ලන්ඩනයේ භික්ෂුනීන් ආරාමයක් ඉදිවෙයි

tmadawela | 24 Nov, 2016 11:17PM | Leave a comment
ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ලන්ඩන් නුවරට වැඩම කරවන නෞද්ධ භික්ෂුනීන් වහන්සේලා සඳහා අවශ්‍ය පහසුකම් සහිත අංග සම්පුර්ණ විහාරස්ථානයක් ලන්ඩන් නුවරදී ඉදිකිරීම සඳහා අවශ පියවර ගෙන ඇත.

ඉංග්‍රීසි ජාතික බහුශ්‍රැත මහ තෙරනමක් වන අජාන් බ්‍රහ්මවන්සෝ පසුගියදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී ධර්මදේශනාවක් පැවැත්වූ අවස්ථාවේදී මේ පිළිබඳව පැමිණසිටි විශාල පිරිස දැනුවත් කරනු ලැබුවේය.

මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ " අනුකම්පා" නමිනි. දැනට ලන්ඩන් නුවර වැඩසිටින ථෙරවාදී භික්ෂුනීන් වහන්සේලා වැඩිදෙනා වහන්සේ සඳහා අවශ්‍ය නවාතැන් සහ දාන මාන පහසුකම් ලබාගැනෙන්නේ ඥාතීන්, වෙනත් බැති මතුන් හෝ හිත මිත්‍රාදීන්ගේ අත් උදව්වෙනි. තායිලන්ත විහාරස්ථාන කිහිපයක භික්ෂුනීන් වහන්සේ සඳහා පහසුකම් ඇති අතර ශ්‍රී ලාංකික විහාරස්ථාන වල පැවැත්වෙන පින්කම් සඳහා භික්ෂුනීන් වහන්සේලා සහභාගී වන නමුත් උන්වහන්සේලාට නේවාසික පහසුකම් සැපයෙන්නේ නැත.

අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන් පැවසුවේ ලන්ඩන් නුවර භික්ෂුනී ආරාමයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බරපැන උපයා ගැනීම සඳහා දැනට කටයුතු ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා මොනම අයුරකින් හෝ සහයෝගය දැක්විය හැකි පින්වතුන් හට "අනුකම්පා" ව්‍යාපෘතිය සමඟ එකතු වෙන ලෙස කරුණාවෙන් ආරාධනා කරන බවද උන්වහන්සේ පැවසුහ.

පර්ත් නුවර වැඩ සිටින බ්‍රහ්මවන්සෝ හිමියන් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නඟර කිහිපයක ධර්මදේශනා පැවැත්වීම සඳහා මේදිනවල බ්‍රිතාන්‍යයට වැඩමකර සිටී. හරබර එහෙත් සරල ඉංග්‍රීසියෙන් පවත්වන උන්වහන්සේගේ ධර්මදේශනාවලට සවන්දීම සඳහා විශාල පිරිස් පැමිණෙති. මේ අතර වැඩිදෙනා ඉංග්‍රීසි ජාතික බෞද්ධයින් වෙති.

දැනට බ්‍රිතාන්‍ය ජාතික චන්දා භික්ෂුනීන් වහන්සේ "අනුකම්පා" වැඩ සටහන භාරව කටයුතු කරති. 2006 දී සසුන් ගතවූ උන්වහන්සේ 2014 දී උපසම්පදාව ලබාගත්තාය. උන්වහන්සේගේ සහයට මැලේසියානු ජාතික හසපඤ්ඤා භික්ෂුනීන් වහන්සේ, වේල්ස් ජාතික ආනන්ධබෝධි භික්ෂුනීන් වහන්සේ සහ ඔස්ට්‍රියන් ජාතික සංචචිත්තා භික්ෂුනීන් වහන්සේ කටයුතු කරති.