DUBAI WESAK PINKAMA
Photographs from Dubai Daham Pasala
සටහන ඩුබායි හි තිලක් දිසානායක
චායාරුප ඩුබායි දහම් පාසල
වැලිකතරට දම් සිසිලස ගෙනා ඩුබායි වෙසක් පිංකම
බක්මහ අසිරිය සිත් සතන් තුලින් බැහැර වෙන කාලයත් සමගම තිලෝගුරු ගෞතම බුදුරදුන් වහන්සේගේ ශ්‍රී මහා තුන් මංගල්ය සැමරීමේ උතුම් වූ වෙසක් දිනය මව්බිමෙන් බැහැර ඩුබායි හි වෙසෙන සියලුම දේශ හිතකාමී සිංහල බෞද්ධයන්ගේ විශේෂිත දිනයක් වුවේය. එය සක්සුදක්සේ පැහැදිලි වුයේ මෙම මැයි මස නව වෙනි සිකුරාදා දිනයේදී, වෙසක් උත්සවය සැමරූ, සේකා ලතිෆා ක්රීඩාන්ගනයට එක් රැස් වූ මහා ජන ගංගාව දෙස බලන විටයි. මෙය මෙතක් දුර එක්සත් අරාබි එමිරේට් හි එක් රැස් වූ විශාලතම ලාංකීය ජන සමුහය ලෙස හුවා දැක්වුහොත් එය ඉතාමත් නිවැරදිය. හය දාහකට වඩා අපේම මිනිසුන් එක් රැස්වීම සහ තුන්දාහකට එහා මෝටර්රථ වාහන පෙළ ගැස්වී තිබීම ලංකා මෑණියන්ගේ මහා වූ වාසනාවක්ම යැයි කොයි කාටත් හැඟුනේය.
සොබාදහමෙන් ලැබුන සහයෝගය පවා ඉතාමත් විශේෂිත විය. මෙම වකවානුව සමග මව්බිමේ දේශගුණික පරස් පරය ගැන සැලකුවහොත් අතීතය එතරම් යහපත් වුයේ නැත. අධික උෂ්ණත්වය ( සෙ.අ. 40 ට වඩා ) ඉතාමත් පීඩාකාරී වුවත් එය බුද්ධාලම්බන ප්‍රීතියට හුදෙක් ම පරාජය විය. එහෙත් මෙම මැයි මාසයේ උෂ්ණත්වය ඉතාමත් යහපත් වුයේ එය සෙ.අ. 33 ට වඩා ඉහල ගොස් නොතිබීම නිසාය. එනිසා වාලුකා කාන්තාරය යනූවෙන් හුවා දැක්විම සොබාදහමට එකඟ ද යන්න යලි සිතා බැලිය යුතුය.
ප්‍රධාන අමුත්තන් පැමිණීම සහ උත්සවය අරම්භවීම සවස 4.30 ට යොදා තිබිණ. එක්සත් අරාබි එමිරේට් හි ගරු තානාතිපති, ආචාර්ය මහින්ද බාලසුරිය මැතිතුමාත් සහභාගී වීමට ආරාධනා ලැබී තිබුනත්, එතුමාට යෙදි තිබුන වෙනත් රාජකාරි කටුත්තක් නිසා, එම අඩුපාඩුව ඩුබාහි සහ උතුරු එමිරටෙස් හි කොන්සල් ජනරාල් තුමා වන අබ්දුල් රහීම් මහතා නොඅඩුව පිරවිය. ඉතාමත් හුරුබුහුටි දරුවන් දෙදෙනෙකු විසින් බුලත් අතක් දී ප්‍රධාන අමුත්තා වේදිකාව අසල ආසනයට කැඳවාගෙන යනු ලැබුවේ දහම්පාසලේ දුදරුවන් ගෙන් සැදුම්ලත් ඉතාමත් අලංකාර අපේම ලාංකීය සම්ප්‍රදාය වූ උඩරට රැඟුමත් ගුවනේ රැව් දුන් උඩරට බෙර වාදනයත් සමඟය.
කසකාරයන් පෙරමග අරක්ගෙන, මහා වූ පෙරනිමිත්තක් රැගෙන යන්නේය. නොයෙක් වර්ණ යෙදු අලංකාර මල් පෙරහැර මෙම උත්සව සංවිධායකයන්ගේ මනසෙහි තිබුන මල්පල ගැන්වීමක් බඳුය. එය එතරම්ම අලංකාර විය. පෙරහැරේ යන පුංච් දරු පැටවුන්ගේ නිමක් නොමැති ඉපිලීගිය සිනහවනැගුනේ සිත්තුල පිරීගොස් තිබු බුද්ධාලම්බන ප්‍රීතිය නිසාදෝ යැයි කෙනෙකුට හැඟීමක් ඇතිවීම නොඅනුමානය. සැරසි සිටි ඇඳුම් ආභරණ රජ පෙරහැරක සිරි මොනවට විදහා පෑවේය. නැට්ටුවන් විවිධාකාර රංගන ඉදිරිපත් කළේය. බෙර කරුවන්ගේ පදයට ඔවුන් කදිමට නැටුවේය.
පෙරමුණ රාළ පිටුපසින් ආ නිලමේවරුන් ඔවුන් ගේ ඇඳුමෙන් මෙන්ම සුදු පැහැ වූ දිග රැවුලත් හැඩිදැඩි සිරුරත් රාජධානියක පෞරශ්ත්වය මනාවට ඔප්ගැන්වුයේ ගාම්බිර පා ගමනත් සමගය. එයට දෙවෙනි නොවුයේ පෙරහැරේ ගමන් කල ඇත් රාජයාය.
අලංකාර සළුවෙන් සැරසී සිටි ඇත්රජුන් පෙරහැරේ ගමන් ගත්තේ ලාලිත ඇත් ගමන පසෙක තබාය. එයත් සමග එකම අඩුපාඩුව වුයේ කොප්පරා ගිනි එළි කරුවන් යොදා ගැන්මට අවසර නොලැබීමය. එසේ වූවානම් එය දුටු බොහෝ දෙනාට සෙංකඩගල නුවර මහා රන්දෝලි පෙරහර හිහි ගන්වන්නට සමත් වන්නටද ඉඩ තිබුණි. මෙය දහම් පාසලේ මෙන් ම අනෙකුත් ශ්‍රී ලාංකීය රංගන ආයතන විසින් අපේම දුදරුවන් යොදා සංවිධානය කර තිබීම ඉතාමත් අගය කලයුතු දෙයක් ම විය යුතුය.
පෙරහැර අවසන් වුයේ වේදිකාව මතින් ගොස් ප්‍රධාන අමුත්තන්හට ආචාර කරීමෙන් පසුවය. ඇත් රජුන් පන්සල කෙලවරේ ගාල් කර අලංකාර පහන් බුබුළු වැලක් අන්දවා සත්කාරයක් කර තිබුණි.
හරිත වර්ණ යායක් ම වූ ක්‍රීඩාංගනය ගස් කොල වලින් පිරි තිබුනත්, අපේම පරිසරයක් මවා දීමට සංවිධානකයන් මහත් උත්සාහයක් ගෙන තිබුනේ වෙසක් කොඩිවැල්, බෞද්ධ කොඩි සහ සිංහ කොඩි හැම තැනකම ලෙළ දීමට සැලසිමෙන්ය. එයත් සමගම අඳුර තුලින් එලි වූ, වෙසක් පහන් කුඩු සමුහය, දුදරුවන්ගේ හෝ දෙමාපියන්ගේ උත්සාහය එහි සිටි සියලු දෙනාගේම සිත් සතන් වෙසක් සිරියෙන් පහන් කල අමා සිසිලක් බඳුවිය. මෙයට තොරණ කිහිපයක් ම හවුල් විය.
සිංහලයන්ගේ විශේෂිත, අපිටම ආවේණික හුරුවක් එහි පිළිඹිඹු වුයේ දන්සල් තිස් දෙකක් පෙළ ගැසී නොයෙකුත් ආහාර පාන වර්ග බෙදා දී මෙන්ය. එහි එක් විශේෂිත දානයක් වුයේ, කොයි කාටත් බෙදා දුන් ඕල්කට් පැරැණි පාසල් සංවිධානය, සන්විධාන කර තිබු දහම් පොත් දන්සලය. නොයෙකුත් කෑම වර්ග බොහෝ ගණනක් තිබුනත් ලොකුම අඩු පාඩුව වුයේ මෙම ක්‍රීඩාංගනය ලබා දුන් ඉඩ ප්‍රමාණය මෙවන් සුවුසේශී වූ උත්සවයකට ප්‍රමාණවත් නොවීමය.
ඉන්පසු, වේදිකාවේ වැඩ කටයුතු ආරම්භවිය. දෙමාපියන් කණ්ඩායම් සහ වෙනත් ලාංකීය සංගීත ආයතන විසින් ඉදිරිපත්කල භක්ති ගී කොයි කාගේත් මන බැඳ ගත්තේ එය අපේම මව්බිමෙන් එහා සිටින බව නොහැඟවෙන අන්දමටය. තවත් විශේෂිත දෙයක් වුයේ වේදිකාව සරසා තිබු අපේම අයගේ ප්‍රතිභා පුඋර්ණ හැකියාව කොහේ සිටියත් නොමැරෙන බවය. වේදිකාව අපේ දුදරුවන්ට රංගන භූමියක් කර තිබුණි. නොයෙකුත් ජාතක කථා රැඟුම්, භක්ති ගී සහ වරින් වර ඉදිරිපත් කෙරු ධම්ම පද ප්‍රකාශ දහම් පාසලේ දුදරුවන්ගේ හැකියාව මොනවට විදහා පෑවේය. මෙය පැය තුනකට වඩා දික් වූ ප්‍රසංගයක් විය. එහිදී දහම්පාසලේ දුදරුවන් මෙන් ම වෙනත් ශ්‍රී ලාංකික රංගන ආයතනද තම දක්ෂතා එහි එළිදැක්වූයේය.
රාත්‍රී 9.30 ට පමණ සියළු වැඩ කටයුතු අවසන් වුයේ ජාතික ගීය ගායනයෙන් පසුවය. අවසානයේ දී මව්බිමේ සිටියත් කවදාවත් නොලැබුණ හැඟුමක් සිත්හි දරාගෙන, මෙය සංවිධනය කල හා හවුල් වූ කොයි කාටත් සිතින් පින් දී සියලු දෙන විසිර ගියහ.
මෙය ඩුබායි දහම් පාසැල සහ සංස්කෘතික කේන්ද්රය ඒකාබද්දව සංවිධානය කෙරු තවත් එක් විශිෂ්ට වූ, දහම් පාසලේ අපේම දරුවන් හාරසියයක් වෙනුවෙන් කල සදහම් පරිත්‍යාගයක් විය.
This album is hosted on Facebook. Click below to view all photos in the album.
View Album on Facebook