New temple in Dubai | ඩුබායිහි අලුත් පන්සලක්

Admin | 03 Feb, 2016 12:58PM | Leave a comment
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි වෙසෙන බෞද්ධ ජනතාවගේ ආගමික සහ සංස්කෘතික අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණ පෙරදැරිකොට ජනවාරි මස 29 වෙනි දින පුජ්‍ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ මුලිකත්වයෙන් ලංකාරාමය නමින් නව විහාරස්ථානයක් ආරම්භ කරනු ලැබිය.


එම සමාරම්භක පින්කමට ආරාධනා ලැබුවන් අතර කොන්සල් ජෙනේරාල් චරිත යට්ටෝගොඩ මහතා සහ එම මැතිනියද විය. ඉතා උත්කර්ෂවත් අන්දමට පැවැත්වුන එම පින්කමෙහි වැඩ කටයුතු සංවිධානය කෙරුනේ චන්ද්රකුමාර මහතා ප්‍රමුඛ දායක සභාව විසිනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකිකයින් දෙලක්ෂ පනස් දහසක් පමණ ජීවත්වෙති. මේඅතර බොහෝදෙනා බෞද්ධයෝය.

ඩුබායි නඟරයේ සහ උතුරු එමිරයේ පදිංචිව ඉන්නා මේ සැදැහැවතුන් සියලුම දෙනාහට අභිනවයෙන් ආරම්භ කෙරුණ මෙම විහාරස්ථානය මඟින් මහඟු සේවාවක් සපයනු ඇත. මිට පෙර ඩුබායි නඟරයේ මහමෙව්නාව භාවනා අසපු ශාඛාවක්ද තායි විහාරස්ථානයක්ද ආරම්භ කර තිබුණි. මව්බිමෙන් ඉතා දුර බැහැරව නුහුරු නුපුරුදු පරිසරයක වෙහෙස මහන්සිවී රැකියාවල නියුතුව ඉන්නා බෞද්ධ සදහවතුන්හට මෙම විහාරස්තානයන්ට අමතරව අලුතෙන් ආරම්භ කෙරුන ලංකාරාමය මඟින්ද ඔවුනගේ ආගමික වැඩකටයුතු සඳහා සහභාගිවීමටත් අධ්‍යාත්මික ගුණ වගාව පවත්වාගෙන යාමටත් ඉමහත් උපකාරයක් සලසාදෙනු ඇත.


භාවනාව ප්‍රගුණ කිරීම සඳහා මුල් තැනක් දෙමින් සම්මුති දේශන්නාවන්ට අමතරව පරමාර්ථ ධර්ම කොටස්ද බුදුදහමේ ගැඹුරු තැන් පිළිබඳව සරලව පහදා දෙමින් අවශ්‍ය අවබෝධයක් ලබාදීම උදෙසාද මෙම විහාරස්ථානය මඟින් කටයුතු කෙරෙනු ඇත.


මැද පෙරදිග රටවලට වැඩම කරවන ආගන්තුක භික්ෂුන් වහන්සේලාට තාවකාලික නවාතැන් පහසුකම් සපයාදීමටද, උන්වහන්සේලා විහාරස්ථානයේ ආගමික සහ සංස්කෘතික කටයුතු වලට සහභාගී කරගැනීමටද විහාරස්ථ දායක සභාව බලාපොරොත්තු වෙයි.


ඩුබායි නඟරයේ ආගමික මෙන්ම ජාතික වැදගත් කමක් ඇති අවස්ථාවන්හිදී පින්කම් සහ සංස්කෘතික වැඩසටහන් සංවිධානය කිරීමටත්ඉදිරියේදී බලාපොරොත්තු වෙයි.

විහාරස්ථානය මඟින් සංවිධානය කෙරෙන භාවනා පන්ති සඳහා මෙන්ම ආගමික සහ සංස්කෘතික වැඩකටයුතු සඳහා බෞද්ධ නොවන අයටද සහභාගිවිය හැකිවෙයි. මේතුලින් මැදපෙරදිග ජීවත්වන සියලුම ශ්‍රී ලාංකිකයින් අතර සමඟිය සහ සහජීවනය වර්ධනය කිරීම සඳහාද උත්සාහයක් ගනු ඇත.