ආදරණීය මිනිසකුගේ නික්ම යෑම.........

Chandana Gunasekera | 12 Nov, 2015 05:01PM | Leave a comment
ආදරණීය මිනිසකුගේ නික්ම යෑම.........

මේ සති දෙක ඇතුළත අසන්නට ලැබුණු කනගාටුදායක පුවත් අතරට තවත් එවැනිම පුවතක් අද උදෑසන එක්වුනි. එනම් තවත් අප ආදරය කළ සොඳුරු මිනිසකුගේ නික්ම යාමයි. පුවත ගෙනආවේ මා මිත්‍ර අරැනය. එය අසා එකවරම මගේ හදවත කඩා වැටුණද ඊළඟ නිමේෂයේ යම් සැනසීමක්ද සිතට දැනුණි. සැනසීම නම් පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ කතා කරගැනීමට හා අත්පා පවා සොලවාගත නොහැකිව ඇඳකට හා රෝද පුටුවකට සීමාවී වුන් එතුමා විඳි දුක් කන්දරාව අදින් අවසන් වූවානේදැයි සිතීමෙනි.

උතුරැ ලංඩනයේ කින්ගස්බරි ජාත්‍යන්තර පංසලට යන එන අයෙකුට මෙතුමා අමුත්තකු නම් වූයේ නැත. අයෙකු ඔහුට මිස්ටර් ලීලාරත්න කියු අතර තවෙකෙකු ඔහුට කපු අයියා යැයි කීවේය. ඔහු දරැවන්ගේ කපු සීයා හෝ කපු අංකල් වූයේය. කවුරැ කෙසේ ඔහුට කුමක් කියා ඇමතුවත් ඒ හැමටම ඔහුගෙන් ලැබුණේ එකම සංග්‍රහයය. එකම සිනහවය. එය පුද්ගල තරාතිරම, ගැහැණු පිරිමි හෝ ලොකු පොඩි කියා වෙනස් වූයේ නැත.

නමින් ලීලාරත්න කාරියවසම් වූ මෙතුමා සැම දෙනාම අතර ජනප්‍රිය චරිතයක් වූ අතර පංසලේ දේවාලය පවත්වාගෙන යමින් ඉතා අනඟි මෙහෙවරක් ලංඩනයේ වෙසෙන ශ්‍රී ලාංකීය ජනතාවට ඉටු කළේය. අනූව දශකයේ මුල්භාගයේදී පමණ යම්කිසි හේතුවක් නිසා දායකයන් කින්ග්ස්බරි පංසල හැර යද්දී පංසලේ හාමුදුරැවන් සමඟ සිටියේ මෙතුමාය. පංසලට දානය නොලැබුණු ඒ සමයේ එතුමා කෑම බීම උයා සංග්‍යාවහන්සේලාගේ දානය සැපයීමේ සියලු වගකීම් කරට ගත්තේය.

තම අසනීපද නොතකා , උඟුර ලේ රහවන තුරැ ආතුරයන් වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කළේය. එතුමාගෙන් ආශීර්වාද නොලබා විභාගයකට ගිය කෙනෙකු සොයාගත නොහැකි විය. ලෙඩක් දුකක් හැදුණු විට, කරදරයක් පැමිණි විට එසෙත් නැතිනම් නව වාහනයක් ගත්තුවිට සැමටම සිහිවූයේ එතුමාය.

එතුමා අෂ්ටක නොකියූ මඟුලක් නොවීය. බෙර නොගැසූ අවමගුලක් නොවීය. නව ව්‍යාපාර හෝ නව නිවෙස් ආරක්ෂා වූයේ එතුමා අතිනි.

මා හා මගේ පවුල සමඟ කපු මහත්තයා ඉතාමත්ම කුළුපග විය. අපේ ඇසුර තවත් තීර්ව කළ කරැනක් වූයේ එතුමා අනුරාධපුයේ නුවර වැව තානායමේ සේවය කොට තිබීමය. ගාල්ලේ උපත ලැබුවත් එතුමා වැඩිපුර ගතකොට තිබුණේ අනුරාධපුරයේය. මගේ උපන් ගමත් අනූරාධපුර නගරයම වීම නිසා අප දෙදෙනාට කතා කළ හැකි බොහෝ පොදු දේවල් තිබිණි. එමෙන්ම එතුමා රුසියාවට ගොස් සේවය කළ , එවකට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය දැරෑ ජෝන්පුල්ලේ දොස්තර මහතා අනුරාධපුරයේ අපගේ පවුලේ වෛද්‍යවරයා වීමද අප අතර ඇතිවූ බැඳීම තව තවත් ශක්තිමත් කිරීමට බලපෑ තවත් හේතුවක් විය. දිනක් රාත්‍රියේ , අපගේ නිවස ආරක්ෂාකිරීමට පැමිණ ආපසු එතුමාව පංසට ඇරලවද්දී මා සමඟ වාහනයේ මේ පැරණි දේවල් කතා කරමින් හා විහිළු කරමින් ගිය හැටි මට අදමෙන් මතකය.

එතුමාගෙන් තොර අවුරැදු උත්සවයක් තිබුණේ නැත. කින්ග්ස්බරි පංසල විසින් පැවැත්වූ අවුරැදූ උත්සව වල වේදිකා සැරසිලි අංශයේ වගකීම එතුමාගේ කර මත තිබුණත් අනෙකුත් හැම වැඩකටම වාගේ කවුරැත් සෙව්වේ කපු මහත්තයාය. කපු අයියාය. කපු අංකල්ය. විහිළු කතා කියමින් එතුමා සමඟ වැඩ කරද්දී අපට මහන්සියක් නොදැනුණි. කාලය ගතවෙනවා නොහැගුණි.

පංසලට ගොඩ වන්නකුට එතුමාගෙන් තේ කෝප්පයක් නොබීනම් ආපසු යාමට ලැබුණේ නැත.

එහෙත් මීට වසර දෙකකට පමණ පෙර හදිසියේ මේ සියල්ල වෙනස් විය. එතුමා , ඇතිවූ ආඝාත ( Stroke) තත්වයක් හේතුවෙන් දරැණු ලෙස රෝගීවූ අතර කතා කිරීමට පවා නොහැකි වී ගියේය. ශරීරයේ වම් අංශය පණ නැතිවිය. දහසකුත් ගාථා කියූ , යාතිකා මැතිරෑ මුව ගොළු විය. දෛවය එතුමාට සරදම් කළේ එලෙසිනි.

කින්ග්ස්බරියේම පිහිටි සත්කාර ඒකකයක නැවතී ඇඳකට සහ රෝද පුටුවකට සීමාවන්නට එතුමාට සිදු විය. පංසලේ හාමුදුරැවරැ සහ එතුමාට ආදරය කළ ජනතාව එතුමා අමතක කළේ නැත. විශේෂයන්ම නේපාලයේ සුමන හාමුදුරැවන් ඇතුළු පිංවත් ගිහි පිරිස් එතුමාගේ දුක සැප බැලීමට නිරතුරැවම එහි ගියහ.

මට කිහිප සැරයකට වඩා එතුමා බලන්නට යන්නට නොහැකි විය. ඒ ගිය හැමවතාවේම අපව හඳුනාගෙන කඳුළු සලමින් මොනවදෝ නොතේරෙන භාෂාවකින් කියන්නට උත්සහ කළ අන්දම මට මේ මොහොතේද සිහියට එයි.

කළගුණ දත් හාමුදුරැවරැ සහ ගිහියෝ පංසලේ යම් උත්සවයක්වේද ඒ සෑම අවස්ථාවකටම එතුමාව සහභාගි කරවාගන්නට අමතක නොකළහ. එමෙන්ම පසුගිය වසරේ ඇසළ මාසයේ එතුමාගේ ජන්ම සංවත්සරයදා එතුමාව පංසලට ගෙනවිත් උපහාරයක් පැවැත්වීමද මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතූය.

එහෙත් අද එතුමා නැත. මේ භවයේ විඳි දුක් අවසන් කොට එතුමා යන්නට ගොසිනි. ලබන ආත්මයේ නම් මෙවන් දුකක් එතුමාට විඳින්නට නොලැබෙනු ඒකාන්තය. මන්ද මේ ජීවිත කාලයේදී එතූමා විසින් අන්‍යයන්ට කළ අමිල සේවය හේතුවෙනි. ඔවුනගේ දුකට පිහිටවී දුක තූනී කරගැනීමට ශක්තියක් වූ නිසාවෙනි. නිරතුරැවම කැපවූ හෙයිනි.

ආදරණීය කපු අයියේ , ඔබ අපේ නිවසට පැමිණ ඒ රාත්‍රියේ නිවසේ ආරක්ෂාවට එල්ලූ සහල් ඇතුළු ධාන්‍ය හා කුළු බඩු පිරවූ පුංචි බෝතලය මගේ නෙතු අබියස ඇත. එය බොඳවී ටිකින් ටික මගේ දෙනයනින් මිදී ඈතට යන බවක් මේ මොහොතේ මට දැනේ. ඔබත් එලෙසට අපෙන් ඈතට පිය මැන ගොසිනි. ඉතින් මා කුමක් කියන්නද ඔබට? සුබ ගමන් කියා කියනු හැර ..............

චන්දන ගුණසේකර