APISRILANKAN
APISRILANKAN Open in app for the best experience
FREE on the App Store
APISRILANKAN
APISRILANKAN Open in app for the best experience
FREE on Google Play
APISRILANKAN Sri Lankan Community UK

📱 Scan to open this page in the app

Download on the
App Store
Get it on
Google Play

Homepage
  • Home
  • News
    Latest News
    Community News (UK) Sri Lanka News
  • Events
    Upcoming Events Our Media Coverages
    Past Events (Archives)
  • Our Community
    Community Home
    Business Directory Marketplace Sri Lankans in UK - Forum
  • Get in Touch
    Get the App
    Contact Us
    About Us Our Services Advertising FAQ
Back to Gallery
GEE AMAA 2017 - Victor Rathnayake & Kasun Kalhara UK Tour
Facebook Album

GEE AMAA 2017 - Victor Rathnayake & Kasun Kalhara UK Tour

23 Jun 2017 267 photos

‘ගී අමා’ / GEE AMAA 2017 - Victor Rathnayake & Kasun Kalhara UK Tour.

Like our page & Feel free to share, tag yourself and your friends. ( Due to FB requirements, you need to like the page, in order to enable tagging feature in page photos )

Photographs by Praneeth Hettiarachchi

යුග දෙකක් එකම වේදිකාවක මුහුවූ ලංඩනයේ සුන්දර ඉරිඳා හැන්ඳෑව.......

හෝරාවක පමණ ප්‍රමාදයකින් අනතුරුව ශාලාව අඩ අඳුරේ ගිලිණි. වේදිකාවේ එක් කොනකට එල්ලවූ ආලෝක කදම්බයට හසු වූයේ ලෝගුවකින් හිස සිට පාධාන්තයම දක්වා වසාගත් සාන්තුවරයෙකුගේවන් රුවකි. ( ඔහුගෙන් නිරූපනය වූයේ අපගේම හෘද සාක්ෂිය බැව් පසුව මට පසක් විය) ඔහු සන්සුන් ස්වරයෙන් මොන මොනවාදෝ මුමුණන්නට පටන් ගත් නමුඳු මට ඒ කිසිත් පැහැදිලිව ඇසුණේ නැත. එකෙණෙහිම වේදිකාවේ දකුණු පසින් එතුමන් මතුවිය. ගීයක ස්වරයක තාලයෙන් ඇවිද ආ ඔහුගේ පුන්සඳවන් නිවුණු වතමල තව තවත් තිරිහං වී ජීවයෙන් ඔපවැටී ඇති සෙයක් මට පෙනිණි. ශාලාව අත්පොළසන් නාදයෙන් ගිඟුම් දෙද්දී සංගීත රාවය ඇරඹිණි.

එදා එනම් මීට වසර ගණනාවකට පෙර ප්‍රවීණ සංගීතවේදී හා ගේයපද රචක සේන වීරසේකරයන්, දුම්රියක බදුලු මාර්ගයේ ගමන් කරද්දී එතුමන්ට ඇතිවූ හැඟීමෙහිම අප මොහොතක් නතර වීමූ. වේදිකාව පිටුපස වූ විසල් තිරයේ දර්ශනයවූ රූපරාමුද අප ඒ ලොව වෙත කැඳවාගෙන යාමට තවත් රුකුලක් විය.

" සිහින් සුළං රැල්ලේ.......
ඔබේ සුවඳ මුසුවේ......"

ඔහු අපි එදා ඇසූ ඒ මධුර ස්වරයෙන්ම ගායනය ඇරඹීය. අඳුරු ශාලාව මීයකට පිම්බාක් මෙන් නිහඬය. වේදිකාව වෙත දැල්වුණු දහසක් දෙනෙත්වල කාන්තිය අඳුරේ දැල්වූනු තරු දහසක් මට සිහි ගැන්වීය. ගීතය අතරේ ඇසුණේ යාබද අසුනේ නරඹන්නාගේ හද ගැහෙන රාවයයි. සුසුම් හඬයි. එදා මෙදා තුර සුවහසක් ආතුර රසික හදවත් තම මධුර හඬින් හා අමරණීය තනු නිර්මාණයෙන් මෝහනය කළ එතුමා, ආචාර්‍ය වික්ටර් රත්නායකයෝ අප ඉදිරියේ ජීවමානව ගයන දෙස මම ඇසි පිය නොහෙළා බලා සිටියෙමි. එදා හැත්තෑව දශකයේ " ස" ප්‍රසංගයේදී සවන් දුන් ඒ යොවුන් හඬෙත් ඊට දශක හතරකටත් වඩා වැඩි කාලයකට පසුව අද සවනට වැකෙන වියපත් හඬෙත් කිසිදු වෙනසක් නම් නොවීය.

සිනින් සුළං රැල්ලක අපව පාකොට යැවූ එතුමන් ඊළඟට ගයන්නට පටන් ගත්තේ එවැනිම අප හදවත් තුළ සදා ලැඟුම් ගත් තවත් අමරණීය ගීතයකි.

" අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්..."

එතුමා ගැයීය. නරඹන්නෝ සමාධියක ගිලී ගීතය රස වින්ඳහ. ඔළු සිඳ ගත් දිමියන් රෑනක්සේ කුමක්දෝ පසුපස හඹායන අපට, අපි අපිම වන්නටවත් කාලයක් තිබේද? හැඟීම් දැනීමක් නැතිව යාන්ත්‍රිකවූ සමාජයට එතුමන් ගැයීය. අපට අහිමි කළ ඒ අමරණීය පුංචි මිනිසා, සුන්දර කවියා , ගේයපද රචකයා ආදරණීය ප්‍රේම් අයියා, ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන් විසින් දැයට දායාද කළ තවත් අති විශිෂ්ට ගීතයක් සවනේ වැකෙද්දී මම එතුමන්ට පිං දුන්නෙමි. මා මෙන්ම එහි රැස්වූ දහසකගේ ප්‍රාර්තනයද එයම බැව් මම දනිමි. ප්‍රසංගයේ සංගීතය සැපයූ සහෝදර රිදම් ගිටාර් ශිල්පියාගේ තත් ඒ ගීතයට හැඬවෙද්දී මම දෑස් පියා ගතිමි.

ඉන්පසු වික්ටර් රත්නායකයන් සේන වීරසේකරයන් හා ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන් පිළිබඳ කළ ගුණ ආවර්ජනය අප සිත් පහන් කිරීමට සමත් විය.

එතුමන් තෙවැනි ගීය වශයෙන් සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ සහ තමන් විසින්ම සංගීත අධ්‍යක්ෂණය කළ " පොඩි මල්ලී" චිත්‍රපටයේ " කොහේ සිට ඔබ පැමිණියේදෝ " ගීතය ගයද්දී ප්‍රේක්ෂකාගාරයේ වුන්, එම සිනමා පටයට සහය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ මා මිත්‍ර තිලක් පුෂ්පකුමාර සහෘදයාගේ දෑස් දිලිසෙන අයුරු මට අඩ අඳුර තුළින් දැකගත හැකිවිය. ඒ එම සුන්දර අතීතය සිහිවී දෑස් තෙත් කළ සතුටු කඳුළින් බව මම දනිමි. ගීතය ගැයෙද්දී පසුතලයේ වූ තිරයේ පොඩි මල්ලී සිනමාපටයේ රූපරාමු කිහිපයක් ප්‍රදර්ශනය වූවානම් කෙතරම් නම් අගනේදැයි මට සිතිණි.

ගීත 4ක් ගායනයෙන් අනතුරුව වික්ටර් රත්නායකයන් අඳුරු වේදිකාවේ එක් පසෙකින් සමුගෙන යද්දී වේදිකාවේ අනෙක් පසින් මතුවූයේ ඒ තාරුන්‍යයයේ සුන්දර හඬයි. තම මව් පිය උරුමයෙන් සංගීතයට හා ගායනයට නෑකම් කියූවත් ඔහු පැමිණ සිටියේ ඊට හාත්පසින්ම වෙනස් තමන්ටම ආවේණික වූ අමුතුම මගකිනි. ඔහුගේ ගායනය හා සංගීත අධ්‍යක්ෂණය, සුපුරුදු අහසකින් වැටුණු අලුත් වැස්සක් බඳුවූයේ එහෙයිනි. ප්‍රේක්ෂකාගාරය මොහොතකට අත්පොළසන් හඬින් ගිඟුම් දෙද්දී ඔහු ගායනය ඇරඹීය. වැඩ තරමට සිරුරින් ලොකු නොවූ මේ පුංචි හුරුබුහුටි තරුනයා වෙන කවුරුන් හෝ නොව අපගේ අවාසනාවට අපට අහිමි වූ විශාරද මාලනී බුලත්සිංහලයන් හා සංගීතවේදී එච් එම් ජයවර්ධනගේ පුත් කසුන් කල්හාරය. තමන්ටම ආවේණික වූ හඬින් හා ආරයෙන් ඔහු ගැයීය.

" මල් වරැසාවේ පාවී එන්නම්...."
මුළු ශාලාවම මල් වරුසාවකින් නැහැවී ගියේ මොහොතකිනි. ඉන්පසු ඔහු " ඔබ ඔබ වගේ" හා මා ඉතාමත් ප්‍රිය කරන " කවුළු පියන් පත් අරින්න" වැනි අති සුන්දර ගීත ගඟුලක නරඹන්නන්ව නහවා හැරියේ කිසිදු අනුකම්පාවකින් තොරවය. ගීතයක් ඇරඹීමේදීත් ගීතයක් අවසානයේදීත් ශාලාව ඔල්වරසන් හඬින් එකලෙසම ගිඟුම් දුනි.

ඉන්පසු නැවතත් ඇරඹුණේ වික්ටර් රත්නායකයන්ගේ ගායනයයි. අප නැවතත් හැත්තෑව දශකයට පිය නැඟුවෙමු. බුද්ධදාස ගලප්පත්ති සූරීන් ලියූ " තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්" ගීතය වික්ටර් රත්නායකයන් ගයද්දී බොහෝ දෙනෙකු තමන් ගතකළ සරසවි යුඟයේ තනිවූහ. එයින් පසු ගැයුණේ තවත් උන්මාදනීය ගීතයකි.

" සඳ කැන් වැසිලා

අඳුරේ ගිලිලා....." එතුමා ගයද්දී අපි අඳුරු ලොවේ තනි වුණෙමු. ඉන්පසු සිතන්නට බොහෝ දේ ඉතිරි කරමින් සංදර්ශනයේ ප්‍රථම භාගය නිම වුණි.

අඩ හෝරාවකට පමණ පසු ද්විතීය භාගය ඇරඹුණේ කසුන් කල්හාරයන්ගේ හඬිනි. එහෙත් ඔහු ගැයුවේ වික්ටර් රත්නායකයන්ගේ ගීතයකි. අපි දෑස් දල්වා බලා සිටියෙමු.

" මියුරු කල්පනා...
නෙතක දැල්වුණා....
අමයුරු රස හස කැන් මැද
සිතක් හිනැහුනා..."

සුරේෂ් මාලියද්දගේ නව සංගීත සංයෝජනයට කසුන් එය ගයද්දී දැනුණේ අමුතුම නැවුම් බවකි. සිසිලසකි. ගායනය අතර මගදී අප අනුමාන කළ අයුරින්ම වේදිකාව අනෙක් පසින් වික්ටර් රත්නායකයන් මතුවී කසුන් හා ගායනයට එක්විය. නරඹන්නෝ ප්‍රීතියෙන් ඔකඳ වූහ. අත්පොළසන් නාදය කන් බිහිරිකරවමින් නැඟ ආ අතර වින්දනයේ සුරතාන්තයටම ගිය සමහරෙක් විසිල් ගසමින් තම සංතෝසය පළ කරන්නට වූහ. ගායනය අවසනදී සිදුවූයේ ඉතා අපූරු සිදුවීමකි. එනම් කසුන් කල්හාර විසින් මල් මාලාවක් පළඳා වික්ටර් රත්නායකයන්ට උපහාර පිදීමයි. නරඹන්නන්ගේ නෙතු අගට කඳුළක් එක් කිරීමට මෙය සමත්වූ අතර ඉන්පසුව සංවිධායක මංඩලය විසින් අප ගායන දෙපළට සහ වාදක මඬුල්ලට තිළිණ ප්‍රදානය කොට උපහාර පිදීම සිදුවිය. මෙය ඉතාමත්ම අගනා හා ආදර්ශමත් ක්‍රියාවක් බැව් පැවසිය යූතුමය.

ඉන්පසු කසුන් කල්හාර තමන්ට වෙන්වූ අවස්ථා දෙකකදී " ප්‍රේමයේ විල් තෙරේ " හා " අනන්තයට යන පාර දිගේ" වැනි ඔහුගේ අතිශය රසික ප්‍රසාදය දිනූ ගීත ගායනා කළ අතර ඔහු ගායනා කළ තවත් නවතම ගීතයකට සුරෑපී ලලනාවන් සතර දෙනෙකු ඉතා අපූරු සුංගාරය වෑහෙන රංගනයක් ඉදිරිපත් කළෝය. පළමුවරට ඇසූ නිසාදෝ එහි එකම පදයක් හෝ මට පැහැදිලිව ඇසුණේ නැත.

අවසන තමන්ට හිමි අවස්ථාවන් දෙකේ පළමු නිමේෂයේදී වික්ටර් රත්නායකයන් " දෛවයෝගයකින්", " ආශා නිරාශා මැවූ" හා " මාලිනියෙ" ගැයූ අතර නැවතත් රසිකයින් එදා සවන් දුන් " ස" ප්‍රසංගයේ සිතින් තනිවූහ. දෛවයෝගයකින් ගීතයට තම ගිටාරය වැයූ ලංකාවෙන් පැමිණ තිබූ ප්‍රවීණ ගිටාර් වාදකයා පෑ පෙළහර අතිශය රමනීයය.

නැවත කසුන් කල්හාරයන්ගේ වාරයෙන් පසු වේදිකාවට පිවිසි වික්ටර් රත්නායකයන් " පෙම් රස වෑහෙන", " පෙම්බර මදූ මගේ","
සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ" හා අවසන දේශාභිමාන ගීතයක් වූ "රුවන් නිඳන හෙල බිමයි" ගීතය ගැයූ අතර පෙම්බර මධු මගේ ගීතය එතුමා එය කරුණාරත්න අබේසේකරයන්ගේ පදමාලාවක් බැව් නොදැන ගායනා කළ බව එම ගීතයට සම්බන්ධ අතීත කතාව සිහිපත් කරමින් ප්‍රකාශ කළේ නරඹන්නන් සිනා සයුරේ ගිල්වමිනි. ඒ වකවානුවේ කරුණාරත්න අබේසේකරයන් හා වික්ටර් රත්නායකයන් අතර තිබී ඇති පුංචි ආරෝවක් ගැන අපි දැනගත්තේ එවිටය.

" රුවන් නිදන හෙල බිමයි" ගීතයට නරඹන්නෝ අත්වැල් ගායනයෙන් හා තාලයට අත්පුඩි තැලීමෙන් එක්වූයේ එම ගීතය ඒ තරමටම අපගේ හදවතට, ගතේ දුවන රුදිරයටම බද්ධ වී තිබූ නිසාය. ගීතය අවසන වික්ටර් රත්නායකයන් නරඹන්නන්ට ආචාර කොට වේදිකාවෙන් බැස ගියහ. එකෙණෙහිම වාදක මඬුල්ලද එකා දෙන්නා බැගින් වේදිකාවෙන් ඉවත් වූහ. අප එකිනෙකා දෙස බලා ගත්තේ සංදර්ශනයේ අවසානය මෙයද එසේත් නැතිනම් කෙටි විවේකයක්ද යන්න පිළිබඳව පැහැදිලි නිගමනයකින් තොරවය. මද වේලාවක් අප අසුන් වලම සිටියෙමු. එවිට සමහර නරඹන්නන් ශාලාවෙන් ඉවතට යන්නටත් සමහර දෙනා වික්ටර් රත්නායකයන් වටකරගෙන ඡායාරූප වලට පෙනී සිටින්නටත් පටන් ගත් හෙයින් ඒ සංදර්ශනයේ අවසානය බව අප තීරණය කළෙමු. කසුන් කල්හාරයන් සමුගන්නටවත් වේදිකාවට නාවේය. මෙතරම් ගාම්භීරව හා ලස්සනට සංවිධානය කළ උත්සවය මෙසේ හදිසියේ මෙන් අවසන් කළේ ඇයිද යන්න මා ඇතුළු මා කතා බහ කළ බහුතරයකට ඇතිවූ ගැටලුව විය. කාලය මදි වුණිද? එසේනම් විනාඩි 20 ක් යැයි කියූ විවේක කාලය විනාඩි 40 කටත් වඩා දීර්ඝ වූයේ ඇයි?

මෙවැනි උත්සවයක් සංවිධානය කිරීමේදී කාලය පිළිබඳ ගැටලු නොවැළැක්විය හැකි බව මම අත්දැකීමෙන් දනිමි. එහෙත් ආරම්භයේදී ඇතිවූ පැයක පමණ ප්‍රමාදය හා විවේක කාලය උවමනාවට වඩා දිගුවීම අවම කර ගත හැකිව තිබිණි.

ආරම්භයේ ප්‍රමාදය ශබ්ද පරිපාලනය නිසියාකාරව සකසා ගැනීමට වැයවූ බව මා එහිදී කතා කළ සංවිධායක මහතකුගෙන් දැනගන්නට ලැබිණි. හඬ පරාස දෙක අහසට පොළොව මෙන් හා සම්පූර්ණයෙන්ම වෙනස් මඟක වූ සංගීත ක්‍රමවේද දෙකකින් යුතුවූ ගායකයන් දෙදෙනකුට ශබ්ද පරිපාලනය ඉතා අසීරු කටයුක්තක් බව මම දනිමි. එහෙත් එතරම් වෙලාවක් වැයකොට වුවද කසුන් කල්හාරයන් ගයද්දී එම වචන පැහැදිලිව ඇසුණේ නැත. එමෙන්ම සංගීතය ඔහුගේ හඬ පරයා යන ගතියක් ගීත කිහිපයකම විය. එහෙත් වික්ටර් රත්නායකයන් ගයද්දී එය නැවතත් යථාතත්වයට පත්විය. සැබැවින්ම මා මේ සුළු කාරණා සදහන් කළේ ඊළඟ වාරයේ සැලකිල්ලට ගැනීම සඳහා සංවිධායක මහතුන් දැනුවත් කිරීමට විනා ඔවුන් විවේචනය කිරීමට නොවේ. මන්ද ඔවුන් සංවිධානය වී මෙවන් සංදර්ශනයක් නොපවත්වන්නට ගීත පිපාසිත ලංඩන් රසික කැල ක්ෂේමභූමියකින් තොරවූ කාන්තාරයක අතරමංවන බව මා දන්නා බැවිනි. සෑම ආසනයකටම නොම්බර දමා තිබීම, උසස් තත්වයේ ශාලාවක සංදර්ශනය පැවැත්වීම, සුරේෂ් මාලියැද්ද ඇතුළු අති දක්ෂ වයලීන හා ගිටාර් වාදක යුඟලයක් ලංකාවෙන් ගෙන්වා ගැනීම හා එක්සත් රාජධානියෙන්ම ඉතාමත්ම දක්ෂ හා නිපුණතා සපිරි වාදක හා ගායක මඬුල්ලක් තෝරාගැනීම වැනි ධනාත්මක පියවර අපි ඉතා ඉහළින්ම අගය කළ යුතුය. ඒ ගායක හා වාදක මඬුල්ලට මගේ හෘදයාංගම ප්‍රණාමය මේ අවස්ථාවේ පුදකරමි. එමෙන්ම සමු ගැනීමට මත්තෙන් " ගී අමා 2017" ප්‍රසංගය සංවිධානය කළ ඒ සියලුම මහත්ම මහත්මීන්ටද මගේ හද පිරි ස්තූතිය පුද කරමි. ඉදිරියේදීත් මෙවැනි ප්‍රසංග , කලාහිතකාමී අප වෙත ගෙන ඒමට ඔවුනට ශක්තිය හා දහිරිය ලැබේවායි කියාද මම අවංකවම ප්‍රාර්ථනා කරමි.

මා ශාලාවෙන් එළියට බසින විට වික්ටර් රත්නායකයන් හා එතුමන්ගේ නව යොවුන් බිරිඳ රසිකයින් සමඟ සමූහ ඡායාරූප වලට පෙනී සිටිනු දක්නට ලැබිණි. වසන්ත සමය නිසා හොඳින් අහසේ වැජඹුනු සූර්‍ය රාජයා නවමු දළුවලින් හා මලින් පිරි තුරු අතරින් එබී , අප දෙස බලා සිටියේද ඒ නිමේශයේදීමය.
චන්දන ගුණසේකර

Share this Album
Facebook Messenger X WhatsApp
Viewing photos is faster & smoother in our app
Open in App

This album is hosted on Facebook. Click below to view all photos in the album.

View Album on Facebook
Get the free app Download on theApp Store Get it onGoogle Play Learn more

About

Get the App
About Us
Our Services
Advertising
Contact Us
FAQ
Terms & Conditions
Disclaimer
Privacy Policy

News

Latest News
Community News (UK)
Sri Lanka News
World News
Sports News

Events

Upcoming Events
Religious
Charity/Fundraising
Dinner Dance
Past Events (Archives)
Our Media Coverages

Community

Community Home
Business Directory
Marketplace
Sri Lankans in UK Forum
Copyright ©2013-2026. All rights reserved.
Developed by Praneeth Hettiarachchi