"සංචාරක කර්මාන්තය අංක එකට ගෙනෙනවා" ශ්‍රී ලන්කන් සභාපති කියයි.

Admin | 08 Nov, 2015 10:51AM | Leave a comment
"සංචාරක කර්මාන්තය අංක එකට ගෙනෙනවා" ශ්‍රී ලන්කන් සභාපති කියයි.

සටහන තිස්ස මඩවල - ඡායාරූප ප්‍රනීත් හෙට්ටිආරච්චි



ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අප රටට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන තම සේවය බවට පත්කරලීම වත්මන් රජයේ අපේක්ෂාව ලෙසට පත්කර ඇති බව ලන්ඩන් නුවර පැවති ලෝක සංචාරක අළෙවිපළට සහභාගිවූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් පැවසුවේය.


ලන්ඩන් ලෝක සංචාරක අලෙවිපල ලෝකයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මුලික කොට වාර්ෂිකව පැවැත්වෙන දැවැන්තම සමුළුවයි. නොවැම්බර් 2 වන සඳුදා සිට 6 වන සිකුරාදා දක්වා පුරා දින පහක් තුල පැවැත්වුන එම සමුළුව සඳහා ලෝකයේ ලොකු කුඩා රටවල් 150 ක දැවැන්ත සංචාරක සමාගම් අති විශාල සංඛ්‍යාවක්ද සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින්, මාධ්‍යවේදීන් සහ පොදු මහජනතාව ලක්ෂයකට සමීප පිරිසක්ද සඳහා සහභාගිවුහ.

මෙවර ශ්‍රී ලංකා කුටිය සඳහා විශාල ඉඩකඩක් වෙන්කරගෙන තිබුනි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ප්‍රධාන පෙලේ සමාගම් 64ක් තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකා කුටිය තුල ප්‍රචාරය කිරීම සඳහා සහභාගිව සිටියහ.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනයේ ලන්ඩන් නියෝජිත නලින් පෙරේරා පැවසුවේ මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට එංගලන්තයේ සිට ශ්‍රී ලංකාව වෙත සංචාරකයින් 1,27000 පැමිණි බවයි. මෙය පසුගිය වසරට වඩා 15% වර්ධනයක් බවත් පසුගිය වසරේ සංචාරක සමුළුවට සහභාගිවීම තුලින් ශ්‍රී ලංකාව පිළිබඳව ලබාදීමට හැකිවූ පුළුල් ප්‍රචාරය මේසඳහා උපකාරීවූ බවත් ඔහු පැවසුවේය.2015 සංචාරක වෙළඳපලට සමගාමිව ලන්ඩන් ටයිම්ස් පුවත්පත පලකළ විශේෂ අතිරේකයක "2016 සංචාරය කලයුතු හොඳම රට" ලෙස ශ්‍රී ලංකාව නිර්දේශ කර තිබුණි.


සංචාරක ප්‍රදර්ශනයේ දෙවන දිනයේදී සංචාරක කර්මාන්තයට සම්බන්ධ ප්‍රධාන මාධ්‍ය වේදීන් සහභාගිවූ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්විණි.මෙහිදී ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිමල් කරුණාතිලක සංචාරක ඇමති ජෝන් අමරතුංග විසින් එවාතිබු පණිවිඩයක් ඉදිරිපත් කළේය. ඒ මඟින් " ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගෙන සිටින ගමනාන්තයක් බවට පත්ව තිබීම වැදගත් බවත්, විශේෂයෙන් ලෝකයේ හොඳම තේ කෝප්පයක් රසවිඳිමටත්, අලුතෙන් ආරම්භවෙමින් පවතින ඉස්තරම්,කුඩා සුව පහසු පෞද්ගලික නවාතැන් පළවල්, තල්මසුන්, ඩොල්ෆින්, දිවියන්, වලසුන්, අලි ඇතුන් වැනි සතුන් ස්වාභාවික පරිසරයකදිම දැක බලා ගැනීමට ලැබීම මෙන්ම අපගේ පෞරාණික ශ්‍රී විභුතිය පෙන්වන ස්ථාන දැක බලාගැනීමට හැකිවීමත් නොකිලිටි මුහුඳු තිරයේ සුව පහසුව විඳගැනීමට හැකිවීමත් ශ්‍රී ලංකාවත් අනෙකුත් රටවලත් අතර ඇති පැහැදිලි වෙනස බව පෙන්වාදිය හැකිබවත් කියා තිබුණි.



ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා මේ වසර අවසන් වනවිට අලුත් ගුවන් යානා 7 ක් මිලදී ගන්නා බව සභාපති අජිත් කුරේ පැවසුවේය.


දැනට ඇති යානා සංඛ්‍යාව ලබන වසර වනවිට අලුත් ගුවන් යානා මිලදී ගනිමින් වැඩිකර ගැනීමටත් විශේෂයෙන් ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණෙන ඉන්දියාවේ සහ චීනයේ මෙන්ම අනෙක් වැදගත් ප්‍රදේශය වන යුරෝපයේ ගමනාන්තර සංඛ්‍යාව වැඩි කර ගැනීමට කටයුතු කරන බවත්, මේ අනුව වැඩි කලක් නොගොස් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලාභ ලබන තත්වයකට පත්කර ගැනීමට හැකිවන බව තමන්ගේ විශ්වාසය බවත් ඔහු කිවේය.

මේඅතර ශ්‍රී ලංකාව ඇතුලත ගමන් ගන්නා නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් ඒ සඳහා ආසන 40 ක් සහිත නවීන ගුවන් යානා දෙකක් යොදාගන්නා අතර ශ්‍රී ලංකාව තුල ඇති අභ්‍යන්තර ගුවන් තොටුපළවල් 12 වෙතම ගමන් ගන්නා ක්‍රමවත් ගුවන්සේවයක් හඳුන්වාදෙන බවත් ඔහු පැවසුවේය.


මත්තල ගුවන්තොටුපල පිළිබඳව මාධ්‍යවේදියෙකු අසු පැනයකට පිළිතුරුදෙමින් ඔහු කිවේ ගුවන් යානා නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම සහ මුළුමනින්ම පිරිවැඩියා කිරීම සඳහා මත්තල ගුවන් තොටුපලේ පහසුකම් ආසියානු ගුවන්සේවා සමාගමක සහයෝගය සහිතව යොදාගැනීමට කටයුතු යොදන බවයි.




ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති හිරාන් කුරේ පැවසුවේ මෙම වසර අවසානය වනවිට සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවන බවයි.සංචාරක කර්මාන්තය තවදුරටත් නඟා සිටුවීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම අගමැති රනිල් වික්‍රමසිංහ වටහාගෙන ඉන්නා බවත් ඒ සඳහා රජයෙන් ලැබියයුතු උපරිම සහාය ලබාදීමට කැමැත්තෙන් ඉන්නා බවත් පැවසු ඔහු එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට විශාල රුකුලක් වන බවද කිවේය.


මාධ්‍ය සාකච්චාවකට සහභාගිවූ අයෙකු පසුගිය මාසයේ තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කල බවත් එහිදී වැලිගම සහ උණවටුන ආශ්‍රිතව අනවසර ගොඩනැඟිලි ඉදිවෙමින් පවතින කණගාටුදායක තත්වයක් දුටුබවත් පැවසු අතර එවැනි මහා පරිමාණයේ අනවසර ඉදිකිරීම්ශ්‍රී ලංකාවේ ඇති සුන්දරම මුහුඳු තිරයේ මතු පැවැත්මට සහ රක්ෂණයට බලවත් අනතුරක් නොවේදැයි ප්‍රශ්න කර සිටියේය.එසම්බන්ධ අදහස් දැක්වූ හිරාන් කුරේ කිවේ ඒ ගැන රජය දැනුවත් කර ඇති බවත් මුහුඳු තිරයට හානි සිදුවන අන්දමට සිදුකරන සියලුම ඉදිකිරීම් කඩා ඉවත්කිරීමට දැනටමත් කටයුතු යොදා ඇති බවත්ය.මාධ්‍ය සාකච්චාව අතරවාරයේදී අයර්ලන්තයේ සුප්‍රකට සංචාරක වාර්තාකරුවකු වන ඉයෝගාන් කුරී ශ්‍රී ලංකාවේදී ලැබූ අත්දැකීම් පිළිබඳව කතාකරමින් " වසරකට තමන් ලෝකය වටා රටවල් 30 කට වඩා සංචාරය කරන බවත්, ශ්‍රී ලංකාවේදී තමන් ලැබූ මතකයේ රැඳී පවතින සුන්දර අත්දැකීම් අත්විඳ ඇත්තේ වෙනත් රටවල් ඉතාම සිළු ප්‍රමානයකදී පමණක් බවත් කිවේය.



මෙවර ලෝක සංචාරක වෙළඳපල සඳහා ශ්‍රී ලංකා සහභාගීත්වය අනවශ්‍ය වියදම් කපාහැර ඉස්තරම් මට්ටමකින් සංවිධානය කර තිබුණි. වෙනදා මෙන් ශ්‍රී ලංකාවේ සිට මැති ඇමතිවරුන් සහ අනවශ්‍ය නිලධාරීන් සහභාගී නොවීමත් අධික වියදමක් දරා නර්තන කණ්ඩායම් ගෙන්වාගෙන නොතිබීමත් කැපිපෙනුන කරුණක් විය. එවෙනුවට ලන්ඩන් නුවර සුප්‍රකට පණ්ඩුක වික්‍රමරත්න ප්‍රමුඛ නර්තන කණ්ඩායම සහභාගිකරවා ගනිමින් ශ්‍රී ලාංකික නර්තන දවස පුරාවටම ඉදිරිපත් කරනු ලැබිය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉහලින්ම පිළිබිඹු කරමින් නිර්මාණය කර තිබු අලංකාර කුටියට පැමිණි සියලුම දෙනාට අපේ රසවත් තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමටද කටයුතු යොදා තිබුණි.