ලක් නිදහස ලන්ඩනයේ සැමරේ

tmadawela | 16 Feb, 2017 06:02PM | Leave a comment
ශ්‍රී ලංකාවේ 69 වෙනි නිදහස් දිනය ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී පෙබරවාරි 4 වනදින උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

උත්සවය ආරම්භ කෙරුනේ මහකොමසාරිස් අමාරි විජේවර්ධන විසින් ශ්‍රී ලංකා ජාතික ධජය මහකොමසාරිස් කාර්යාලයේ කුඹ ගස මත එසවීමෙනි. ජාතික ගීය සිංහල බසින් ගායනාකෙරුණි. පැමිණ සිටි සියලුම දෙනා විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වා ශ්‍රී ලංකාවේ සියලුම ජාතික වීර වරයින් සිහිපත්කෙරුණි.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමි, සුබ්‍රමනියම් කුරුක්කල් තුමා, ගරු දයා පෙරේරා පියනම සහ මොහමඩ් අනාස් මව්ලවි තුමන් ආගමානුකුල වතාවත් සිදුකළහ. මහකොමසාරිස් විජේවර්ධන පැමිණසිටි පිරිස අමතමින් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමේ අගය පිළිබඳව විස්තර කර දුන්නාය. නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති වරයා සහ අගමැති වරයා විසින් නිකුත් කරතිබූ විශේෂ පණිවිඩද කියවිණි. එදින උත්සවය අවසන් කෙරුනේ ශ්‍රී ලංකා ජාතිකගීය දෙමල භාෂාවෙන් ගායනා කිරීමෙනි.

උත්සවය සඳහා සිංහල,දෙමල සහ ඉස්ලාමිය ශ්‍රී ලාංකිකයින් මෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින්ද විශාල පිරිසක් සහභාගී වුහ.

පෙබරවාරි 6 වනදින ලක් නිදහස සැමරීම වෙනුවෙන් ලන්ඩන් නුවර සේවය කරන විදේශ තානාපති වරුන්, බ්‍රිතාන්‍ය රජයේ විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාල නිලධාරින්, සාමී මන්ත්‍රණ සභාවේ සහ පාර්ලිමේන්තුවේ මැති ඇමති වරුන්, නගරාධිපති වරුන්, නාගරික මන්ත්‍රීන්, විද්වතුන් සහ ව්‍යාපාරිකයින් සඳහා විශේෂ සැමරුම් උත්සවයක්ද සංවිධානය කර තිබුණි. පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඩ් සහ මහ රැජිනියගේ තානාපති සේවයේ මාර්ෂල් මහාමාන්‍ය ඇලෙස්ටර් හැරිසන්ද විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එදින උත්සවයට සහභාගී වුහ.

මේ අතර ලන්ඩන් නුවර ශ්‍රී සද්දාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරස්තානය, හවුන්ස්ලෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ඉස්ලාම් සමිති එකමුතුව මඟින්ද 69 වන නිදහස් දින සැමරුම් උත්සව, පින්කම් සහ යාඥා සංවිධානය කර තිබුණි. මෙම සමරු වැඩසටහන් වලට නිදහස් ශ්‍රී ලංකාව පිලිබඳ වාර්තා චිත්‍රපට දර්ශන සහ සිංහල නර්තන අංග ඇතුලත් විශේෂ සංදර්ශනද ඇතුලත් විය.

 

චයාරුප ප්‍රනීත් හෙට්ටිආරච්චි සහ තිස්ස මඩවල