The Legacy Of A Great Visionary- London Buddhist Vihara [Video]

tmadawela | 03 Sep, 2014 11:50PM | Leave a comment
https://www.youtube.com/watch?v=inHj6f3wgPc

ලන්ඩන් බෞද්ධ විහාරය ගැන චිත්‍රපටයක්.


 


ථෙරවාද බුදුදහම යුරෝපයේ ප්‍රචලිත කිරීමේ වැදගත්කම පිළිබඳව දුරදක්නා නුවනින් යුතුව සිතාබලා 1926 දී අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භකළ ලන්ඩන් බෞද්ධ විහාරයේ වසර 88 ක දීර්ඝ ඉතිහාසය සහ අද වනවිට ධර්මපාල තුමාගේ ඒ මහාත්ම අභිප්‍රාය මල්පල ගන්වමින් යුරෝපයේ ප්‍රමුඛතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වී ඇති මෙම උත්තම සිද්ධස්ථානය මඟින් නිර්මල බුදුදහම ප්‍රචලිත කිරීම උදෙසා සිදු කෙරෙනා අනුපමේය සේවය විදහා දැක්වෙන  වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇත.


ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසනාවෙන් මෙම චිත්‍රපටය නිපදවා ඇත්තේ ධර්මපාල තුමන්ගේ 150 වෙනි ජන්මදිනය වෙනුවෙන් සතියක්පුරා ලන්ඩන් බෞද්ධ විහාරය මඟින් පවත්වන ප්‍රදර්ශනයට සහ සමරු උත්සවයට සමගාමිවය.  


ධර්මපාල තුමන් අතින් බුදුසමයේ උන්නතිය උදෙසා සිදුවූ සේවාව සහ ලන්ඩන් බෞද්ධ විහාරයෙන් ඉටුවන සේවය පිළිබඳව එම චිත්‍ර පටයේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය අග්ග මහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්කිත මහනා හිමියන්, අනගාරික ධර්මපාල පදනමේ සභාපති නොඑල් විජේනායක, බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සභාපති අචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ් සමඟ පසුගියදා අභාවප්‍රප්තවූ ආචාර්ය ආනන්ද ගුරුගේ විද්වතානන්ද අදහස් දක්වා ඇත.


ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් සංවිධානය කර මෙම මස 13 වන සෙනසුරාදා සිට 21 වන ඉරිදා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙන "අනගාරික ධර්මපාල 150 වෙනි ජන්මදින සමරු වැඩසටහන"  ධර්මපාලතුමන් සිහිපත් කර සර්වරාත්‍රි පිරිත් දේශනයක්, චායාරුප ප්‍රදර්ශනයක්, දහම් පාසල් දරුදැරියන් අතර රචනා තරඟයක්, ප්‍රසිද්ධ දේශනා සහ චිත්‍රපට ප්‍රදර්ශන වාරයක් සහ සමරු උත්සවයක් ඇතුළත්වෙයි.


මෙම මස 13 වන සෙනසුරාදා ලන්ඩන් බෞද්ධ විහාරයේදී සර්වරාත්‍රි පිරිත් දේශනයක් පැවැත්වෙන අතර පසුදින මහා සංඝයාවහන්සේ උදෙසා දානමය පින්කමක් පැවැත්වෙයි. 


14 වන ඉරිදා සිට 20 වන සෙනසුරාදා දක්වා සෑම දිනයකම  සවස 6 සිට රාත්‍රී 9 දක්වා ධර්මපාල තුමන්ගේජිවිත තොරතුරු ඇතුලත් දුර්ලභ ගනයේ චායරුප ඇතුලත් ප්‍රදර්ශනයක් ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මපාල ශාලාවේදී පැවැත්වෙනු ඇත.


මෙම ප්‍රදර්ශනයේ පුර්ණ අනුග්‍රාහකත්වය ලබාදී ඇත්තේ ධර්මපාල තුමන්ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරුන ආනන්ද, නාලන්ද, විශාකා, දෙවි බාලිකා, ධර්මරාජ, මහින්ද,සහ මියුසියස් යන ප්‍රධානපෙලේ බෞද්ධ පාසල්වල ලන්ඩන් ආදී ශිෂ්‍ය සංගම්ශාඛා, ලන්ඩනයේ ශ්‍රී ලාංකික නීතිඥ සංගමය  සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ ගුරුමණ්ඩලය සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් විසිනි.


ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම ධර්මපාල තුමන් පිළිබඳව නිෂ්පාදනය කෙරුණු වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමටත් එතුමන් පිලිබඳ විශේෂ දේශනා පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.


විශේෂ දේශනා පවත්වන ආරාධිත අමුත්තන් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස්, බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය ඩෙස්මන් බිඩල්ෆ් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ මහාචාර්ය අසංග තිලකරත්න වෙති.


ලන්ඩන් බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ දරුදැරියන් සහභාගිවන ධර්මපාල තුමන් පිලිබඳ රචනා සහ මාධ්‍ය සන්නිවේදන ඉදිරිපත් කිරීම් වැඩසටහනක්ද පැවැත්වෙයි.


ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්, විහාරවාසී මහා සංඝරත්නය, විහාර පාලන කමිටුව සහ ධර්මපාල සමරු උත්සව සංවිධායක කමිටුව දිගුකාලයක් තිස්සේ ඉමහත් වෙහෙසක් දරා සංවිධානය කෙරුණු මෙම උතුම් සමරු උළෙලේ පරිසමාප්තිය වන්නේ මෙම මස 21 වන ඉරිදා දහවල 2 සිට ලන්ඩන් නුවර හැමර්ස්මිත් නගර සභා ශාලාවේදී පැවැත්වෙන අනගාරික ධර්මපාල සමරු උළෙලයි.


 


මෙම වැඩසටහන සම්බන්ධ සියලුම තොරතුරු මෙම වෙබ් පිටුවෙන් ලබාගත හැක. http://londonbuddhistvihara.org/ADC.htm.


 

Related article -
www.apisrilankan.com/news/united-kingdom/london/week-long-celebrations-150th-birth-anniversary-anagarika-dharmapala