත් දරිද්‍රතාවය නිසා ඒ ඉලක්ක කරා යා ගත නොහැකි අපේම අහිංසක දරැ දැරියනට යම් සරණක් විය හැකි සංවිධානයක් ගොඩ නගා ගැනීමයි.

උවමනා තරම් මෙවැනි සමාජ සත්කාර සහ සංවිධාන දැක සහ ඒවාට ඒවනවිටත් සම්බන්ධද වී උන් අපට මේ යෝජනාව එතරම් අරැමයක් වූයේ නැත. මෙය තවත් සුබ සාදන කටයුත්තක්ම නොවේදැයි අපට නොසිතුණාම නොවේ.

එහෙත් ඉන් අනතුරැව හේරත් සොයුරා පැවසූ වදනින් ඒ සැමටම වඩා මෙහි අමුත්තක්, නැවුම් බවක් ඇතිබැව් අපට හැගිණි.

නැවුම්බව තිබුණේ මේ සත්කාරය සඳහා අරමුදල් ගොඩනැගීමේ ප්‍රධානතම ක්‍රමයේ සහ අරමුදලේ නාමයෙහිය.

" උපන් දින අරමුදල " එතුමා යෝජනා කළ නමයි.

අරමුදලත් උපන්දිනයත් අතර ඇති සම්බන්ධය කුමක්ද? අප අතර කුකුසකි.

ඉන් අනතුරැව ජයන්ත සොයුරා කළ විස්තරයෙන් ඒ කුකුස පහ විය. බලාපොරොත්තුවේ ප්‍රදීපය දැල්විණි.

උපන්දා සිටම අප සැමටම ජීවත්වන තුරාවටම සෑම වසරකම අප ඉපැදුණු දිනයක් එනම් ජන්ම සංවත්සරය සපිරෙන දිනක් එළැඹෙන බව අවුරැදු දෙකේ තුනේ ළඳරැවා පව දන්නා කරැනකි.

එහෙත් හැමටම පොදු මේ දිනය , සමරන හෝ ගතකරන අන්දම එසේ නැතිනම් ක්‍රමය නම් එක් එක් පුද්ගලයාගෙන් වෙනස් වේ.

සමහරැ ගමටම අඬ බෙර ගසා විශාල මුදල් ප්‍රමාණයක් කාබාසිනියා කර සාදයක් පවත්වා ජන්ම සංවත්සරය පවත්වති.

තවත් කෙනෙකු පවුලේ උදවිය සමඟ පමණක් නිවසේ සිට හෝ හෝටලයකට ගොස් එය සමරති.

ඒ අතර සුළු පිරිසක් එදිනට තමන් අදහන හෝ අනුගමනය කරන ආගමික ස්ථානයට ගොස් දාන මාන ආදිය පිරිනමා ආගමිකව මේ දිනය ගෙවා දමති.

බහුතරයක් මේ කිසිත් නොමැතිව මේ දිනයත් දිවියේ තවත් එක් දිනයක්ම නොවේදෝයි යැයි සිතා නිශ්ශබ්දව තම තමන්ගේ එදිනෙදා කටයුතු වල සාමාන්‍ය ආකාරයෙන් නිරත වෙති.

මේ කොයි දේ කළා හෝ නොකළා එක් දෙයක්නම් නිරන්තරයෙන්ම සිදුවෙයි. එහි කිසිදු පාලනයක් අපට නැත.

මේ නම් අප දිනෙන් දින මොහොතින් මොහොත වයසට යාමයි . එනම් ටිකින් ටික නියත වශයෙන්ම දිනෙක අප කරා එන මරණය වෙත ළඟා වීමයි. ඒ මොහොත වැළැක්විය හැකි හෝ කල්දමා ගත හැකි හෝ ජගතකු මෙලොව නැත්තේය. කැඳවුම ආවිට අප යායුතුමය.

ඒ යන දිනයේ අපට යාමට වන්නේ හිස් අතිනි. අඹු දරැවන්, ගෙවල් දොරවල්, ඉඩ කඩම්, මිල මුදල් සහ යාන වාහන අප දමා යායුතුය.

අපට ගෙනයා හැක්කේ අප කළ හොඳ ක්‍රියා , සිතේ සතුට හා සැනසීම පමණකි.

එසේනම් අප සැමටම වසරක් පාසා එළැඹෙන මේ ජන්ම සංවත්සරයදා වත් යම් ඵලදායී කටයුක්තක් කිරීම ඉතාම යෝග්‍ය සහ නැණවත් කටයුක්තකි.

මෙයට අපූරැ යෝජනාවක් ජයන්ත හේරත් සොයුරා යෝජනා කළේය. එනම් තම ජන්ම සංවත්සරයදා උපන්දින අරමුදලට පවුම් දහයක් ප්‍රදානය කිරීමයි.

වර්තමානයේ පවුම් දහයක් යනු තනි තනිවම ගතහොත් ඉතාම සුළු මුදලකි. එහෙත් අප සැවොම එකතුවී විශාල පිරිසකින් එම මුදල එකතුවනවිට කළ හැකි විසල් මෙහෙය සුළු පටු නොවේ.

එමෙන්ම මෙම වැඩපිළිවෙළේ වූ තවත විශේෂත්වයක් වූයේ තෝරාගත් දරැවන්ට මුදල් මාස්පතා යවනවා වෙනුවට එක් වරක් වියදම් දරා ඒ පවුලේ දෙමාපියන්ට යම්කිසි ස්වයං රැකියා මාර්ගයක් ආරම්භ කර දීමයි. මෙය ඔවුන්ට කළ හැකි, ඔවුන් දන්නා හා වසන පරිසරයට ගැලපෙන ලෙස තෝරා ගනු ලබන බව ජයන්ත සොයුරාගේ යෝජනාව විය.

අප අතහිත දී දෙමාපියන්ගේ ස්වයං රැකියාව දියණුවී පවුල දියුණු වනවිට ඒ පවුල් වල දරැවන්ද ඉබේම ඉන් පෝෂණය ලබති. එමෙන්ම දරැවන්ව අරමුණු කරගත්තද අපගේ උදව්වෙන් වක්‍රාකාරව සමාජයේ යම් කොටසක්ද දියුණුවට පත්වෙති. මෙය නම් අපූරැම වැඩ පිළිවෙළක් වනු ඇතැයි අපට සිතුණි.

අප එදා ඉත සිතින් මෙම වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා උර දීමට සිතා ගත්තෙමු. පොරොන්දු වුණෙමු.

එදිනම නිලධාරි මංඩලයද පිහිටුවා ගැනුණි.

සභාපති තුමන් වශයෙන් අරමුදලේ නිර්මාතෘ ජයන්ත හේරත් සොයුරාද, භාණ්ඩාගාරිකතුමන් ලෙස ගොඩ්ෆ්‍රී ද සිල්වා සොයුරාද, ලේකම් තුමිය වශයෙන් මංජුලා මහානාම සොයුරියද සහ ගණකාධීකාරීතුමා වශයෙන් සරත් විමලවීර සොයුරාද ඒකමතිකව තෝරා පත්කර ගන්නා ලදී.

මා ඇතුළු පැමිණ වුන් තවත් කිහිප දෙනෙකුට උදව් ගැනීමට සුදුසුකම් ඇති දරැවන් පිළිබඳව සොයා බැලීම සහ මංඩලය විසින් ගනු ලබන තීරණ ක්‍රියාවේ යෙදවීම යන වගකීම් පැවරිණි.

බොහොම උද්‍යායෝගයෙන් සිටි සැවොම එවෙලේ පටන්ම කතාවූයේ සාමාජිකයින් බඳවා ගෙන ජන්ම සංවත්සරය දිනයට පවුම් දහයක් ලබා ගැනුමට අමතරව වෙනත් ක්‍රම වලින් අරමුදලේ මුදල් තර කරන අන්දම පිළිබඳවයි.

රැෆල් ටිකට් විකිණීම, චිත්‍රපට ගෙන්වීම, කාර්බූට් සේල්වලට යාම සහ ආහාර සල්පිල් පැවැත්වීම යන යෝජනා පිරිසෙන් ඉදිරිපත් වුණි.

ඒ අතර ලංකාවේ අගහිඟකම් ඇති ඉගෙනීමට දක්ෂ දරැවන් සොයා ඔවුන්ව සම්බන්ධීකරණය කිරීමටද අප කිහිප දෙනෙකුට පැවරිණි.

මම මා උපන් අනුරාධපුරය ආශ්‍රිත උතුරැ මැඳ පළාතේ සම්බන්ධීකරණය භාර ගතිමි. ඌව හා සබරගමු පළාත්ද ඇතුළු දිවයිනේ විවිධ පළාත් එම පෙදෙස් වල සම්බන්ධකම් ඇත්තෝ භාර ගත්හ.

එදා හැන්දෑවේ ජයන්ත සොයුරාගෙන් සමුගත් අප තම තමන්ගේ ගෙවල් බලා විසිරී ගියේ හදවත් පිරී පිටාර ගලන්නාවූ මහා සතුටක් සිතෙහි රඳවා ගෙනය.

ඉන්පසු අප සැවොම වෙහෙස වූයේ අප දන්නා බන්දු මිත්‍රාදීන් අපගේ අරමුදලට බඳවා ගැනීමේ කාරිය වෙනුවෙනි. අප ඊමේල් වලින් පණිවුඩ බෙදා හැරියෙමු. මුහුණු පොතේ මිතුරන්ට අපට සහයවන ලෙස ආයාචනය කළෙමු.

අප වැඩ පිළිවෙළේ අගය වටහාගත් පිරිස් අප සමඟ එක් වූහ.

මේ හේතුව නිසා මාසයක් යන්නටත් ප්‍රථමයෙන් අරමුදලේ පවුම් දාහක් පමණ එකතු විය.

මේ අවස්ථාවේ කුමක් හෝ සත් ක්‍රියාවකට අත ගැසීමට අපට උවමනා විය.

මගේ මුහුණු පොතෙහි මිතුරකු වූ අනුරාධපුරයේ ජයන්න සුබසිංහයන් එක්තරා පවූලක දූවරැන්ම සතර දෙනෙකු ඇතිබවත් මව් පිය දෙපළම අහිමි ඔවුනව රැකබලා ගැනීමට මේ ඉගෙනීමට දස්කම් පාන දරැවන්ගේ ලොකු තාත්තා ගන්නාවූ වෙහෙස පිළබඳව අපට දැනුම් දුන්නේ මේ සමයේදීමය. වහාම ක්‍රියාත්මක වූ අප, දරැවන්ගේ විස්තර සහ ඔවුන්ගේ ඉගෙනීම පිළිබඳ සහතික පාසලේ විදුහල්පති තුමාගෙන් සහ ගමේ පංසලේ ස්වාමීන් වහන්සේගෙන් ලබා ගතිමු.

ඒ දරැවන්ගේ වාසනාවට ජයන්ත හේරත් සොයුරාට කෙටි නිවාඩුවකට ලංකාවට යාමට සිදුවූයේද මේ වකවානුවේමය.

ලංකාවට පය තබා පහුවෙනිදාම එතුමා අර දූවරැන් සතර දෙනා සොයා අනුරාධපුරය බලා යාමට තරම් කාරැනික විය.

පෝය දිනයක් වූ එදින ජයන්ත සොයුරාට අනුරාධපුරයේ ජය සිරි මහා බොදීන් වහන්සේද වැඳ පුඳා ගැනීමෙන් අනතුරැව අප අරමුදලේ මංගල සමාජ සත්කාරය ඇරඹීමට ලැබීමම දෛවෝපගත සිදුවීමක් විය.

අනුරාධපුර රඹෑව ගම්මානයේ විසූ මේ දරැවන්ට පාසල් යාමට අවශ්‍ය ඇඳුම් පළැදුම්, සපත්තු හා පොත් පත් ප්‍රදානය කළ ජයන්ත සොයුරා ඒ ගමේම විසූ ඉගෙනුමට හපන් උසස්පෙළ හදාරන සිසුවියකටද මුදලින් ආධාර කළේත් එදාමය.

ඉන්පසු තම උපන් ගම වූ වැල්ලවායේදී උපන්දින අරමුදලේ ලංකා ශාඛාව ආරම්භ කිරීමට කටයුතු කළේ තම උගත් පාසල් මිතුරන් තිදෙනෙකුද එයට අනුයුක්ත කොට ගනිමිනි.

ඒ කෙටි සතියක වැනි කාලයේදී ලංකා බැංකුවේ අරමුදලේ නමින් ගිණුමක් පවා ආරම්භ කළ ජයන්ත සොයුරා එතැනින් නොනැවතී පළාතේ විද්‍යාල වල විදුහල්පති වරැන් හමුවී රැස්වීමක් පවත්වා මේ කාරණය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමටත් අමතක නොකළේය.

ජයන්ත සොයුරාගේ මිතුරියකවූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී හා ලේඛිකාවකවන ජානකී සූරියආරච්චි කලාකාරිනියට කියා අරමුදලේ නිල ලාංඡනය සැලසූම් කරගත් එතුමා අරමුදලේ ප්‍රචාරක කටයුතු විධිමත් අයුරින් කිරීමට උවමනා බැනර් හා සාමාජිකයි සඳහා කැප් තොප්පි සමඟ ටී ෂර්ට්ද අරමුදලේ තේමා වර්ණයවු කහ පැහැයෙන්ම නිමවා ගැනීමට කටයුතු කළේය.

මෙසේ සැමගේම කාර්‍ය බහුල කාලය තුරඟ වේගයෙන් ගත වෙද්දී සාමාජිකයින් නිරතුරැවම බඳවා ගන්නා අතරම අරමුදලේ මුදල් තත්වය තර කර ගැනීමේ අවශ්‍යතාවය පැන නැගිණි.

එහි ප්‍රතිඵලයක් හැටියට අරමුදලට ආධාර පිණිස සෝමරත්න දිසානායකයන්ගේ අපූරැ ළමා චිත්‍ර පටයක් වූ ' සමනල තටු' ලංඩනයේ දිග හැරැණි.

ඉතා කෙටි කලක් ඇතුළත සංවිධානය කරගත් මේ සිනමා දැක්ම අති සාර්ථක වූ අතර අරමුදලේ සාමාජිකයින් එකාසේ මේ සඳහා ඇප කැප වී ක්‍රියා කළහ. මෙහිදී ගොඩ්ෆ්‍රී සොයුරාගේ භූමිකාව ප්‍රශංසා නොකරම බැරිය.

මෙයින් අරමුදලට පවුම් නමසිය ගණනක් සොයාගැනීමට හැකිවීම අප සැමගේම සතුටට කාරණයක් මෙන්ම අපව දිරිමත් කරවන සාධකයක්ද විය.

ඉන්පසුව පවත්වන්නට යෙදුණු ආහාර සල්පිල ඊටත් ඉහළින් සාර්ථක විය. මේ සඳහා දිවා රෑ නොබලා වෙහෙසුණු සාමාජික සාමාජිකාවන්ගේ වෙහෙසකර මුහුණු වල සිනා මල් පූදමින් ආහාර සල්පිලෙන් රැස්කරගත හැකිවූ මුදල් ප්‍රමාණය පවුම් දෙදහසද ඉක්මවීය.

මෙසේ ඉතාමත්ම උද්යෝගයෙන් අරමුදලේ කටයුතු සිදුවෙමින් පවතිද්දී එක්තරා දියණියකට අපූරැ සිතිවිල්ලක් පහළ විය. එනම් තමන්ගේ දහසය වැනි උපන්දින උත්සවය පවත්වා ඊට සහභාගිවන සියල්ලන්ගෙන් ඇයට ලැබෙන මුදල් හා තෑගි උපන්දින අරමුදල වෙනුවෙන් කැපකිරීමයි.

මෙවන් කුඩා අවදියේදීම මෙවන් කටයුතු ගැන උනන්දුවවී සැමටම ආදර්ශයක්වූ ඇය නිෂාදී ගුණසේකර දියණියයි. ඇය මගේම දියණිය නිසා මේ පිළිබඳව තව තවත් විස්තර කීම සදාචාරාත්මක නැති හෙයින් ඒ පිළිබඳව කතා කිරීම මෙතැනින් නැවැත්වීමට සිදුවන අතර ඇයට අරමුදල වෙනුවෙන් පවුම් දාහක මුදලක් සොයා දීමට හැකිවූ බව පමණක් මෙහි ලියා තබමි.

මේ අතරතුර කමල් හා රම්‍යා අබේතිලක යුවළ සහ ශ්‍රියා වීරකෝන් යුවලද තම තමන්ගේ විවාහ සංවත්සරයන් වෙනුවෙන් අරමුදලට මුදල් පරිත්‍යාග කිරීම ඉතාම ප්‍රශංසනීය වූ අතර සැමටම අනඟි ආදර්ශයක්ද විය.

මේ කාලයේදී කෙටි නිවාඩුවකට ලංකාව බලා යාමට මට කටයුතු සැලසුණි.

මගේ පාසල් සමයේ මිතුරකුවූ ආර් ඩී කුලරත්න මහතා අනුරාධපුරයේ මහා විලච්චියේ තක්ෂිලා මහා විද්‍යාලයේ උප විදුහල්පති තුමන් ලෙස සේවය කළ අතර ඔහු එම පාසලට සහ ගමට ඉතා විශාල සමාජ මෙහෙවරක් කරමින් පසුවිය. අපගේ උපන්දින අරමුදල ගැන දැනගත් කුලේ ඔහුගේ පාසලේ ඉගෙනුම ලබනා දක්ෂතා පිරි එහෙත් දරිද්‍රතාවයෙන් මිරිකුණු ළමුන් කිහිප දෙනෙකු ගැන තොරතුරැ අපට එවා තිබිණි. කුලේව හමුවී මෙම ළමුන්ගේ පවුල්වලට යම් සහනයක් උදාකර දීමද මගේ ලංකා සංචාරයේ තිබූ ප්‍රධානතම අරමණක් විය.

මහා විලච්චියට ගොස් කුලේව හමු වූ මම ඔහුත් සමඟ ඒ පවුල් බැලීමට ගියෙමි. ඒ දිනවල පැවති අයහපත් කාලගුණය සහ ඔහු ඒ දිනවල පෙළෙමින් වුන් අසනීප තත්වයද නොසලකා මා සමග එදා හැන්දෑවෙනකන්ම ඒ පවුල් හමුවීමට තම කාලය වැයකළ මා මිත්‍ර කුලේව මේ අවස්ථාවේ ඉතාමත් කෘතක්ඥතාපූර්වකව සිහිපත් කරමි.

හමුවූ පවුල් අතුරින් උපන්දින අරමුදලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කොට පවුල් තුනක් තෝරා ගැනුණි.

පළමු පවුලේ සිටියේ මවක් හා දුවකි. දියණිය පහේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්වී සිටිය අතර පියාත් නොමැතිව ජීවිතය ගැටගසා ගත්තේ ඉතාමත්ම අමාරැවෙනි. පියා සිටියානම් විභාගය මීටත් වඩා හොඳින් කරන්නට තිබුණා යැයි ඒ දියණිය පවසද්දී මගේ දෑස් බොඳකරමින් පැන නැඟි කඳුළු සඟවාගන්නට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.

මවට හොඳින් ඇඳුම් මැසීමට හැකියාව ඇති බවත් මහන මැෂිමක් රැගෙන දේනම් ඇඳුම් මසා ජීවිකාව ගෙන යා හැකිබවත් පැවසූ නිසා අප ඇයට මහන මැෂිමක් සහ රෙදි කැපීමට අවැසි උපකරණ සහ මැසීමට උවමනා නූල් ආදියත් සපයා දුනිමු. ඇය දැන් සතුටින් ඒ කාරිය කරගෙන දියණියත් රැක බලාගෙන හොඳින් ජීවත්වන බව කුලේ අප සමඟ පැවසීය. හදවතට දැනුණු තෘප්තිය කෙලෙසක නම් වචන වලට පෙරලන්නද?

අනෙක් පවුලේ ඉල්ලීම වූයේ ඔවුන්ගේ මුරැක්කු හා වඩේ වැනි නිෂ්පාදන වෙළඳ පොළට ගෙන ගොස් විකිණීම සඳහා යතුරැ පැදියක් ලබා දෙන ලෙසයි. ඒ වනවිට ඔහු හැතැම්ම ගණනක් පාපැදියේ ගොස් දවසම වැය කොට නගරයට වෙළඳ භාණ්ඩ රැගෙන ගොස් තිබිණි.

නිවසට ආ විගසම පහුවෙනිදා වෙළඳාමට අවශ්‍යදේ පිළියෙල කිරීමට තිබූ හෙයින් ඔහුට හරි හැටි නින්දක් හෝ නොවීය.

අප ඔහුට ඔබ සැමගේම වටිනා ආධාරයෙන් සැදි උපන්දින අරමුදලින් රැපියල් පනස් දහසක් පරිත්‍යාග කොට යතුරැ පැදියක් මිලට ගෙන දී ඔවුනගේ සිහිනය සැබෑ කළෙමු. යතුරැ පැදියේ ඉතිරි මුදල ඔහුට වෙළදාමෙන් ලැබෙන ආදායමින් මාස් පතා ගෙවීමට කටයුතුද සලසා දුනිමු. ඒ පවුලේ දරැවන්ගේ මුහුණුවල ඇඳුණු සිනහව ඔබ දුටුවේනම්.......

තුන්වැනි පවුලේ ඉල්ලීම වූ කිරි එළදෙනුන්ද ඔවුනට ලබා දීමට අපට හැකිවුණි. එක් එළදෙනක ගැබ්බර එකියක වූ අතර අනික් එළදෙන ලැබුණේ කුඩා පැටවාද සමගය.

කුලී වැඩ කොට දිවි ගෙවූ ඔවුන් වැඩක් නොලැබුණුදාට සිට ඇත්තේ බඩ ගින්නේය. දරැවෝ බඩගින්දරට කඳුළු බී නින්දට ගොස් තිබිණි.

නමුත් අද ඔවුන් දිනපතා කිරි විකුණමින් ස්ථීර ආදායමක් ලබති. දරැවන්ට බඩගින්නේ නිදියන්නට නැවත සිදු නොවනු ඇත. මේ සෑම උතුම් ක්‍රියාවකම ඇත්තේ ඔබ ඔවුන් වෙනුවෙන් දුන් ආධාරයයි.

අනුරාධපුරයේ කටුකැලියාව මහා විද්‍යාලය් ඉතා හොඳින් ඉගෙනුම ලබන දක්ෂ දියණියක් සිටියාය. ඇය ගැන තොරතුරැ එම පාසලේම ගුරැවරයෙකු වූ මගේ නැගෙණියගේ සැමියා විසින් අපට දැනුම් දුන්නේද මේ වකවානුවේමය. අප ඇය හමුවීමටද ගියෙමු.

බිත්ති බැඳ වහලය නොගැසූ ඔවුනගේ නිවසෙදී ඇය අපට හමු විය. වහල නොගැසූ නිසා ගරාවැටෙමින් පවතින කපරාරැ නොකළ ගඩොල් බිත්ති අපට කියා පෑවේ ඔවුනගේ දරිද්‍රතාවයයි. ගෙයි කුඩා කාමරයක ටකරං වහලක් සෙවණේ ඔවුන් දිවි ගෙවූහ.

ඇය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති තුමාගේද අනුදැනුම ඇතිව අප අපේ අරමුදලින් ඒ දැරිවියට සහ ඇයගේ මලණුවන්ට අවශ්‍ය පොත් පත්, පෑන් පැනසල් ඇතුළු පාසල් උපකරණ රැසක් ලබා දුනිමු.

පසුගිය දිනෙක ඒ දියණිය තම කෘතඥතාව දක්වමින් අප අරමුදලට ලිපියක් පවා එවා තිබිණි.

මේ දක්ෂ දැරියට සරණක්වීමට අප අරමුදලේ සාමාජිකාවක වූ බුද්ධි ප්‍රියානි සොයුරිය ඉතා කාරැණිකව ඉදිරිපත්වූවාය. දැන් ඇය සිය පෞද්ගලික වියඳමින් ඒ දිරිය දැරියට ඉගෙනුම සඳහා මාසිකව මුදලක් යවන්නීය.
ජයන්ත සොයුරාට තම මුහුණු පොතේ මිතුරකුගේ මාර්ගයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ග්‍රාමයේ දොරකුඹුර නම්වූ දුෂ්කර ප්‍රදේශයක වෙසෙන ඉගෙනීමට ඉතාමත් හපන් පවණි නිමේෂා නම් පුංචි දියණියක ගැන දැනගන්නට ලැබුණේද මේ කාලයේදී මයි.

මේ පිළිබඳව වහා ක්‍රියාත්මක වූ එතුමා මේ දැරිවිය ගැන තොරතුරැ ඇයගේ පාසලේ විදුහල්පතිතුමාගෙන් සහ මෙම පවුල පිළිබඳ තොරතුරැ පළාතේ ග්‍රාම නිලධාරී තැනගෙන් හා ගමේ පංසලේ ස්වාමීන් වහන්සේගෙන් සොයාගනු ලැබිණි.

ඒ එම් පියරත්න වූ මේ දැරියගේ පියා වකුගඩු රෝගියෙකුවූ අතර තම එකම ආදායම් මාර්ගයවූ තැන තැන ඇවිද සොයාගන්නා කුලී වැඩ කරගත නොහැකිව ඉතා අන්ත දුක්ඛිත ආගාධයකට වැටී සිටියහ.

මේ පිළිබඳව අප අරමුදලේ ක්‍රියාකාරී සාමාජිකයින් දැනුවත් කිරීමෙන් අනතුරැව ඔවුන්ගේ අනුමැතිය මධ්‍යයේ මෙම දිළිඳු පවුල නගාසිටුවීමේ උදාර මෙහෙවර ඇරඹිණි.

ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලිණි. තුන පහ කුඩු කොට පැකට් වල අසුරා වෙළඳපලට දැමිය හැකි බැව් ඔවුන්ගෙන් කියැවුණි. අප වහාම ඔබ සැමගේ ආධාර උපකාරයෙන් පෝෂණය වන උපන්දින අරමුදලින් ඔවුනට තුන පහ, මිරිස් ආදිය කුඩුකළ හැකි ඇඹරැම් යන්ත්‍රයක් ලබා දුනිමු.

අප ලබාදෙන සහ සහයවන සියලුම ව්‍යපෘති පිළිබඳව පශ්චාත් සමීක්ෂණයක් නිරතුරැවම සිදුවන අතර ඒ යටතේ සොයා බැලූ විට මේ පවුල ඉතා හොඳින් තුනපහ, මිරිස් කුඩු වෙළඳාම කරගෙන යනබව දැනගන්නට ලැබිණි.

මේ අතරතුර මෙවැනිම පවුලක් පිළිබඳ තොරතුරක් ඇඹිලිපිටියෙන් වාර්තා වුණි. ඒ තොරතුරැද ජයන්ත සොයුරාට ලැබී තිබුණේ මුහුණු පොතේ පළවූ දැන්වීමකිනි.

ඇඹිලිපිටියේ ඉන්ද්‍රසුමන හිමියන් විසින් මේ පවුලට හැකි උදව්වක් කරදෙන මෙන් ඉල්ලීමක් මුහුණු පොතට දමා තිබිණි. මේ පිළිබඳව උනන්දුවූ ජයන්ත සොයුරා ඒ ස්වාමීන් වහන්සේගේ උදව්වෙන් පවුල පිළිබඳව සියලු තොරතුරැ සොයා අරමුදලේ සාමාජිකයනට දන්වන ලදී. සියල්ලෝම මේ පවුලට උදව් කිරීමටද තම කැමැත්ත පළ කළෝය.

අප අරමුදලේ ක්‍රියාකාරී සාමාජිකා මංජුලා මහානාම වෛද්‍යතුමිය හා ඇයගේ සැමියාවූ දිනිල් සොයුරා කෙටි නිවාඩුවකට ලංකාව බලා පිටත්වූයේ මේ කාලයේය. එනම් පසුගිය උඳුවප් මහේදීය.

උඳුවප් මහේ ඒ නත්තල් කුණාටුවේ සීතල පරදා ඇඹිලිපිටියේ එක්තරා පවුලක දරැවන් සතර දෙනෙකු දිවියේ කෙදිනකවත් ඔවුන් නොලැබූ උත්තරීතර සෙනෙහසකින් උණුසුම් වූහ. ඒ ඇඹිලිපිටියේ ඉනද්‍රසුමන හිමියන් අපට හදුන්වා දුන් පවුලයි. ඔවුන්ගේ පියා ගඩොල් කැපීම රැකියාවට කළ අතර මව දරැවන් බලාගෙන ගෙදර සිටියාය.

මංජුලා සොයුරිය හා දිනිල් සොයුරා තම පුද්ගලික වියඳමින් ඒ දරැවන්ට තෑගි බෝග ගෙන කොළඹ සිට ඇඹිලිපිටයට නෑගම් ගියහ. පසුව ඒ පවුලේ දියණිය විසින් අප අරමුදලට ස්තූති කොට එවා තිබූ ලිපිය මගේ ඇස ගැටුණි.

ඔවුන් දිවියේ කෙදිනකවත් මෙවන් තෑගි ලබා නොතිබූ බැව් ඇයගේ මුතුවන අත් අකුරින් කියැවූ මට ඉතිරි වදන් කියැවීමට නොහැකිවිය. මගේ හදවත හඬා වැළපිණි.

අප ඔවුනගේ නිවසට විදුලි බලය ලබා දුනිමු. ඉන්පසු බ්ලොක් ගල් සාදන යන්ත්‍රයක් සවි කිරීම සඳහා මඩුවක් සාදා දී බ්ලොක් ගල් යන්ත්‍රයද සපයා දුනිමු.

දැන් ඔහු ගමේ තවත් දෙදෙනකුද හවුල් කරගෙන බ්ලොක් ගල් තැනීමකරගෙන යන බැව් දන්වා තිබිණි. අපගේ සත් ක්‍රියාවෙන් ඒ ගමේ තවත් දෙදෙනකුටද රැකියා අවස්ථා සැලසිණි. විදුලිබලය ඇතිනිසා ඒ දියණියටද හොඳින් පාඩම් වැඩ කරගෙන යා හැකිබව ඇය එවූ ලිපියේ වැඩිදුරටත් දන්වා තිබුණාය.

මෙවන් දුවා දරැවන් කොතෙකුත් නම් අපේ රටේ ඇද්ද? මේ අප අත්දුටු උදාහරණ කිහිපයක් පමණි.

අප කරන්නාවූ සේවය දුටු අසරණ පවුල් රාශියක් අපගෙන් සරණක් බලාපොරොත්තුව අප වෙත ඉල්ලීම් එවන්නට පටන් ගත්හ .

ඒ හැම කටයුක්තක්ම පාහේ අව්‍යාජවූ අතර උපන්දින අරමුදලේ උදව් ලැබීමට සුදූසුකම් සපිරෑ ඒවා විය. මේ නිසා වහ වහා අරමුදල් තර කරගැනීමේ අවශ්‍යතාවය පැනනැගුණි. මේ අතරම ලංඩනයේ ලංකා බැංකුවේ උපන්දින අරමුදලේ නමින් ගිණුමක්ද ආරම්භ කෙරිණි. ගිණුමට ආධාර බැර කිරීම මේ නිසා පහසු වුණි.

පසුගිය මාර්තුවේ රැස්වූ ක්‍රියාකාරී සාමාජිකයින්ගේ හමුවේදී මුදල් තරකිරීම සඳහා කළ හැකි විවිධ වැඩපිළිවෙළවල් යෝජනා වුවත් පසුගිය වසරේ ඉතා කෙටි කලක් ඇතුළතදී සංවිධානය කළ ආහාර සල්පිලේ සාර්ථකත්වය සලකා මෙවරත් ආහාර සල්පිලක්ම පවත්වමු යැයි තීරණය කෙරැණි.

එහි ප්‍රතිඵලය ඔබ මේ මස එනම් ජූනි මස 28 වෙනි ඉරිදා ලංඩනයේ කින්ග්ස්බරි හී උසස් විද්‍යාලයට (Kingsbury High School ) පැමිණියහොත් දැකබලා ගැනීමට හැකිවනු ඇත.

මේ පිළිබඳ ප්‍රචාරක කටයුතු දැනටමත් අරඹා ඇති අතර එදිනට පැමිණ ඔබ වියදම් කරන සෑම සතයකින්ම අසරණ පවුලකට බලාපොරොත්තුවේ අරැනළු විහිදුවීමට අපට හැකිවනු ඇත.

තීරණය ඔබෙය. එන්න. කා බී විනෝද වී ඔවුන්ගේ මුහුණුවල සිනහවක් සැමදාම රැඳවීමට අපට සහය වන්න. ඔබ සැමටම ස්තූතියි!

සටහන: චන්දන ගුණසේකර