බටහිර ලංඩනයට දෙවියන් වැඩමවූ නිහතමානී කලාකරැවා - පද්මසිරි අත්තනායක

Chandana Gunasekera | 01 Jan, 1970 12:00AM | Leave a comment
යක්කුන්ට බයනම් සොහොනෙ ගෙවල් සාදන්නෙ නෑ කියන කථාවත් කැලේ මාරැ වුණාට කොටියගෙ පූල්ලී මාරැ වෙන්නෑ කියන කථාවත් අප කුඩා කල සිටම අසා ඇති ප්‍රසිද්ධ කියමන් දෙකකි.

මේ කාරණා දෙකම සනාථ වන අන්දමේ සිද්ධියක් පසුගියදා බටහිර ලන්ඩනයේ ෆෙල්තම් පුරවරයේදී සිදුවුණි.

මේ සඳහා මූලිකව කටයුතු කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත්ම නිහතමානී තරැණ කලාකරැවෙකි. මුවඟ රැඳුණු අවිහිංසක හා අව්‍යාජ සිනහව එතුමාගේ නිහතමානිබවේ ආභරණයක් ලෙස හැඳින්වුවහොත් එහි කිසිදු වරඳක් නැත.

පද්මසිරි අත්තනායක එතුමන්ගේ සම්පූර්ණ නමයි. ඒත් සැවොම එතුමා ආමන්ත්‍රණය කළේ අත්තනායක නමිනි.

ලංඩනයේ වාසය කරමින් කලාවට සහ එහි උන්නතිය වෙනුවෙන් කරන්නාවූ අනුපමේය නිහඬ සේවයට ඇගැයීමක් හා උපහාරයක් පිණිස ලිපියක් ලිවිය යුතු යැයි බොහෝ කලක පටන් සිතා සිටියද එය දිනෙන් දිනම මගහැරැනු අතර මේ පවත්වන්නට යෙදුණු කලා කටයුත්තෙන් එයට අවශ්‍ය නිමිත්ත මට පසුගිය සතියේ ලැබිණි.

පසුගිය ඉරැදිණ හැන්දෑ යාමයේ එතුමන් සොයා තම ආදරණීය බිරිඳ සහ පුංචි සුරංගනාවියන් බඳු සිඟිති දියණියන් දෙදෙනා සමග එතුමා වෙසෙන ඒ සොඳුරැ කැඳැල්ලට මම පියනැගුවෙමි.

සුපුරැදු සිනහවෙන් මුව සරසාගත් අත්තනායක යුවළ සිංහල චාරිත්‍රානුකුලව දෑත් එක්කොට "ආයුබෝවන් " කියා මා පිළිගත්හ.

පුරා හෝරා දෙකක් පමණ එතුමන් සමඟ දොඩමළු වූ මට කාලය ගෙවී යනු නොදැනිණි.

මෙතැන් සිට ඔබ වෙත මා ගෙන එන්නේ ලංකාවේ සිට බටහිර ලංඩනයේ පැවැත්වූ ගම් මඩුව දක්වා පැමිණි එතුමන්ගේ අධිෂ්ඨානයේ කතන්දරයයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පල්ලෙවෙල නම්වූ සුන්දර ගම්මානයේ පද්මසිරි අත්තනායක, අපේ කතා නායකයා උපත ලැබුවේය.

දරැවන් සතර දෙනෙකු වූ ඒ සොඳුරැ පවුලේ වැඩිමලාවු පද්මසිරිට බාල සොයුරන් දෙදෙනකූ හා සොයුරියක වූහ.

ගමේ පාසල වූ වල්බෝලානේ කණිෂ්ඨ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබූ අපේ ලොකු අත්තනායක සහෝදරයා ඉන්පසූ වේයන්ගොඩ මහා විද්‍යාලයට ඇතුළු වුණි.

ලොකු මල්ලී චන්දන කුමාරසිරි අත්තනායකද චූටි මල්ලී සමන් රත්නසිරි අත්තනායකද වුවත් ගමේ හා පාසලේ කවුරැත් මේ සොයුරන් තිදෙනාව හැඳින්වූයේ 'ලොකු අත්තනායක' , ' පොඩි අත්තනායක' හා 'සමන් අත්තනායක ' යන ආදර නාමයන් ගෙනි.

බහ තෝරන වයසේ සිටම බුද්ධ රෑප හා දේව රෑප දෙස පැයගණන් බලාසිටීමට ප්‍රිය කළ අපේ ලොකු අත්තනායක අහුවෙන අහුවෙන කොළ කැබලි වල සහ නිවසේ බිත්තවල බුද්ධ රෑප හා දේව රෑප සිතුවම් කරන්නට පටන් ගත් බවත් කුඩා කල තම පියාගේ නිදන ඇඳ අසල බිත්තියේ ඇඳි සිතුවම් අදටත් එහි ඇති බවද මා සමඟ පැවසුවේ මනසින් ඒ අතීත සුව විඳිමිනි.

එමෙන්ම බෙර හඬට තදින්ම ඇලුම් කළ හෙතෙම කුඩා අවධියේ හිස් කිරි ටින් දෙකක් එකට බැඳ තම්මැට්ටමක් සාදා එය කෝටු කැබැලි දෙකකින් ගසමින් සොයූරැ සොයුරියන් සමඟ නිවස වටා පෙරහැරේ ගොස් ඇත්තේ ඒ සඳහා ඇති ඔහුගේ අධික කැමැත්ත නිසාවෙනි.

එපමණක් නොව එවකට සුබසෙත පත්තරයේ සතිපතා පළවූ දහඅට සන්නියේ එක් එක් සන්නි හා ශාන්ති කර්මවල විස්තරත් ප්‍රසිද්ධ නර්තන ශිල්පින්ගේ හා බෙර වාදකයන්ගේ පිංතූරත් කපා පොතක අලවා තබා ගැනීමට පවා කුඩා අවධියේ සිටම පෙළැඹී තිබිණි.

මව්ගෙන් හෝ පියාගෙන්වත් ඒ ඒ පාර්සවයන්ගෙන්වත් නැටුම් හා බෙරවාධනය පිළිබඳ ජානමය පෙරහුරැවක් හෝ ආභාසයක් නොවූ නිසා පියා සැමවිටම වාගේ විහිළුවට " මු නම් ගිය ආත්මයේ නැට්ටුවෙක් එහෙමත් නැතිනම් බෙරකාරයෙක් වෙන්න ඇතැයි" බොහොම උජාරැවෙන් කීවෙළු.

ලොකු අත්තනායක දෙක වසරේ ඉගෙනුම ලබද්දී පාසලට පැමිණි ආධුනික ගුරැවරැන්ට සමුදීම උදෙසා පාසලෙන් පැවැත්වූ සංදර්ශනයේ නැටුම් වලට, නැටුමට මෙතරම් ආශා කරන අත්තනායකයන් තෝරා නොගෙන නැටුමට කිසිදු උනන්දුවක් හෝ දක්කමක් නොමැති ළමුන්ව තෝරා ගැනීම අත්තනායකයන්ගේ ළපටි සිත බෙහෝසේ කලකිරීමට පත්කිරීමට හේතුවක් වුවත් ඒත් සමගම කෙසේ හෝ නැටූම් ඉගෙන ගෙන හොඳ නැටුම් ශිල්පියෙකු වෙනවාමයි යන අධිෂ්ඨානයද ඇතිවී තිබිණි.

මේ අවධියේ දිනක් තම මව සමඟ ගමනක් යමින් සිටියදී මාර්ගය අසල නිවසකින් එන බෙර හඬක් ඇසී තම මවට ඇවිටිලි කොට ඒ නිවසට ගොස් තිබුණ අතර එය ප්‍රියන්ත කුමාර නම්වූ නැටුම් ගුරැවරයාගේ නැටුම් පංතිය බැව් දැනගන්නට ලැබී ඇත. අහම්බයෙන් වුවත් ඒ නැටුම් පංතියට බැඳී නැටුම් ඉගෙනුමට අපේ ලොකු අත්තනායකට හැකිවිය.

නැටුම් කලාවේ අයන්න තමන්ට ඉගැන්වූ ප්‍රියන්ත කුමාර ගුරැතුමාව ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කළ අත්තනායකයෝ ඉන්පසුව ගිරාගම ගුරැ විද්‍යාලයේ කථිකාචාර්‍ය කෙනෙකුවූ එඩ්මන් ගනේගොඩ ගුරැ පියාණන්ගෙන් උඩරට නැටුම් හා බෙරවාදන ඉගෙනගත් බැව් පැවසීය.

එයිනුත් නොනැවතුණු ලොකු අත්තනායක තව දුරටත් බෙර වාදනය ප්‍රගුණ කරගැනීම සඳහා පාරම්පරිකව දෙවොල් මඩු පවත්වන බලබෝව රංජිත් පද්මසිරි ගුරැ පියාණන් යටතේ පුහුණු වීම් ඇරඹීය.

මේ අතරේදී තවත් දෛවෝපගත සිදුවීමක් සිදුවී තිබිණි.

ගනේගොඩ ගුරැතුමා පෙරහැරක පහතරට නැටුම් කණ්ඩායමක් සඳහා අත්තනායකයන්ගේ චූටි මල්ලීව යොඳාගෙන තිබුණේ මේ කාලයේදීය.

චූටි මල්ලී පහතරට නැටුමට විශාල දක්ෂකමක් පෙන්වා තිබූ අතර ඔහු නටනයුරැ දුටු ලොකු අත්තනායකයන්ටද පහත රට නැටුම් ඉගෙනුමට සිතක් පහළ වී තිබිණි.

මේ සමයේදී අත්තනායකයන්ගේ ලොකු මල්ලී බෙර වාධනයටත් චූටි මල්ලී දෙවොල් මඩුවල නැටීමටත් යෙමුවී තිබුණු අතර පාසලේ හෝ ගමේ කළා කටයුතු වලදී මේ අත්තනායක සොයුරන්ට සැමවිටම ලැබුණේ මුල්තැනය.

ඔවුන්ගේ පියාණන්වූ ඒ විලියම් මහතා සහ මෑණියන් වූ කේ ගුණවතී මහත්මිය බොහෝ දිනවල සැදෑ සමයේ රාස්සිගේ අව්ව ගෙයි වහලට මුවා වෙද්දී ගෙය ඉදිරිපිට තැබූ පුටු දෙකක විවේක සුවයෙන් වාඩිවී තේ පැන් උගුරක පහස ලබන අතර සොයුරන් තිදෙනාගේ නැටුම් හා බෙරවාදන බලා තුටු වීමට පුරැදුවී උන් බව මා සමඟ පවසා සිටියේ තම දෙමාපියන් ගැන උපන් මහා භක්තියකින් යුතුව බව හැගීමෙන් බරවූ මුහුණ හා කට හඬ හොඳම සාක්ෂිය විය.

චූටි මල්ලී හොඳින්ම පහතරට නැටුම් ප්‍රගුණ කළ අතර ඔහුගෙන් තමා පහතරට නැටුම් ඉගෙන ගත් බවත් තමන්ගේ මුල්ම පහතරට නැටුම් ගුරැවරයා චූටි මල්ලී බවත් මා සමඟ පවසා සිටියේ තමන්ගේ නිහතමානීභව නැවතත් ප්‍රදර්ශනය කරමිනි. තමන්ට ශිල්පය දුන් ගුරැවරයා ගැන පවා කීමට මැලිවන පුහු මාන්නාකාරී මිනිසුන් පිරි මෙවන් සමයක තමන්ගේ පුංචිම මල්ලී තම මුල් ගුරැවරයා යැයි ආඩම්බරයෙන් පවසන අයියණ්ඩියක සැමටම ආදර්ශයක් නොවේද?

නැටුමට හා බෙරවාධනයට අති දක්ෂයින් වූ අත්තනායක සොයුරෝ ඔවුනගේ පියාගේ අඩි පාරේ යමින් කැටයම්, මූර්ති හා චිත්‍ර යන සියලුම කලාවන්ගෙන්ද ඉදිරියෙන්ම සිටියහ.

අපොස සාමාන්‍ය පෙළ සමත්වී උසස් පෙළ හදාරමින් සිටින අවධියේ අත්තනායකයන්ගේ ආදරණීය පියාණන් ලෙඩ ඇඳට වැටුණු අතර එතුමාට රැකියාවෙන්ද සමු ගැනීමට සිදුවූයේ අපේ කතා නායකයන්ගේ සරසවි සිහිනය බොඳකරලමිනි.

සහෝදරයන් දෙපළගේ සහ සහෝදරියගේ අධ්‍යාපන කටයුතු සහ නිවසේ වියහියදම් වලට තම අධ්‍යාපනය අමතක කළ හෙතෙම කොළඹ ගොස් එඩ්වඩ් ලොකු ලියනගේ මහතා ළඟ පෝරැ සෑදීම හා කැටයම් කැපීම වැනි කටයුතු කරදීමට තම ශ්‍රමය කැපකළේය.

ඉන්පසුව හාපිටිගම මහා විද්‍යාලයේ ස්වේච්ඡා නැටුම් ගුරැවරයෙකු ලෙස සේවය කරමින් තමන් උගත් ශාස්ත්‍රය දරැවන්ට ලබා දීමට උත්සුක වූ අතර ඉන් ලද පුංචි වැටුප තම දෙමාපියන් හා සොයුරැ සොයුරියන් උදෙසා වැයකළේ මහා ආදර්ශයක් ලොවටම ගෙනහැර පාමිනි.

මේ අවධියේදී ජාතික තරැණ සේවා සභාවේ නැටුම් කණ්ඩායමට තේරැනු අප ලොකු අත්තනායකයෝ එහි දස්කම් පාමින් සිටින අතරතුරැම යුඳ හමුදා තූර්‍ය වාදක කණ්ඩායමට බැඳීමටද අයදුම් පතක් දමා ඇත.

ඔහුගේ සිහිනය මල්ඵල ගැන්වී 1996 දී හමුදා නැටුම් කණ්ඩායමට තෝරාගත් බැව් කියා ලියමනක් ලැබිණි. එදා ඔහුගේ අම්මා සහ තාත්තා ඇතුළු පවුලේ සැමගේම දෑස් තෙත් කළ සතුටු කඳුළු ගැන සිහි කරද්දී ඔහුගේ දෑසද තෙත්වී යනු මට පෙනිණි.

1996 ඇසළ මස 31 වෙනිදා හමුදාවට බැඳුණු අත්තනාකයන් මාණ්ඩලික සැරයන් තිලක් විජේසිංහයන්ගේ මගපෙන්වීම යටතේ පිනුම් ගැසීම හා කැරකීම වැනි ශාරීරික අභ්‍යාස මැනැවින් ප්‍රගුණ කිරීමට සමත්වූ අතර විජේසිංහයන්ව බැතිබර සිතින් සිහිපත් කරන බවද මා සමඟ පැවසීය.

යුඳ හමුදා තූර්‍ය වාදක කණ්ඩායමට බැඳීම තම දිවි ගමනේ තවත් වැදගත් හා තීරණාත්මක කඩ ඉමක්ද ජයගැනීමට ඉවහල්වනු ඇතයි අත්තනායකයනට සිතී නොතිබෙන්නට ඇත.

එනම් අද දින තම ජීවිතයේ සැබෑ සහකාරිය වන නැටුම් කණ්ඩායමේම සිටි සුරෑපී රසිකා සංජීවනී මෙනවියගේ ආදරය දිනා ගැනීමයි.

තූර්‍ය වාදක කණ්ඩායමත් සමඟ රට රටවල සංචාරයන් සඳහා අවස්ථාව උදාකරගත් අත්තනායකයෝ 2002 වසරේ තම විවාහයෙන් පසුව යුඳහමුදා සේවයෙන් සමුගෙන එංගලන්තය බලා ඒමට කටයුතු සම්පාදනය කර ගත්තේය.

ඒ වනවිටත් ලන්ඩනයට පැමිණ සිටි යුඳ හමුදා තූර්‍ය වාදක කණ්ඩායමේම තම සඟයන්ගේ මගපෙන්වීම හා උපකාර මේ සඳහා ඉවහල් වූ බව සඳහන් කළේ ඔවුන් සැවොම ස්තූතිපූර්වකව සිහිපත් කරමිනි.

ලංඩනයට පැමිණි අපේ ලොකු අත්තනායකයෝ මෙහි දිවිය අරඹන සැවොම මෙන් සීතලෙන් හා පවුලෙන් වෙන්වීමේ තනිකමින් මිරිකෙමින් සත්‍යයට මුහුණදී දිවිය ගොඩ නගා ගැනීමට වෙහෙස වී තිබිණි.

මෙහිදී ඉඳුම් හිටුම් හා කෑම බීම දී තමන්ට රැකියාවක් පවා සොයාදුන් බටහිර ලංඩනයේ හීත්‍රෝ ප්‍රජා මධ්‍යස්ථානාධිපති කැප්පැටියාගොඩ ගුණවංශ හිමියන්ව සිහිපත් කළේ ගෞරව සම්ප්‍රයුක්තව හදපිරි ස්තූතිය පුදකරමිනි.

උන්වහන්සේ තමන්ට , නැටුම් ඇඳුම් හා බෙර පවා ලංකාවෙන් ගෙන්වා දුන්බවත් මා හට පවසා සිටියේ දැන් පාවිච්චි කරන බෙරයත් උන්වහන්සේ සපයා දුන් බව මතක්කර දෙමිනි.

මේ කාලයේ පංසලේදී අරැන ශාන්ත, අරැන පෙරේරා , සසිත් ප්‍රිය ආසිරි, දිනේෂ් ප්‍රියංකර , චාමර අනුරැද්ද , චමිල් ,නුවන් ප්‍රනාන්දු , පණ්ඩුක වික්‍රමරත්න , ඇලපාත , ඉන්දික උදය කුමාර හා චතුර ප්‍රියංකර යන සොයුරන් මුණ ගැසී තිබෙන අතර ඔවුන් සමඟ එකතු වී උත්සව අවස්ථාවන් සඳහා නැටුම් හා බෙර වාදනයේ යෙදිණි.

අපේ අත්තනායකයන්ට මේ රටට පැමිණිදා සිටම ලංකාවේදීම මෙන් ගම් මඩුවක් ලංඩනයේ පැවැත්වීමට ඉතා තදබල ආශාවක් හා උවමනාවක් තිබී ඇත. මා මුලින්ම මේ සටහනේ " කැලේ මාරැ උණාට කොටියගෙ පුල්ලී මාරැ වෙන්නේ නැතැයි" සදහන් කළේ එහෙයිනි.

මේ අවස්ථාවේ මම , මා හොඳාකාරවම නොදැන සිටි නිසා 'ගම් මඩුව හා දෙවොල් මඩුව යන වචන දෙකේ තේරැම එතුමාගෙන් විමසා සිටියෙමි.

මේ දෙකම ගම්මුන්ගේ පිහිට ආරක්ෂාව සඳහා පවත්වනු ලබන යාතුකර්ම දෙකක් බව පැවසූ එතුමා එය ගමේ පවත්වන විට ගම්මඩුව ලෙසත් දේවාල භූමියක පවත්වනවිට දෙවොල්මඩුව ලෙසත් හඳුන්වන බව පැවසුවේ මගේ කුකුස දුරැ කරමිනි.

එතුමාගේ සිතේ මේ අදහස කාලයක් තිස්සේ තිබී ඇතිමුත් ලංඩනයේදී ඊට උවමනා ශිල්පීන් , ගොක් කොළ, පොල් මල් හා කැවිලි පෙවිලි ආදිය සපයා ගැනීමේ අපහසුතාවය නිසා එය දිනෙන් දිනම කල් ගතවී තිබිණි.

දිනක් මේ ගැන තම නැටුම් සගයන්ට දැන්වූ විට ඔවුන් එක පයින්ම ඊට සහය වීමට කැමැත්ත පළකොට තිබූ අතර ලංඩනයේ වෙසෙන කලාකාමී ජයරත්න බංඩාර මහතාගේ දිරිගැන්වීම හා මූලික සහය ඇතිව පසුගිය වසරේ බක් මස 27 වෙනිදා බටහිර ලංඩනයේ සෙල්කට් පුරවරයේදී එංගලන්තයේ ප්‍රථම ගම් මඩුව පැවැත්වීමට අප කතානායකයාට හැකිවුණි.

මෙය වාර්ෂිකව පවත්වමු යැයි ජයරත්න බංඩාරයෝ කළ ඉල්ලීමට හිස නැමූ අත්තනායකයන් මෙම වසරේ බක් මස 19 වෙනිදා දෙවැනි වරට ගම් මඩුවක් බොහෝ අංගවලින් සර්ව සම්පූර්ණව බටහිර ලංඩනයේ ෆෙල්තම්හී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට සමත් වුණි.

මේ සඳහා නන් අයුරින් සහයවූ ජයරත්න බංඩාර හා ටීලාරංජනී යුවළ , විජයරතන බංඩාර හා කුමාරි විජේරත්න යුවළ, දිසා සහ රම්‍යා යුවළ, ස්වර්ණා හා පුක්කුස වීරසිංහ යුවළ, අරැන පෙරේරා මහතා, ටිකිරි බංඩාර මහතා , බාළමැණිකා හා කාන්ති මහත්මිය යන පිරිස එතුමා සිහි කළේ ඉතාමත්ම සෙනෙහසිනි.

ශාලාව සොයා වෙන්කර ගැනීම, සැරසිලි , කිරිබත් හා කැවිලි සෑදීම වැනි කටයුතු ඔවුන්ගේ නොමද සහයෙන් සාර්ථක කරගන්නට හැකිවූ බව තව දුරටත් මා සමඟ පැවසීය.

ඉන්පසුව එළැඹියේ අපේ සාකච්ඡාවේ රසවත්ම සහ බොහෝ දෙනෙකු හොඳින් නොදන්නා විස්තර හෙළිදරව් වූ හෝරාවය.

මෙම ගම් මඩුව පවත්වනු ලබන්නේ පත්තිනි දෙවියන් මුල් කරගෙන වන අතර විෂ්ණු කතරගම ඇතුළු අනෙකුත් සියලුම සපිරිවාර දෙවිවරැන්ටද ඒ සමගම පුදපූජා පවත්වා දෙවියන්ගේ ආශීර්වාදය ඒ ගම්වාසීන්ට අත්පත්කරදීම මෙහි මූලික අරමුණ වේ.

මෙහි ප්‍රතිඵල හොඳින්ම ලැබීමට නම් ඒ පිළිබඳව තමන්ගේ සිතේ භක්තියක් සහ විශ්වාසයක් තිබිය යුතු බවත් බුදුන් දහම් සඟුන් යන ත්‍රිවිධ රත්නය මුල් කරගෙන මේ පුද පූජාවන් ඉෂ්ට සිද්ධ කළ විට එහි ආනිසංස වැඩි බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

මෙම ගම් මඩුවක් එහෙමත් නැතිනම් දෙවොල් මඩුවක් මුලින්ම පැවැත්වීමේ ඉතිහාසය ඉංදියාවේ විසූ සේරමාන් නම් රජ කෙනෙකුගේ කාලය දක්වා දිව යයි.

ඒ ඉතිහාස කතාව සැකෙවින් මෙසේයි. සේරමාන් රජතුමාට වැළඳුණු ඉතා දරැනු හිස රදයක් සමනය කර ගැනීම සඳහා පත්තිනි මෑණියෝ බුදුදහම පවතින රටකට ගොස් දේව පූජාවක් පැවැත්විය යුතුයැයි වදාරා ලංකාදීපයට ගොඩබැස අනුරාධපුරයේ රැවන්වැලි මහා චෛත්‍ය රාජයා අසබඩ දෙවොල් මඩුවක් පැවැත්වූ බවත් එහි ආනිසංසයෙන් රජුගේ හිසරදය සමනය වූ බවත් ඉතිහාසයේ කියැවේ.

එතැන් පටන් ලංකාවේ මෙම දෙවොල් මඩු ප්‍රචලිත වී තිබෙන අතර ගුරැ කුල හා පළාත් අනුව මේවා පවත්වන අන්දමේ සුළු සුළු වෙනස්කම් සිදුවූවත් මූලික කරැනු පොදුවේ පවතී.

ගම්මඩු බිමේ සැරසිලි මින් ප්‍රධානතම අංගයයි. පත්තිනි දෙවියන්ගේ ආභරණ තබන තොරණ, ඒ දෙපසින් තැනෙන විෂ්ණු හා කතරගම දෙවිවරැන්ගේ මල් පැල දෙක , ඉදිරියෙන් දෙවොල් දෙවියන්ගේ තොරණ සහ සූනියම්, දැඩිමුණ්ඩ ආදී සපිරිවාර දෙවිවරැන් උදෙසා තැනෙන මල් යහන් දෙකකින් ( කොටස් තුන බැගින් කොටස් හයකට බෙදූ) ගම්මඩු භූමියේ සැරසිලි සමන්විත වේ.

වැඩම කොට වදාළ සංග්‍යා වහන්සේ විසින් පිරිස පංච ශීලයේ පිහිටවීමෙන් ගම් මඩුවේ පූජාවන් අරඹනු ලබයි.

ඉන්පසු කපු මහතාට සහ අනෙකුත් බෙර වාදකයන් ඇතුළු නැටුම් ශිල්පීන්ට බුලත් දී පූජාව ඉතා හොඳින්ම කරගෙන යනලෙස ආරාධනා කරනු ලබයි.

වියන් යටින් පත්තිනි දෙවියන්ගේ ආභරණ තොරණට වඩම්මා මුරැතැන් බත්, කැවිලි හා පලතුරැ වට්ටි දෙවිවරැන්ගේ යහන්වලට ඉතාමත්ම භක්තියෙන් යුක්තව පූජාකෙරෙන්නේ ඉන් පසුවය.

මීළඟට පටන් ගනු ලබන්නේ බෙර වාද්‍ය ශිල්පීන්ගේ දස්කම් පෙන්වීමයි.

මඟුල් බෙර වාදනයෙන් ඇරඹෙන මෙම පෙළහර දෙදෙනා බැගින් එකකුට පසුව අනෙකා තරගයට බෙර වැයෙන අත්‍යාබෙර වාදනයෙන් ඉතා තියුණු හා උත්කර්ෂවත් අයුරින් නරඹන ගම්මුන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ නිමවේ.

සාමාන්‍යයෙන් ගම් මඩුවක පහත රට නැටුම් පමණක් යොදා ගත්තද එංගලන්තයේ ඉපිද එහිම වාසය කරන ශ්‍රී ලාංකික දරැවන්ට බලා ගැනීම සඳහා උඩරට නැටුම් සම්ප්‍රදායේ එන ' කොතල පදය' හා 'බුලත් පදය ' වැනි දෙවියන් උදෙසා කරන නැටුම් යොදා ගත් බව පැවසීය.

බෙර වාදනයෙන් පසු කපු මහතා එසේත් නැතිනම් ගුරැන්නාන්සේ මල් යහන් කවි කියා දෙවියන්ට ආරාධනා කරනු ලැබේ.

ඉන්පසු පහත රට යහන් දැක්ම පවත්වනු ලබන අතර මල් යහන් වලට වැඩි දෙවිවරැ සඳහා ' කහදිය කොතලෙ' සහ 'දුම්මල පදය' නටනු ලබයි. දෙදෙනකු විසින් මෙය නටනු ලබන අතර එක් එක් යහන් ළඟට ගොස් දෙවියන්ට ආවඩනු ලැබේ.

' බිසෝ කප ' නටන්නට පටන් ගන්නේ ඉන් පසුවයි. මෙම නැටුමේ ඉතිහාසයද සේරමාන් රජුගේ හිසරදය පැවති කාලය දක්වා දිව යයි. එය සැකෙවින් මෙසේය.

රජුගේ හිස රදය සුවකර දෙන්නැයි කියා රජ බිසව අඟනා ලීයක කැටයම් කප්පවා ඊට මුතු මැණික් ඔබ්බවා බිසෝ කපක් සාදා පූජාකිරීමට භාරයක් වී තිබේ. එය ඔප්පු කිරීම සංකේතවත් කිරීමට කෙසෙල් කඳකට ගොක් කොළ සැරසිලි දමා කපක් සාදා එය රජතුමාගේ හිසරදය සුවකළ ආනුභාවයෙන් ගම් මඩුවට සහභාගීවූ සියලුම දෙනාගේ දෝෂ දුරැවෙන්නට කියා ආවැඩීම සිදු කෙරේ.

එතැනින් පසු ඉදිරිපත් කරන්නේ 'තෙල්මේ' නර්තනයයි. මෙය තෙල්මේ, සාතා , සොලසා, යුවරජ යනාදී දොළහ දෙවියන් සඳහා කරනු ලබන පූජාවයි.

ගම්මඩුවේ ප්‍රධානතම අංගයක් වන පත්තිනි දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිදුකරනු ලබන්නේ මින් පසුවයි.

පත්තිනි දෙවියන්ගේ රෑප ඡායාවක් ගෙනහැර දක්වමින් පූජාව පවත්වා ගම්වාසී සියලුම දෙනාට පත්තිනි දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව පතනු ලබයි. මෙහිදී අපේ අත්තනායකයන් කාන්තාවක් විලසට
සාරියකින් සැරසී කළ රංගනය ඔහුගේ දක්ෂතාවය සහ භක්තිය මොනවට ප්‍රදර්ශනය කරනු ලැබුණි.

එතැනින් පසු දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආකර්ෂණයෙන් ' වාහල' නැමැති නර්තනය අත්තනායකයන් විසින්ම ඉදිරිපත් කළ අතර එය බලා සිටන්නන් ත්‍රාසයට හා විමතියට පත්කරනු ලැබිණි. මෙහිදී ආරෑඩ වී පොල් මල් වලින් තමන්ගේ මුහුණට ගසා ගනිමින්කළ රංගනය පියවි සිහියෙන් නම් කෙසේවත් කළ නොහැකි අතර මා ඒ පිළිබඳව අත්තනායකයන්ගෙන් විමසූ විට ඔහු පැවසුවේ දැඩිමුණ්ඩ දෙවියන් ඉදිරියේ සිත එකඟ කොට එකතැනකට ගත්විට තමා අඩ නින්දකට යන බවත් බෙර හඬ ඇසෙන්න ඇසෙන්න තමන්ට තව තව වේගයෙන් නැටිය හැකි බවත් පැවසුවේ මගේ සිතේ පැවති කුතුහලය නිම කරමින්.

අවසාන රංගනය ලෙස ' කීල ගරා' දේවතාවුන්ගේ රෑප ඡායාවක් ගෙනහැර දක්වමින් නර්තනයක් ඉදිරිපත් කරනු ලැබිණි.

බෙරවාදකයන් සමගින් විහිළු කතා ( යක්කම්) කියමින් සියලුම දෙනාගේ ඇස්වහ කටවහ සහ දෝෂ යකුන් හා යක්ෂණියන්ගේ නරක බලපෑම් ඇත්නම් ඒවා දූරිංභූත වෙන්න යැයි කියා ගරා යකා නැටීම කරනු ලැබිණි.

ගරා යකා සඳහා සාදනු ලබන කුරාලය හෝ අයිල සාමාන්‍යයෙන් ගොරක ගස් දෙකක් බැඳ සෑදුවත් ලංඩනයේදී මල් ගස් දෙකක් යොදාගෙන එම කාරිය කරගත් බව පැවසීය.

අවසානයේ කිරි උතුරවා පැමිණ සිටි සැමටම කපු මහතා විසින් දේව ආශීර්වාද ලබාදීමෙන් ගම් මඩුවේ වැඩ නිමකරනු ලැබිණි.

මෙවැනි රටක වෙලාව මදකම නිසා සමහර අංග කපාහැරිය බව මා සමඟ පැවසූ අත්තනායක නම් මේ නිහතමානී කලාකරැවා නන් අයුරින් සහයවූ සැමටම සහ සහභාගීවූ සැමටම තම ස්තූතිය පුදකළ අතර වැඩම කළ මහා සංඝරත්නයවූ ලංඩන් බෞද්ධ විහාර වාසී කෝන්වැවේ අරියරතන හිමි සහ ලංඩනයේ ප්‍රධන සංඝ නායක බොගොඩ සීලවිමල හිමියන්ට තම ගෞරවසම්ප්‍රයුක්ත ස්තූතිය පුද කළේය.

තමන්ගේ යම් අඩුපාඩු ඇත්නම් ඉතා ආදරයෙන් ඒවා පෙන්වා දෙමින් , නිරතුරැවම දහිරියක් වෙමින් සහ කරන කියන සෑම සියලු කටයුක්තකදීම තමන්ගේ සහයට සිටින එක මව් කුස උපන් සොයුරන් වන් තම නැටුම් සගයන් වූ අරැණ ශාන්ත , අරැණ පෙරේරා, ශශිත් ප්‍රිය ආසිරි , දිනේෂ් ප්‍රියංකර, චාමර අනුරැද්ධ , චමිල්, නුවන් ප්‍රනාන්දු හා පණ්ඩුක වික්‍රමරත්න යන සියලුම දෙනාම ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් සිහිපත් කළේය.

එමෙන්ම කථනයෙන් සහයවූ ආසිරි බංඩාර සොයුරාට සහ වීඩියෝ සහ නිශ්චල චායාරෑපකරනයෙන් ගම්මඩුව තමන්ගේ කැමරාවට හසුකර ගනිමින් අමිල සේවමක් කළ රේණුකා විමලරත්න යුවලටත් අත්තනායකයෝ තමන්ගේ හද පිරි ස්තූතිය පුද කරන බව මා සමග පැවසීය. එමෙන්ම උදව් උපකාර කළ කවුරැන් හෝ සදහන් කරන්නට නොහකිවුවානම් සහ තමන්ගෙන් එදින යම් අඩුපාඩුවක් සිද්ධ වූවානම් එතුමා ඉතාමත්ම නිහතමානීව සමාව ඉල්ලා සිටින බවද අවසානයේ පැවසීය.

ඉතාමත්ම වටිනා සහ ඵලදායී හෝරා කීපයක් ඔවුන් සමග ගෙවූ මා ආපසු එන්නට හැරෙනවිට රාත්‍රී දහයත් පසුවී තිබිණි.

මම මෙසේ කියමින් මේ දීර්ඝ සටහන අවසන් කරමි.

ආදරණීය අත්තනායක කලාකරැවාණෙනි , ඔබ ජාතියේ සම්පතකි. කිසිදු බාධකයින් නොසැලී ඉදිරියටම ඔබේ ගමන යන්නට අවශ්‍ය ශක්තිය හා දහිරිය නිරතුරැවම ලැබේවා ! ඔබට ජය ශ්‍රී!

එමෙන්ම ඔබ දෙපළ කිසිදූ ගුරැමුෂ්ඨියකින් තොරව එංගලන්තයේ වෙසෙන අපේ දුවා දරැවන්ට අපගේ හෙල කලා සම්පත් උගන්වමින් අනාගත පරපුරද ඒ කලා ශිල්පයන්ගෙන් පෝෂණය කිරීමට ගන්නා වෙහෙස හා කැපවීමද මේ අවස්ථාවේ ඉතා ඉහලින්ම අගය කරමි.

සටහන - චන්දන ගුණසේකර