පුහුදුන් මිනිසුන්ගේ දුක් වේදනා හා අනේක අප්‍රමාන අපේක්ෂා අදෘශ්‍යමාන දෙවිවරුන්ට හඬගා කියූ දෙවියෙක් වගේ මිනිහෙක්.

tmadawela | 13 Nov, 2015 11:04AM | Leave a comment
පුහුදුන් මිනිසුන්ගේ දුක් වේදනා හා අනේක අප්‍රමාන අපේක්ෂා අදෘශ්‍යමාන දෙවිවරුන්ට හඬගා කියූ දෙවියෙක් වගේ මිනිහෙක්.

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී විෂ්ණු කතරගම දේවාලයේ ආරම්භයේසිට සියලු වැඩකටයුතු භාරවසිටි ලීලාරත්න කාරියවසම් කපු මහතා( 67) නොවැම්බර් 12 බ්‍රහස්පතින්දා උදෑසන අභාවප්‍රාප්ත විය.

1986 සිට කින්ස්බරි විහාරස්ථානයේ සියලුම වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමේදීත් අවශ්‍ය වැඩකටයුතු සැලසුම්කර ක්‍රියාවට නැංවීමේදීත් ලීලාරත්නයන්ගේ සහභාගිත්වය වැදගත් වුයේය. විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් සහ අනෙකුත් සියලුමදෙනා වෙලාව අවේලාව නොබලා සිනහමුසු මුහුණින් යුතුව පිළිගෙන අවශ්‍ය පහසුකම් ලබාදුන්නේද කපුමතාවිසිනි. එලෙසම කින්ස්බරි පන්සලේ සීග්‍ර ජනප්‍රියත්වයේ වැඩි බරක් අයත්වන්නේ ලීලාරත්නටය.

ඔහු සැම දෙනා අතරම ජනප්‍රිය චරිතයක් වුවා පමණක් නොව විහාරස්ථානයේ කතරගම විෂ්ණු දේවාලයක් පිහිටුවා පවත්වාගෙන යමින් ඉතා අනඟි මෙහෙවරක් ලංඩනයේ වෙසෙන ශ්‍රී ලාංකීය ජනතාවට ඉටු කළේය. ලන්ඩනයට කෙම්මුර දින වලංගු නොවීය. සතියේ හැම දිනකම හැම වෙලාවකම විවිධ අවශ්‍යතා උදෙසා බැතිමතුන් දේවාලයට පැමිණෙති. මේ සැමදෙනා වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන්නට ඔහු හැමවිටම ඉදිරිපත් වුයේය. ලීලාරත්නගෙන් ආශීර්වාද නොලබා විභාගයකට ගිය ශ්‍රී ලාංකික දරුවකු නැති තරම්ය. ලෙඩක් දුකක් හෝ වෙනත් කරදරයක් පැමිණි විට, නව වාහනයක් ගත්විට ඒ සැමදෙනාටම දේවාශීර්වාදය ලබාදුන්නේ ලීලාරත්න කපුමහතාය.

විශේෂයෙන් එංගලන්තය පුරාම ශ්‍රී ලාංකික විවාහ මංගල්‍යයන් සඳහා පෝරුවේ චාරිත්‍ර නියමිත අයුරින් පැවැත්වුයේ ලීලාරත්නයන් එම කටයුතු ආරම්භ කලාට පසුවය. ලන්ඩන් නුවර ඉන්නා ප්‍රවීණ නර්තන ශිල්පින් වන ඒ.පී. අත්තනායක සහ පණ්ඩුක වික්‍රමරත්න සමඟ එවැනිම දක්ෂතා ඇති ශිල්පින් කිහිපදෙනෙකු එකතු කරගනිමින් නර්තන කණ්ඩායමක් නිර්මාණය කර පවත්වාගෙන යාම සඳහා මුලිකව කටයුතු කලේ ඔහුය.

තමන්ගේ සුඛ විහරණය හෝ සෞඛ්‍ය තත්වය පිළිබඳව වත් නොසලකා පරාර්ථ සේවය උදෙසාම දවසේ වැඩි වෙලාවක් වෙහෙස මහන්සිවී කටයුතු කිරීම ලීලාරත්න ඔත්පල වීමට හේතුවක් බව මහා සංඝ රත්නය සහ අනෙකුත් දායකයින් නිරතුරුවම පෙන්වා දුන්නද ඔහු ඒ පිළිබඳව කිසිදු තැකීමක් කලේ නැත. කින්ස්බරි පන්සල හොඳ ලාංකික කෑම වේලක් රසවිඳීම සඳහා ලන්ඩනයේ කටුක ජිවිත ගෙවන ශ්‍රී ලාංකිකයින් නිරන්තරයෙන් එක්වන ස්ථානයක් බව කවුරුත් දන්නා දෙයකි. සමහර අවස්ථාවල එසේ පැමිණෙන තරුණයන්හට තමන්ගේ ආහාර වේල පුජාකර ලීලාරත්න කපු මහතා නිරාහාරව දවස ගෙවූ අවස්ථා අනන්තවත් අප දැක ඇත්තෙමු.

කින්ස්බරි පන්සලේ දැවැන්ත අවුරුදු උත්සව, වෙසක් පොසොන් පින්කම් සහ වෙනත් ආගමික සහ සංස්කෘතික වැඩසටහන් වලදී කපු මහතාගේ දරුවන් වැනි මේ තරුණ පිරිස් සිය ගණනනින් පැමිණ ඒ වැඩකටයුතු සංවිධානය කිරීම සඳහා තම ශ්‍රමදානය සතුටින් කැමැත්තෙන් පුජා කරති. පන්සලේ එවන් දැවැන්ත වැඩ සටහන් ඒ තරුණ ජවය නොමැතිව කිසිකලෙකත් ක්‍රියාත්මක කරන්නට නොලැබෙනු ඇත. ගාල්ලේ පෝද්දල ඔහුගේ උපන් ගමයි. ඔහු ලන්ඩන් නුවරට පැමිණීමට පෙර මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළේය.

පුජ්‍ය ගලයායේ පියදස්සි හිමියන්ගේ ඉල්ලීමකට අනුව ඔහු ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට සම්බන්ධවුයේ 1986 දිය. එතැන්සිට මිට වසර දෙකකට පෙර හදිසියේ අසනීප තත්වයට පත්වන තුරු ලීලාරත්න විහාරස්ථානයේ සියලුම වැඩකටයුතු සඳහා දිවා රාත්‍රී නොබලා ඉමහත් උනන්දුවකින්, කැපවීමකින් සහ භක්තියකින් සිය උපරිම ශ්‍රම දායකත්වය නොමිලයේ ලබාදුන්නේය.

ලීලාරත්න කාරියවසම් මියගිය දවස පුරාම බොහෝ පිරිසක් කින්ස්බරි පන්සලට එකතුවුහ. ඒ සියලුම දෙනා සමඟ ලීලාරත්නට පින් පැමිණවීමේ පින්කමක්ද පවත්වනු ලැබිය. ඔහු වැනි අවංක පින්වත් මිනිසුන් හමුවීම ඉතාම දුබල කරුණක් බව එහිදී විහාරාධිපති පියදස්සි හිමියෝ පැවසුවේ කඳුළු සලමිනි.