ගම් මඩුව

tmadawela | 01 Jan, 1970 12:00AM | Leave a comment
මෙම ගම් මඩුව පවත්වනු ලබන්නේ පත්තිනි දෙවියන් මුල් කරගෙන වන අතර විෂ්ණු කතරගම ඇතුළු අනෙකුත් සියලුම සපිරිවාර දෙවිවරැන්ටද ඒ සමගම පුදපූජා පවත්වා දෙවියන්ගේ ආශීර්වාදය ඒ ගම්වාසීන්ට අත්පත්කරදීම මෙහි මූලික අරමුණ වේ.
මෙහි ප්‍රතිඵල හොඳින්ම ලැබීමට නම් ඒ පිළිබඳව තමන්ගේ සිතේ භක්තියක් සහ විශ්වාසයක් තිබිය යුතු බවත් බුදුන් දහම් සඟුන් යන ත්‍රිවිධ රත්නය මුල් කරගෙන මේ පුද පූජාවන් ඉෂ්ට සිද්ධ කළ විට එහි ආනිසංස වැඩි බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.
මෙම ගම් මඩුවක් එහෙමත් නැතිනම් දෙවොල් මඩුවක් මුලින්ම පැවැත්වීමේ ඉතිහාසය ඉංදියාවේ විසූ සේරමාන් නම් රජ කෙනෙකුගේ කාලය දක්වා දිව යයි.

ඒ ඉතිහාස කතාව සැකෙවින් මෙසේයි. සේරමාන් රජතුමාට වැළඳුණු ඉතා දරැනු හිස රදයක් සමනය කර ගැනීම සඳහා පත්තිනි මෑණියෝ බුදුදහම පවතින රටකට ගොස් දේව පූජාවක් පැවැත්විය යුතුයැයි වදාරා ලංකාදීපයට ගොඩබැස අනුරාධපුරයේ රැවන්වැලි මහා චෛත්‍ය රාජයා අසබඩ දෙවොල් මඩුවක් පැවැත්වූ බවත් එහි ආනිසංසයෙන් රජුගේ හිසරදය සමනය වූ බවත් ඉතිහාසයේ කියැවේ.

එතැන් පටන් ලංකාවේ මෙම දෙවොල් මඩු ප්‍රචලිත වී තිබෙන අතර ගුරැ කුල හා පළාත් අනුව මේවා පවත්වන අන්දමේ සුළු සුළු වෙනස්කම් සිදුවූවත් මූලික කරැනු පොදුවේ පවතී.
ගම්මඩු බිමේ සැරසිලි මින් ප්‍රධානතම අංගයයි. පත්තිනි දෙවියන්ගේ ආභරණ තබන තොරණ, ඒ දෙපසින් තැනෙන විෂ්ණු හා කතරගම දෙවිවරැන්ගේ මල් පැල දෙක , ඉදිරියෙන් දෙවොල් දෙවියන්ගේ තොරණ සහ සූනියම්, දැඩිමුණ්ඩ ආදී සපිරිවාර දෙවිවරැන් උදෙසා තැනෙන මල් යහන් දෙකකින් ( කොටස් තුන බැගින් කොටස් හයකට බෙදූ) ගම්මඩු භූමියේ සැරසිලි සමන්විත වේ.
වැඩම කොට වදාළ සංග්‍යා වහන්සේ විසින් පිරිස පංච ශීලයේ පිහිටවීමෙන් ගම් මඩුවේ පූජාවන් අරඹනු ලබයි.
ඉන්පසු කපු මහතාට සහ අනෙකුත් බෙර වාදකයන් ඇතුළු නැටුම් ශිල්පීන්ට බුලත් දී පූජාව ඉතා හොඳින්ම කරගෙන යනලෙස ආරාධනා කරනු ලබයි.

වියන් යටින් පත්තිනි දෙවියන්ගේ ආභරණ තොරණට වඩම්මා මුරැතැන් බත්, කැවිලි හා පලතුරැ වට්ටි දෙවිවරැන්ගේ යහන්වලට ඉතාමත්ම භක්තියෙන් යුක්තව පූජාකෙරෙන්නේ ඉන් පසුවය.
මීළඟට පටන් ගනු ලබන්නේ බෙර වාද්‍ය ශිල්පීන්ගේ දස්කම් පෙන්වීමයි.
මඟුල් බෙර වාදනයෙන් ඇරඹෙන මෙම පෙළහර දෙදෙනා බැගින් එකකුට පසුව අනෙකා තරගයට බෙර වැයෙන අත්‍යාබෙර වාදනයෙන් ඉතා තියුණු හා උත්කර්ෂවත් අයුරින් නරඹන ගම්මුන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ නිමවේ.
සාමාන්‍යයෙන් ගම් මඩුවක පහත රට නැටුම් පමණක් යොදා ගත්තද එංගලන්තයේ ඉපිද එහිම වාසය කරන ශ්‍රී ලාංකික දරැවන්ට බලා ගැනීම සඳහා උඩරට නැටුම් සම්ප්‍රදායේ එන ' කොතල පදය' හා 'බුලත් පදය ' වැනි දෙවියන් උදෙසා කරන නැටුම් යොදා ගත් බව පැවසීය.

බෙර වාදනයෙන් පසු කපු මහතා එසේත් නැතිනම් ගුරැන්නාන්සේ මල් යහන් කවි කියා දෙවියන්ට ආරාධනා කරනු ලැබේ.
ඉන්පසු පහත රට යහන් දැක්ම පවත්වනු ලබන අතර මල් යහන් වලට වැඩි දෙවිවරැ සඳහා ' කහදිය කොතලෙ' සහ 'දුම්මල පදය' නටනු ලබයි. දෙදෙනකු විසින් මෙය නටනු ලබන අතර එක් එක් යහන් ළඟට ගොස් දෙවියන්ට ආවඩනු ලැබේ.
' බිසෝ කප ' නටන්නට පටන් ගන්නේ ඉන් පසුවයි. මෙම නැටුමේ ඉතිහාසයද සේරමාන් රජුගේ හිසරදය පැවති කාලය දක්වා දිව යයි. එය සැකෙවින් මෙසේය.

රජුගේ හිස රදය සුවකර දෙන්නැයි කියා රජ බිසව අඟනා ලීයක කැටයම් කප්පවා ඊට මුතු මැණික් ඔබ්බවා බිසෝ කපක් සාදා පූජාකිරීමට භාරයක් වී තිබේ. එය ඔප්පු කිරීම සංකේතවත් කිරීමට කෙසෙල් කඳකට ගොක් කොළ සැරසිලි දමා කපක් සාදා එය රජතුමාගේ හිසරදය සුවකළ ආනුභාවයෙන් ගම් මඩුවට සහභාගීවූ සියලුම දෙනාගේ දෝෂ දුරැවෙන්නට කියා ආවැඩීම සිදු කෙරේ.
එතැනින් පසු ඉදිරිපත් කරන්නේ 'තෙල්මේ' නර්තනයයි. මෙය තෙල්මේ, සාතා , සොලසා, යුවරජ යනාදී දොළහ දෙවියන් සඳහා කරනු ලබන පූජාවයි.

ගම්මඩුවේ ප්‍රධානතම අංගයක් වන පත්තිනි දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිදුකරනු ලබන්නේ මින් පසුවයි.
පත්තිනි දෙවියන්ගේ රෑප ඡායාවක් ගෙනහැර දක්වමින් පූජාව පවත්වා ගම්වාසී සියලුම දෙනාට පත්තිනි දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව පතනු ලබයි. මෙහිදී අපේ අත්තනායකයන් කාන්තාවක් විලසට සාරියකින් සැරසී කළ රංගනය ඔහුගේ දක්ෂතාවය සහ භක්තිය මොනවට ප්‍රදර්ශනය කරනු ලැබුණි.

එතැනින් පසු දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආකර්ෂණයෙන් ' වාහල' නැමැති නර්තනය අත්තනායකයන් විසින්ම ඉදිරිපත් කළ අතර එය බලා සිටන්නන් ත්‍රාසයට හා විමතියට පත්කරනු ලැබිණි. මෙහිදී ආරෑඩ වී පොල් මල් වලින් තමන්ගේ මුහුණට ගසා ගනිමින්කළ රංගනය පියවි සිහියෙන් නම් කෙසේවත් කළ නොහැකි අතර මා ඒ පිළිබඳව අත්තනායකයන්ගෙන් විමසූ විට ඔහු පැවසුවේ දැඩිමුණ්ඩ දෙවියන් ඉදිරියේ සිත එකඟ කොට එකතැනකට ගත්විට තමා අඩ නින්දකට යන බවත් බෙර හඬ ඇසෙන්න ඇසෙන්න තමන්ට තව තව වේගයෙන් නැටිය හැකි බවත් පැවසුවේ මගේ සිතේ පැවති කුතුහලය නිම කරමින්.

අවසාන රංගනය ලෙස ' කීල ගරා' දේවතාවුන්ගේ රෑප ඡායාවක් ගෙනහැර දක්වමින් නර්තනයක් ඉදිරිපත් කරනු ලැබිණි.
බෙරවාදකයන් සමගින් විහිළු කතා ( යක්කම්) කියමින් සියලුම දෙනාගේ ඇස්වහ කටවහ සහ දෝෂ යකුන් හා යක්ෂණියන්ගේ නරක බලපෑම් ඇත්නම් ඒවා දූරිංභූත වෙන්න යැයි කියා ගරා යකා නැටීම කරනු ලැබිණි.
ගරා යකා සඳහා සාදනු ලබන කුරාලය හෝ අයිල සාමාන්‍යයෙන් ගොරක ගස් දෙකක් බැඳ සෑදුවත් ලංඩනයේදී මල් ගස් දෙකක් යොදාගෙන එම කාරිය කරගත් බව පැවසීය.

අවසානයේ කිරි උතුරවා පැමිණ සිටි සැමටම කපු මහතා විසින් දේව ආශීර්වාද ලබාදීමෙන් ගම් මඩුවේ වැඩ නිමකරනු ලැබිණි.
මෙවැනි රටක වෙලාව මදකම නිසා සමහර අංග කපාහැරිය බව මා සමඟ පැවසූ අත්තනායක නම් මේ නිහතමානී කලාකරැවා නන් අයුරින් සහයවූ සැමටම සහ සහභාගීවූ සැමටම තම ස්තූතිය පුදකළ අතර වැඩම කළ මහා සංඝරත්නයවූ ලංඩන් බෞද්ධ විහාර වාසී කෝන්වැවේ අරියරතන හිමි සහ ලංඩනයේ ප්‍රධන සංඝ නායක බොගොඩ සීලවිමල හිමියන්ට තම ගෞරවසම්ප්‍රයුක්ත ස්තූතිය පුද කළේය.

තමන්ගේ යම් අඩුපාඩු ඇත්නම් ඉතා ආදරයෙන් ඒවා පෙන්වා දෙමින් , නිරතුරැවම දහිරියක් වෙමින් සහ කරන කියන සෑම සියලු කටයුක්තකදීම තමන්ගේ සහයට සිටින එක මව් කුස උපන් සොයුරන් වන් තම නැටුම් සගයන් වූ අරැණ ශාන්ත , අරැණ පෙරේරා, ශශිත් ප්‍රිය ආසිරි , දිනේෂ් ප්‍රියංකර, චාමර අනුරැද්ධ , චමිල්, නුවන් ප්‍රනාන්දු හා පණ්ඩුක වික්‍රමරත්න යන සියලුම දෙනාම ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් සිහිපත් කළේය.

එමෙන්ම කථනයෙන් සහයවූ ආසිරි බංඩාර සොයුරාට සහ වීඩියෝ සහ නිශ්චල චායාරෑපකරනයෙන් ගම්මඩුව තමන්ගේ කැමරාවට හසුකර ගනිමින් අමිල සේවමක් කළ රේණුකා විමලරත්න යුවලටත් අත්තනායකයෝ තමන්ගේ හද පිරි ස්තූතිය පුද කරන බව මා සමග පැවසීය. එමෙන්ම උදව් උපකාර කළ කවුරැන් හෝ සදහන් කරන්නට නොහකිවුවානම් සහ තමන්ගෙන් එදින යම් අඩුපාඩුවක් සිද්ධ වූවානම් එතුමා ඉතාමත්ම නිහතමානීව සමාව ඉල්ලා සිටින බවද අවසානයේ පැවසීය.
ඉතාමත්ම වටිනා සහ ඵලදායී හෝරා කීපයක් ඔවුන් සමග ගෙවූ මා ආපසු එන්නට හැරෙනවිට රාත්‍රී දහයත් පසුවී තිබිණි.
මම මෙසේ කියමින් මේ දීර්ඝ සටහන අවසන් කරමි.

ආදරණීය අත්තනායක කලාකරැවාණෙනි , ඔබ ජාතියේ සම්පතකි. කිසිදු බාධකයින් නොසැලී ඉදිරියටම ඔබේ ගමන යන්නට අවශ්‍ය ශක්තිය හා දහිරිය නිරතුරැවම ලැබේවා ! ඔබට ජය ශ්‍රී!

එමෙන්ම ඔබ දෙපළ කිසිදූ ගුරැමුෂ්ඨියකින් තොරව එංගලන්තයේ වෙසෙන අපේ දුවා දරැවන්ට අපගේ හෙල කලා සම්පත් උගන්වමින් අනාගත පරපුරද ඒ කලා ශිල්පයන්ගෙන් පෝෂණය කිරීමට ගන්නා වෙහෙස හා කැපවීමද මේ අවස්ථාවේ ඉතා ඉහලින්ම අගය කරමි.


සටහන - චන්දන ගුණසේකර
ඡායාරෑප - රේණුකා විමලරත්න