LIVING WELL TOGETHER- Interfaith Reflections 2015 at London Buddhist Vihara

tmadawela | 17 Nov, 2015 02:11PM | Leave a comment
Photographs by Tissa Madawela
ලන්ඩන් බෞද්ධ විහාරයේ ආගමික සහජීවන එකමුතුවක්

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන සර්ව ආගමික සහජීවන සතියට සමගාමිව ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී ආගමික සහජීවන එකමුතුවක් සංවිධානය කර තිබුණි. විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ඇරයුමෙන් මහාබ්‍රිතාන්‍යයේ අන්තර් ආගමික සමඟි ජාලයේ ආචාර්ය හැරියට් ක්රබ්ට්‍රී ඇතුළු සියලුම ප්‍රධාන ආගම් නියෝජනය කරමින් ශාන්ත මයිකල් සහ සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේ ෆැබ්රිසියෝ පියතුමා, ලන්ඩනයේ ශිවාස්ත්‍රම් සභාවේ ස්වාමි නිර්ලිප්තානන්ද, හවුන්ස්ලෝ සීක් පුජ්‍යස්ථානයේ චරාන්ජිත් අජිත් සින්, කොන්සර්වේටිව් ඉස්ලාම් හවුලේ ෆාරුක් මියා, බ්රෙන්ෆර්ඩ් ක්වේකර් සංවිධානයේ බේසි වයිට්, බ්‍රිතාන්‍ය බෞද්ධ සංගමයේ සභාපති අආචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ් සහ බැටර්සි සාම විහාරයේ පුජ්‍ය ගයෝරෝ නගාසේ හිමි සමඟ විශාල පිරිසක් සහභාගී වුහ.

උත්සවයට වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීස්වර ගුණරත්න මහතාද විශේෂ අමුත්තෙක් වශයෙන් සහභාගිවිය. උත්සවය ආරම්භ කිරීමට පෙරාතුව පැරිස් නුවර සිදුවූ ඛේදවාචකයෙන් විපතට පත් සියලුම දෙනා සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්ධ තාවයක් පැවැත්විණි.

පැමිණ සිටි බෞද්ධ සදහවත්ගුන් සීලවිමල නාහිමියන් විසින් පංච ශිලයෙහි පිහිටවනු ලැබිය. චාරිත්‍රානුකුලව ප්‍රධාන ආරාධිතයින් පහන් දැල්වුහ. ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම්පාසලේ සිසුවියන් විසින් සාමය සහ සහජීවනය නිරුපනය කෙරුන නර්තන අංගයක් ඉදිරිපත් කළහ. මහාසංඝ රත්නය විසින් පිරිත් දේශනාවක් පවත්වා සියල්ලටම ආශිර්වාද කරන ලද්දේ ඉන් අනතුරුවය.

සියලුම ආරාධිතයින් කෙටි දේශනා පවත්වා වත්මන් සමාජයට ඔවුනගේ ආගමික දර්ශනයන්ගෙන් ලබාගතහැකි උපකාර පෙන්වාදුනි. බුදුදහම පිලිබඳ දේශනය පවත්වන ලද්දේ පුජ්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමියන් විසිනි.

දහම් පාසලේ දරු දැරියන් විසින් නරසිහ ගාථා ගායනා කරමින් ඒවායේ අරුත ඉංග්‍රීසි බසින් විස්තර කර දුනි. කරණිය මෙත්ත සුත්‍රයේ ඇති අගය සහ එමඟින් වත්මන් සමාජයට ලබාගත හැකි උපදෙස් පෙන්වා දුන්නේ ලන්ඩන් බෞද්ධ විහාරයේ රිචඩ් ජෝන්ස් විසිනි. පුජ්‍ය කොන්වැවේ අරියරතන හිමියන් ස්තුති කතාව කළේය.