LIVE::Headbanner 728×90 ( Head Banner )
LIVE::Headbanner 728×90 ( Head Banner )
LIVE::Headbanner 728×90 ( Head Banner )
LIVE::Business Directory ( Nav Banner )
LIVE::Business Directory ( Nav Banner )

විරහ වේදනාවෙන් ආතුරවූ හදවත් සුවපත් කළ ජීවකයා…..

විරහ වේදනාවෙන් ආතුරවූ හදවත් සුවපත් කළ ජීවකයා…..

(එංගලන්තයේ පළවන හෙළබිම පුවත්පතින් උපුටා ගන්නා ලදී)

ශීත කාලයේ අවසන අබිමුව ගෙවී යන තවත් එක් දිනෙක අපරභාගය එළැඹෙමින් පවතී. මම කවුළුව තුළින් අඳුරු පැහැගත් හිස් අහස දෙස හිස් බැල්මෙන් බලා සිටිමි. හීන් හිරි පොදයක් සේ ඇරඹි වැස්ස දැන් මහ වරුසාවක් බවට හැරී ඇත. ගත සිත හිරිවට්ටමින් හමා එන සීතල සුළං රැළි මා හද තවත් පෙළයි. කොළ හැලී ඉපල්ව ගිය ගස් පෙළ පෙරමඟ බලමින් ළඟ එන වසන්තයට සූදානම් වුවත් යන්තම් මෝදුවූ මොටෙයියන් හැරුණුකොට මලක් පිපී එන ලකුණක් අහලකවත් නැත.

හදිසියේම මගේ සිත වසර ගණනාවකට පෙර ලංකාවේ ගතකළ දිනයක් වෙත ඇදී ගියේ මටත් හොරාය. එදිනත් මෙලෙසම වැසි වැටෙමින් තිබූ බව මතකය. මා සිටියේ වැස්ස තුරල් වන තුරු ගසක් යටය. බක් මාසය එළැඹෙමින් තිබුණු සමය නිසා ගස් වැල් මලින් බරවී මල් රොණින් පිරී තිබිණි. අවට වූ මැයි ගස් හා එරබොදු ගස් රක්තවරණ මලින් වැසී අතු මත හා බිම රතු පලස් එලුවාක් මෙන් දිස් වුණි. ඒ මොහොතේ අසල කඩයක තිබූ රේඩියෝවකින් වාදනයවූ ගීතයක් ඒ මොහොතට ටක්කෙටම ගැළපුණේ කෙසේදැයි මට කෙදිනකවත් සිතාගත නොහැකි විය.

” මේ මැයි ගහයට දවසක් දා

වැස්සට අපි උන්නා…….

රතු කැට වාගේ මැයි මල් පිපි පිපි

අපට සෙවණ දුන්නා……”

වෙනසකටවූ එකම දෙය වූයේ මා එතැන තනිවම සිටීම පමණකි. එදා ඒ ගීතය ගැයූ ගායකයාගේ මධුර , ප්‍රේමනීය හා හැගීම්බර හඬ මගේ හදවත පතුලේ ගැඹුරුම තැනක තැන්පත්වූයේ මා ඔහුගේ සදාකාලික රසිකයෙකු බවට පත්කරවමිනි. ඔහු ගැන ලියන්නට හා කතා කරන්නට මට බොහෝදේ ඇත. අපගේ අවාසනාවට අවුරුදු 54 ක් වැනි ඉතා අඩු වයසක සිටියදී , එකදහස් නමසිය අනූ අටේ මාර්තුවේ දහවෙනිදාවක සදහටම අපෙන් සමුගෙන ගියද ඔහුගේ නාමය තවමත් අමරණීයය. ඒ අපට ඉතිරි කොට ගිය මහා නිධානයක්වන් ගීත ගොන්න හේතුවෙනි. මේ පුංචි සටහන මිල්ටන් මල්ලවආරච්චි නම්වූ ඒ සුන්දර , හැගීම්බර අමරණීය ගායකයා වෙනුවෙනි.

එකදහස් නමසිය හතළිස් හතර වසරේ සුන්දර බක් මාසයක හත් වෙනිදා එතුමා මෙලොව එළිය දිටීය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් සිප්සතර හැදෑරූ එතුමාගේ ජීවිතය වූයේ සංගීතයයි.

පිරිපුන් යොවුන් වියේ පසුවූ මිල්ටන් තරුණයා සංගීත කණ්ඩායම් වලට බැඳුණේ ගීත ගායනයට හා සංගීතයට තිබූ පිපාසය නිසාමය. මුලින්ම සෙල්ලම් කළ ” සාක්‍යයන්ස් ” නම්වූ සංගීත කණ්ඩායම වැඩිකලක් පැවතුණේ නැත. ඉන්පසු එකල ජනප්‍රිය සංගීත කණ්ඩායමක්වූ ” ලා සිලනියන්ස් ” කණ්ඩායමට එකතුවීමට තරම් එතුමා වාසනාවන්ත විය.

” ලාසිලනියන්ස්” කණ්ඩායමේ ගීත ගයන මේ යොවුන් තරුණයාගේ ප්‍රේමනීය හඬ පැට්රික් කොරයා නම් ගී තැටි නිෂ්පාදකවරයාගේ සවන් වැකීම මිල්ටන් මල්ලවාරච්චි යන්නෙකුගේ සාර්ථක සංගීත දිවියේ ආරම්භය යැයි මිල්ටන්වත් එදා සිතන්නට නැතුවාට කිසිම සැකයක් නැත. ඒ 1969 වසරේදීය.

” ඔරුවක පාවෙන “, ” සංසාර සෙවනැල්ල”, “මංගලේ නෙත් මංගලේ” වැනි හැත්තෑව දශකයේ මුල්භාගයේ අති ජනප්‍රියවූ සහ එයින්ම මිල්ටන් මල්ලවාරච්චි නම් ගායකයකු මුළු රටම හදුනාගත් ගීත Exvee ලේබලය යටතේ 78rpm රෙකෝඩ් තැටියක් විලසින් දොරට වැඩියේ පැට්රික් කොරයා සංගීත තැටි නිෂ්පාදකවරයාට පිංසිදුවන්නටය.

ඉන්පසුව , එවකට ඉතා ජනප්‍රිය තලයේ සංගීත අධ්‍යක්ෂකවරයෙකුවූ පැට්රික් දෙණිපිටිය මිල්ටන්ගේ ගීතවලට නව ආරක් ලබා දීමට සමත් විය. මේ යටතේ නිර්මාණයවූ මිල්ටන්ගේ ” ඉවුරු තලා”, ” මා හා එදා”, ” මා නිසා ඔබ” හා ” සයුරු තෙරේදි” වැනි ගීත රසිකයන් වැළඳ ගත්තේ උමතුවෙන් මෙනි. මේ කාලය වනවිට විරහ ගීතයේ මුද්‍රාව බවට පත්වීමට මිල්ටන් මල්ලආරච්චි සමත් විය.

මේ අතර ලාංකීය සිංහල සංගීතයේ විප්ලවීය වෙනසක් කළ මහා දක්ෂයකු වූ ක්ලැරන්ස් විජේවර්ධනයන් හමුව මිල්ටන්ගේ සංගීත දිවියේ අති ප්‍රබලම සංදිස්ථානය විය.

ක්ලැරන්ස් සමඟ එකතුවී මිල්ටන් මල්ලවආරච්චි නිර්මාණය කළ ” ඝන අඳුරේ”, එදා රෑ”, ” මට මෙන් ඔහුටද” හා ” මඟ තොටදී” වැනි ගීත හා ක්ලැරන්ස්ම මිල්ටන් වෙනුවෙන් ලියූ ” අවසර නැත මට”, ” සුළඟේ පාවී”, ” තනි වී සිටින්නයි” හා පෙම් රජ දහනේ” වැනි අමරණීය ගීත යුග යුග ගණනාවක් ගෙවී ගියද රසික හද සන්තානයන්ගෙන් ගිලිහී නොයන බව මට හොඳටම විශ්වාසය.

මෙතරම් අපූරුවට හැගීම්බරව විරහ වේදනාව ගැයූ තවකෙකු සිරිලක සිටියේ නැත. ඒ වේදනාව ඔහුගේම කරගෙන ඔහු ගැයුවේය. ඒ සඳහා ඔහු ගිරිය පුප්පාගෙන කෑ ගැසුවේ නැත. අත් පා ලෙලදෙව්වේ නැත. වේදිකාවේ පෙළහර පෑවේද නැත. මයික්‍රෆෝනය එක අතකින් අල්ලා ගෙන වේදිකාව කොනේ හිටි පිළිමයක් සේ හිඳිමින් ඔහු ගැයීය.

ඔහු විරහ ගීත කෙතරම් තාත්විකව ගැයුවාද කියතොත් බොහෝ පිරිස් ඒ ඔහුගේම පුද්ගලික අත්දැකීම් යැයි සිතූහ. මාත් එකල සිතුවේ එලෙසිනි. එහෙත් මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය වරක් පැවසුවේ එතුමාට එවන් විරහවක් නොතිබූ බවත් සහ එතුමාගේ අදරණීය බිරිඳවූ ස්වර්ණා මහත්මිය සමඟ ඉතා සතුටුදායක පවුල් ජීවිතයක් ගත කළ බවත් , එතුමාගේ ඉතාමත්ම හිතවත් යෙහෙළිය වශයෙන් තමා හොඳාකාරවම දන්නා බවයි. මිල්ටන් – ස්වර්ණා යුවලට දරුවන් සතර දෙනෙකු වූ අතර තම පියාගේ අඩිපාරේ යමින් එතුමාගේ ගීත ඉදිරි පරපුරටත් රැගෙනයාමේ උදාර මෙහෙයේ යෙදෙන රනිල් එතුමාගේ ලොකුම පුතාය.

එමෙන්ම අද කාලයේ මෙන් ජංගම දුරකථන නොතිබුණු එකල එතුමාගේ ගීතවල කොටස් තම පෙම් හසුන්පත්වල නොලියූ පෙම්වතකු හෝ පෙම්වතියක සිටියේ නැත. පෙම් සබඳතා කැඩීගියෝ එතුමන්ගේ විරහ ගීත ගයා හෝ අසා තම විරහ වේදනාව සමනය කර ගත්හ.

කරුණාරත්න අබේසේකර, කේ ඩී කේ ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ක්ලැරන්ස් විජේවර්ධන, උපාලි ධනවලවිතාන, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, ෂෙල්ටන් වීරරත්න, කුලරත්න අරියවංශ , ආනන්ද පද්මසිරි, වර්නන් පෙරේරා, චිත්‍රානන්ද අබේසේකර,බංඩාර කේ විජේතුංග හා විජය රාමනායක ආදී අති ප්‍රවීණ හා ප්‍රතිභා සපිරි ගේයපද රචකයන්ගේ අමරණීය පද රචනා ගැයීමට මිල්ටන් මල්ලවආරච්චි සූරීන් වාසනාවන්ත විය.

මා මෙම සටහනේ මුලින්ම සඳහන් කළ මා මෙන්ම සුවහසක් රසික රසිකාවියන් උමතුවවුන් ” මේ මැයි ගහ යට” ගීතය 1976 දී මෙල්රෝයි ධර්මරත්නයන් නිෂ්පාදනය කළ EP තැටියකට ඇතුළත්වූ අතර එය දනන් තුඩ තුඩ නිබදව රැව් දෙන ගීතයක් බවට පත් විය. මෙහි පද රචකයාවූ මෑතකදී අප හැර ගිය ආචාර්‍ය අජන්තා රණසිංහයන්වද මේ මොහොතේ කෘතඥතාපූර්වකව සිහිපත් කිරීම මගේ යුතුකමක් යැයි සිතමි.

1978 දී මිල්ටන් , ක්ලැරන්ස් විජේවර්ධනයන් සමඟ තරංගා ලේබලය යටතේ සිය කුළුඳුල් කැසට්පටය නිර්මාණය කරද්දී එතුමා ගායකයකුට යාහැකි ජනප්‍රියත්වයේ ඉහළම හිනිපෙත්තට ගොස් තිබිණි.

මෙපමණක් නොව සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයන්වූ හැත්තෑවේ හා අසූවේ දශකවල සිනමා පසුබිම් ගායකයකු වශයෙන්ද මිල්ටන් මල්ලවආරච්චි තම අද්විතීය මුද්‍රාව තබා තිබුණි. ඒ 1971 දී ” පූජිතයෝ” චිත්‍රපටයෙන් පසුබිම් ගායනයට එක් වෙමිනි.

එතුමා කෙතරම් සාර්ථක ගමනක් සිනමා පසුබිම් ගායනය තුළින් ගියේද යැයි 1984 දී හොඳම සිනමා පසුබිම් ගායනයට හිමි සරසවි සම්මානය දිනා ගැනීමෙන්ම පෙනී යයි. ඒ සේන සමරසිංහයන්ගේ ” ඈතින් ඈතට” චිත්‍රපටයේ ” කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා ” ගීතයටය. එමෙන්ම සේන සමරසිංහයන්ගේම චිත්‍රපටවූ ” ආශා දෑසින් ” හා ” නිල්ල සොයා” යන චිත්‍රපටවලට එතුමා ගැයූ ” ම්ම්ම් …හාහාහා….මාආ මත්වීලා ” හා ” නිල්ල නගන ස්වර්ණ ටිකිරි රාවේ” වැනි ගීතත් 1974 වසරේදී ” සැණකෙළිය ” චිත්‍ර පටයේ ” රැයක් උපද්දා” හා එහිම ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගැයූ ” සමනල රෑනක් සේ” යන ගීත මිල්ටන් මල්ලවආරච්චි නාමය ඉහළටම ඔසවා අමරණීය තත්වයට පත් කිරීමට සමත් විය.

පැට්රික් දෙණිපිටිය, ක්ලැරන්ස් විජේවර්ධන ,සී ඩී ෆොන්සේකා හා වික්ටර් රත්නායකයන්ගේ ඇතුලු තවත් බොහෝ සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ මනරම් සංගීතය හා එතුමන්ට ලැබුණු හර බර පදවැල් නිසා මිල්ටන් මල්ලවආරච්චි වැජඹුණා මෙන්ම එතුමන්ගේ රසාලිප්ත මනෝහර හඬින් හා ගායන විලාසයෙන් ඒ සංගීතවේදීන් හා ගේයපද රචකයින්ද බැබලුනි. එමෙන්ම මිල්ටන් මල්ලවආරච්චිගේ කැසට්පට උණු කැවුම්සේ විකිණී ගිය අතර ප්‍රේමවන්තයින්ගේ හා විරහව විඳින්නන්ගේ සිහින කුමරා බවට පත්වූයේ නිරායාසයෙනි.

එහෙත් 1998 මාර්තු දහවෙනිදා මේ සිහින කුමරාගේ ගමන නවතා රසිකයන්ගෙන් උදුරා ගැනීමට ඒ හිත් පිත් නැති රුඳුරු මරුවා සමත්විය. ඒ අකල් වියෝවින් දුකටපත් රසිකයෝ මහත්සේ වැළපුනහ. එතුමාගේ ආදාහනයදා බොරැල්ල කනත්ත අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී ගියේ එහෙයිනි.

මරණය අපට කෙස්වත් වළක්වාගත නොහැක. එහෙත් අප එතුමන්ට ආදරය කරන තරමින් අංශු මාත්‍රයක්වත් එතුමා , එතුමාට ආදරය කළා නම් හා එතුමාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වූවානම් , මෙලෙස අඩු වයසින් අකාලේ අපට අහිමි නොවීමට බොහෝ දුරට ඉඩ තිබිණි. එහෙත් ” අනුන්ට ආදරය කරන මිනිසුන් තමන්ට ආදරය නොකරන බව ” අභීත මාධ්‍යවේදී සුනිල් මාධවයන් පැවසූ වදන මිල්ටන් මල්ලවආරච්චි ගායකයාණන්ටද අගේටම ගැලපෙන බව පවසමින් හා මේ සසර කතරේ දිනෙකදී නැවතත් එතුමන්ව හමු වේවායීද පතමින් මම නිහඬ වෙමි.

චන්දන ගුණසෙකර- එක්සත් රාජධානිය

email

About The Author

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Subscribe to our newsletter
Subscribe