ජිනීවා වෙසක් පොසොන් මහ ඉහළින්

tmadawela | 17 Jun, 2015 08:05AM | Leave a comment
ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයීය වෙසක් සහ පොසෝන් උත්සව මෙවරද මහා ඉහලින් සැමරු බව විහාරාධිපති පුජ්‍ය ආචාර්ය තවලම ධම්මික හිමියන් පැවසිය.
මෙම පින්කම් පැවැත්වුයේ විහාරස්ථානය සඳහා අලුතෙන් මිලදීගත් නව විහාරපරිශ්‍රයේදීය.
දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පුජ්‍ය හබරකඩ ඉන්දරතන නාහිමියන් ප්‍රධානතත්වයෙන් පැවති මෙම උත්සව සඳහා විවිධ ජාතික බෞද්ධ මෙන්ම අන්‍ය ආගමිකයින් 400 ක් පමණ සහභාගිවී ඇත.
මෙම අවස්ථාවට ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ සමඟ එම කාර්යාලයේ ලෙස්ලි දේවේන්ද්‍ර ඇතුලු ශ්‍රී ලාංකික සැදැහැවතුන්ද විශාල පිරිසක් එක්ව සිටියහ.
පුජ්‍ය හබරකඩ ඉන්ද්‍රරතන නාහිමි, ප්‍රංශයේ තුර්නොන් බෝධිඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඥානධරෝ හිමි, බෝදාගම චන්දිම හිමි, හෝමාගම කොන්ඩඤ්ඤ හිමි, මුගුනුවල අනුරුද්ධ හිමි, ලේනව මංගල හිමි, ජර්මන් ජාතික හෙල්මුට් හිමි, ප්‍රංශ ජාතික ෆ්‍රෙඩ් හිමි, කරුවලගස් වැව අනුරුද්ධ හිමි, බඹරකොටුවේ මංගල හිමි, හේනේගම ධම්මාලෝක හිමි, සෝභිත හිමි, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික හිමි, හල්විටිගල සුජාත හිමි, සහ ස්විස් ජාතික ලක්ඛනෝ හිමි ඇතුළු ථෙරවාද, මහායාන සහ ටිබට් ජාතික හිමිවරුන් 20 නමක් පමණ මෙම උත්සව සඳහා සහභාගී වුහ.
ඒ ඒ සම්ප්‍රදායන්ට අනුකුලව ඒ ඒ භාෂාවන්ගෙන් සෙත් පිරිත් සජ්ජායනා කිරීමද සිදුකෙරුණි.
ජිනීවා විහාරස්ථානය ආරම්භ කල දවසේ සිට විවිධ අයුරින් උදව් උපකාර කරමින් සහාය දුන් සියලු දෙනාටත්, විශේෂයෙන් පන්සල සඳහා නව ගොඩනැඟිල්ලක් මිලදී ගැනීම සඳහා ඉමහත් උනන්දුවෙන් පරිත්‍යාගශිලිව ක්‍රියාකළ ජිනීවා නුවර සියලු ශ්‍රී ලාංකික, ආසියානු, ස්විස් ජාතික සහ යුරෝපිය ජාතික සැම දෙනාටත්, විහාරස්ථානයේ වැඩ කටයුතු සඳහා සහභාගිවන බෞද්ධ මෙන්ම අන් ආගමික සියලුම දෙනාටත්, ලුසාන්, බර්න්, බියෙල්, සුරිච්, ඉවෙර්දොන්, නිව්ෂතෙල් සහ ෆ්රීබෝර්ග් නගරයන්හි සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවටත් කෘතවේදීව පින් අනුමෝදන් කිරීම මෙම පින්කමෙහි ප්‍රධාන පරමාර්ථයක් වූ බව ධම්මික හිමියෝ පැවසුහ.
ජිනීවා බෞද්ධ විහාරාධිකාරී හල්විටිගල සුජාත හිමියන් සහ විවිධ ජාතික දායක දායිකාවන් උත්සවයේ වැඩකටයුතු සංවිධානය කරනු ලැබිය.
මීට සමගාමිව යුරෝපා බෞද්ධ විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ඩොමිනික් තොර්ටිනොන් විසින් පවත්වන ලද " කර්මය සහ එය ජිවිතයට කරන බලපෑම" නමින් විශේෂ දේශනයක්ද, ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයන්හි බෞද්ධ සම්මන්ත්‍රණ උපදේශිකා ආචාර්ය වෙරෝනික් විදස්සනා ක්රොම්බිගේ "ලොව ප්‍රකට බෞද්ධ රටවල නටබුන් සහ ප්‍රතිමා කලාවන්" පිලිබඳ චායරුප යොදා ගනිමින් ඉදිරිපත් කෙරුන විශේෂ දේශනයක්ද පැවැත්වුනි.