උපන්දින අරමුදලේ ආහාර සල්පිල...

Chandana Gunasekera | 12 Nov, 2014 08:23PM | Leave a comment
පසු ගිය ඔක්තෝබර මාසයේ අවසාන ඉරිදාව එංගලන්තයට සුවිශේෂ වූ ඉරිදාවන්ගෙන් එකකි. ශීත කාලයේ ආරම්භය සනිටුහන් කරමින් හෝරා යන්ත්‍රයේ එක් හෝරාවක් පසු පසට කරකැවීම එදින අලුයමේ දිනය ඇරඹුමේදී සිදුවීම එම විශේෂත්වයයි. එදින රාජකාරියට නොයා ගෙදර ඉන්නවුන්ට ඉතා ප්‍රීතිමත් දිනයකි. මන්ද ආණ්ඩුවෙන්ම ලැබෙන අතිරේක හෝරාවක් වැඩිපුර නිදා ගැනීමට ලැබීමේ වාසනාව භුක්ති විඳීමය. ගැල් බැඳි ගොනුන් මෙන් දින සතිපතා දිවි අරගලයේ සටන් වදින ජන කැලට මෙය කට වචනයට කියනවානම් කලකට නොලැබෙන 'පිනා චාන්ස්' එකකි.පොරෝනය තුළ වකුටුවී අලස සුවය විඳීමටම එදා කාලගුණයද මදි නොකියන්නට අනුග්‍රහය දක්වා තිබුණි. ඉරත් වෙනදා මෙන් වළා පටල ඉරා එළියට එනවා වෙනුවට වළා අතරට වැදී ඒ අමතර පැයේ නිදි සුවය විඳින ආකරයක් දිස් විය.මෙදින හිරැටත් කලින් අවදිවූ තව පිරිසක් වැඩිපුර පැය නිදාගැනීම අමතක කොට ලහි ලහියේ කිසියම් කටයුක්තක් සඳහා සූදානම්වනු දක්නට ලැබුණි. ඊට පෙරදා සිටම පිරිසක් කෑම සෑදූහ. තව පිරිසක් අවැසි කළමනා සම්පාදනය කළහ. කඩවලට ගොස් බඩු ගත්හ.ඉරිදා සවස දෙකයි තිහ පමණ වන විට මේ උද්‍යෝගිමත් පිරිස ලන්ඩනයේ ක්වීන්ස්බරිහි පිහිටි දේවස්ථාන ශාලාවකට එක් රොක් වනු දක්නට ලැබුණි.ගොඩ්ෆ්‍රී සොයුරා ඔහුගේ පුතුද සමඟින් වේලාසනින්ම ශබ්ද පරිපාලන අංශයේ සහ වේදිකා පරිපාලන අංශයේ වැඩ අරඹා තිබිණි.තව පිරිසක් ලහි ලහියේ ශාලාවේ මේස පුටු සකසනු දක්නට ලැබිණි. කිසිදු මෙහෙයවීමක් නොමැතිව සැවොම එකා මෙන් තම තම කාර්‍යයේ නියතවීමද එකිනෙකාට උදව් කරගනිමින් එකම අරමුණක් උදෙසා තම කාලය හා ශ්‍රමය කැපකිරීම නෙත සිත පිනවන දසුනක් විය.

පසුගිය ඉරිදාවේ මේ මහා සුදානම කෙරැනේ අපගේ ජයන්ත හේරත් සොයුරාගේ කාලීන හා වැඩදායී සංකල්පයකින් නැති බැරි කමින් පීඩා විඳින අපේ ලක් මවගේ දුවා දරැවන්ගේ හෙට දවස යහපත් කිරීමේ උදාර අරමුණින් ලංඩනයේ පිහිටුවාගත් උපන්දින අරමුදලේ අරමුදල් තර කිරීම උදෙසා කරන්නට යෙදුණු ආහාර සල්පි සදහායී. ඕනෑම පොදුවැඩකදී එල්ලවන යෝජනා හා චෝදනා මධ්‍යයේ අරමුදලේ ක්‍රියාකාරී සාමාජිකයින් නව පන්‍නරයක් ලැබූ විලසින් මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට තම කාලය,ශ්‍රමය හා මුදල් යොදමින් දින කිහිපයක් මුළුල්ලේම වෙහෙසුනි. විශේෂයෙන්ම ජයන්ත හේරත්,ගොඩ්ෆ්‍රී ද සිල්වා, දිනිල්, චන්දන, වසන්ත හා නිශාන්ත යන සොයුරන් හා මංජුලා අහංගම,ඕලු සුරවීර,චාන් මල්ලවාරච්චි, අමා ගුණසේකර, ආශා පියතිලක යන සොයුරියන්ද සැපයූ ඒ විසල් සහය සහ මෙහෙය අපට කිසිසේත්ම අමතක කල නොහැක.

ශාලාවේ තැනෙක ලංකාවේ බත් හා මාළුපිනි විකිණීමට තබා තිබිණි. එතන නිශාන්ත,ජයකොඩි, සරත්, සුදත්, ධම්මික සොයුරන් හා ශ්‍රියානි, අමිතා සොයුරියන් ඉතාමත් සාර්ථකව වෙළදාම කරගෙන ගියහ. තවත් තැනක සඳලු සහ තවිඳු දරුවන් දෙදෙනාත්, අමන්දා, යුජිනි සහ සඳු විස්කෝතු ටොපි මෙන්ම අත්කම් නිර්මාණ අලෙවි කරනු දක්නට ලැබුණි. තවත් තැනෙක තේ හා රෝල්ස් කට්ලට්ස් වැනි ආහාරපාන විකිණීම සුනේත්‍රා සහ නදී විසින් ජයටම කෙරෙමින් පැවතිණි. පසෙක කේක්ද, සිසිල්බීමද ඊට යාබදව රොටී, නූඩ්ල්ස් වැනි කෑම වර්ගද,තැනෙක සරැවත් වන් බීම වර්ග හා පානීය ජලයද විකිණීම චාන් මනෝරි නිලන්ති සහ ප්‍රියංගිකා විසින් කරගෙන ගියහ.මුල්තැන් ගෙයි අනූ ශ්‍රියානි සහ චමිලා යුහුසුළුව ආප්ප හා බිත්තර ආප්ප පිච්චූහ. ශාලාවේ පසෙක අරමුදලේ නව සාමාජිකයින් බඳවා ගැනීම ශානක රොඩ්රිගෝ සොයුරා විසින් මැනවින් කරගෙන යනු දක්නට ලැබිණි.

අපගේ ප්‍රවීණ කැමරාශිල්පී තිස්ස මඩවලයන් වීඩියෝ කරණයෙන් වෙනදා මෙන්ම අප අරමඅදලේ කර්තව්‍යට එතුමාගේ නොමසුරැ සහයෝගය පුදකරමින් කටයුතු කළ අතර දක්ෂ තරැණ කැමරා ශිල්පීන් වන නලින් ද සිල්වා හා සංජීව ඩයස් චායාරූපකරනයෙන් තම සේවය නොමිලේම අරමුදලට ලබා දෙන ලදී.ලංඩනයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන "SIGNATURE", තම මියුරු ගීත හා කන්කලු සංගීතයෙන් පැමිණ සිටි සැවොම පිනවන ලදී.ආසිරි බංඩාරයන් වෙනදා මෙන්ම තම චතුර කථනයෙන් වැඩසටහන මැනවින් මෙහෙයවීය. දක්ෂ නිවේදිකාවක වන මහේෂි කෝකිලා සොයුරිය සහ අරවින්ද සොයුරා ඔහුට අනඟි සහයක් ලබා දුන්නෝය.දරැවන් සඳහා සංගීත පුටු තරගය හා ටින් කැඩීමේ තරග පැවැත්වූ අතර සහභාගීවූවන්ගෙන් සුළු මුදලක් අරමුදල සඳහා අයකර ගෙන ජයග්‍රාහකයන්ට ඒ අවස්ථාවේදීම තාග්‍යයන් ප්‍රදානය කිරීමද සිදුකෙරුනි.ශාලාවේ කොටසක් මිලදී ගත් ආහාර අනුභවය සඳහා වෙන් කොට තිබූ අතර එහි කෙළවරක අප සාමාජිකයින්ගේ දියණියන් හා පුතුන් කිහිප දෙනෙකු පැමිණ සිටි කුඩා හා වැඩිහිටි අයගේ මුහුණු ආලේපයෙන් (face painting) අරමුදලට යම් ආදායමක් සපයා දීම ඉතාමත්ම අගයකළ යුතු කාරියකි.

මේ සහයෝගය හා සහභාගිත්වය නිසා ඒ දරැවන්ට මේ අප කරන්නාවූ උතුම් කටයුත්ත පිළිබඳ මෙවැනි කුඩා අවදියේදීම ලැබුණු දැනීම මේ කටයුත්ත ඉදිරියේදී ඔවුන් විසින්ම කරගෙන යාමට තැනුණු අත්වැලක් විය.මේ අතර ක්‍රිස්මී අබේතිලක දියණිය විසින් රැෆල් ටිකට් විකිණීම ජයටම කරගෙන යමින් ඇයගේ අනඟි සහය අරමුදල තරකර ගැනීමට යෙදුවාය.වසන්ත කරුණාතිලක සොයුරාගේ අධීක්ෂණය යටතේ සුදානම් කොට තිබූ සල්පිලේ වෙන්දේසිය සැමගේම අවධානය දිනාගැනීමට සමත්විය. අරවින්ද සොයුරා ඉතාමත්ම මැනවින් වෙන්දේසිය මෙහෙයවීය. ගමේ පන්සලක පවත්වන වෙන්දේසියක සිරිය මෙහි නොඅඩුව දක්නට ලැබිණි. ගැණුම් කරුවන් ඉතාමත් උද්‍යෝගයෙන් තරග වදිනු දක්නට ලදී. මෙයින් හොඳ ආදායමක් උපයා ගැනීමට සමත්වීම ලංකාවේ වෙසෙන අසරණ දරැවන්ගේම වාසනාවය.මේ අතර පාසැල් වියේ සිටින එෂිත පුතා විසින් කෙටි සංගීත රිද්මයක් ද, ජයන්ත හේරත් සොයුරාට මහමගදී හමුවූ බාර්ඛේඩෝස් ජාතික දක්ෂතා පිරි ගායකයා විසින් ගැයූ ගීද සභාව කුල්මත් කිරීමට සමත්විය.සැඳැ අඳුර ගලා එද්දී නන් දෙසින් පැමිණි ජනයාගෙන් ශාලාව පිරී ඉතිරී යන්නට විය. ආහාර වෙළදාම ජයටම කෙරිණි. ක්‍රමයෙන් ආහාර පාන හිස්වූ අතර වෙළඳ මහත්ම මහත්මියන්ගේ මුහුණු සතුටින් පිරී තිබෙනු දක්නට ලදී. සැමගේම මුහුණු වල විඩාව පරයා කටයුත්තේ සාර්ථකභාවයේ අරුණලු වැටී තිබිණි.

මින්පසු එළැඹියේ කවුරුත් පුලපුලා බලා සිටි ඒ මහා ගීතයෙන් ගීතය තරගයයි.භූමින්ද කරැණාරත්න,රංචාගොඩ, රොහාන් ජයසේන හා ලන්ඩන් ජෝති යන මහතුන් විනිශ්චය මංඩලය ලෙස කටයුතු කළහ. මට නියමිත අකුරැ තීරණය කිරීම හා සිංදුව නතරකිරීමේ සීනුව නාද කිරීමේ වගකීම පැවරිණි. මගේ ඉල්ලීම පිට ජගත් රණසිංහ සොයුරා සහයට එක්විය.කණ්ඩායම් හයක් තරග තුනකදී කරට කර තරගවැදුණු අතර ඉතා තියුණු අවසන් තරගයේදී ඕලු සුරවීර සොයුරියගේ කණ්ඩායමට ජය අත්විය.මේ තරගය සඳහා සංගීතය සැපයීමෙන් එක්වූ signature සංගීත කණ්ඩායමේ සේවය ඉතාමත්ම අගය කළ යුතුය.මෙහිදී චන්දි බුලත්සිංහල මහත්මිය සර්පිනාවෙන් හා ඇයගේ පුත් හිමාල් තබ්ලාවෙන් සැපැයූ දායකත්වය ඉතාමත් අනර්ඝය. සල්පිලේ මේස මතවූ භාජන එකින් එක හිස්වෙද්දී පැමිණසිටි පිංවත් ජන කැලද එකා දෙන්නා ශාලාවෙන් නික්ම යනු දක්නට ලදී. අවසානයට signature සංගීත කණ්ඩායමේ වේග රිද්ම ගී හා සංගීතයට ඉතා මනරම් නර්තනයකට ඉතිරිව උන් පිරිස සහ අප සාමාජිකයින් එක්විය.ඉන් පසුව ආරම්භයේදීම මෙන් නැවත ක්‍රියාත්මකවූ අප සාමාජික කැල ශාලාව යුහුසුළුව අස්පස්කර තිබුණාටත් වඩා හොඳින් සුදානම් කරහ. එහිදී නීල් සොයුරා, දමිත් සොයුරා සහ සම්පත් මහානාම සොයුරාගේ දායකත්වය නොකියාම බැරිය.මේ අන්දමින් සෑම සියලු දෙනාගේම සහයෝගයෙන් තවත් එක් වැඩසටහනක් ඉතාමත්ම සාර්ථකව නිමාවට පත්විය. මේ සාර්ථකත්වයෙන් සැනසී ඉතාමත්ම ප්‍රීතියෙන් යුක්තව තම තමන්ගේ නිවෙස් බලා යන්නට සැරසුණු අප සාමාජික ගොන්නේ විඩාබර එහෙත් තෘප්තිමත් මුහුණු තුළින් මම ඒ අසරණ දරැවන්ගේ සිනහවෙන් පිරැනු සොඳුරැ මුහුණු දැක ගතිමි.

සටහන චන්දන ගුණසේකර විසිනි.


Like - Nalin De Silva Photography - The Eye