මිහිඳු සඳ පොසොන් කලාපය කවියෙකුගේ ඇසින්.................
ලන්ඩනයේදී ඉතිහාසයේ පළමුවරට පොසොන් සඳ සැබෑ පොසොන් අසිරිය දුටු වගයි......
සුපුරැදු විලසින් පෙරදිඟ අහසේ වළා තුළින් මා මෝඳු වුණා
නුපුරැදු දසුනක් ලන්ඩන් නුවරින් දුටු මගෙ හද විල සසල වුණා
පරසිදු වොට්ෆඩ් පුරවර පෙදෙසින් අනුරපුරේ සිරි පහළ වුණා
නරනිඳු තිස්සත් මුවන් දඩයමේ යන'යුරැ දුටු නෙතු විවර වුණා
තැන තැන කොඩි වැල් ඇදෙනවා කඳිමට කෙළවර තොරණක් ඉඳි වෙන්නා
සැන සුන සිත් ඇති පිරිසක් සරසති වේදිකාවකුත් වැඩ පෙන්නා
මැන වින් මඬුවක් වැජබෙයි "දන්සල" නාමය මුඳුනේ ලෙළ දෙන්නා
වන යක අඹ තුරැ සෙවණේ මිස්සක පව්වත් සැකසී මතු වෙන්නා
කවුරැත් එකසේ තැන තැන වෙහෙසේ කැපී පෙනෙන්නට සිතක් නැතේ
කොහෙවත් දේශයෙ පාළුවො නම් නැත ඒ ගැන කාටත් වගක් නැතේ
තවමත් දෙදෙනෙකු සැම අත දිවයති හොඳහැටි වෙහෙසුණු ලකුණු ඇතේ
එනමුත් කෙරෙනා වැඩ දකිනා විට ඒ ගති සේරම පහව යතේ
දැන් දැන් ටික ටික ධවල වතින් සැදි පිංවත් පිරිසත් රොක් වෙන්නා
කන් කළු බැති ගී රාවය පැතිරෙයි සවන් යුඟම පිනවී යන්නා
නන් අයුරින් වෙහෙසුන සැම දන මන දැහැනක වෙලිලා සැන සෙන්නා
සන් සුන් විලසින් කොලුවකු ශබ්දය හොඳින් පාලනය කර වන්නා
විශේෂ ආරාධිතයින් මෙහි නැත සඟගණ සුමිහිරි දම් දෙසතී
බොරැ පම්පෝරිය කිසිතැන නොඇසේ කවුරැත් එකසේ කන් යොමතී
දන්ත ධාතුවත් වඩම්මවාගෙන දරැ පැටවුන් රැඟුමන් රඟතී
මනරම් පෙරහැර දුටු සැම නෙතු අඟ තුටු කඳුලැලි වැල් සේ එතෙතී
නැටුමට පස්සේ පිංවත් ජන කැල දන්සැල වෙතටයි යොමුවන්නේ
දන් බෙදනට කිසි තරගය මෙහි නැත කදිමට කටයුතු සිදුවන්නේ
දහම් අමාවෙන් සැනැහුණු සැම දන කුසගිනි නිමවා තුටුවන්නේ
හකුරැ සමඟ තේ කෝප්පයක් බී පින්දී නිවසට පිටවන්නේ
වලාකුළුත් නැත පැහැදිලි අහසේ මා මේ සැම දෙය දැකගන්නා
කලකිරීමකින් පසුවූ මගෙ සිත සුබ කටයුතු දැක සැනසෙන්නා
සිරිලක බොහො තැන මෙවැනි දසුන් නැත ඇයිදෝ කියලා අසමින්නා
හෙට දින පායන හිරැ හට ඉඩදී සුපුරැදු විලසින් බැසයන්නා
-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය
පොසොන් පුන් පොහොය පහුවෙලා වැඩි දිනක් ගතවී නොතිබුණු නිසාදෝ එදත් සඳ රබානක හැඩයෙන් පෙරදිග අහස් කුසතුළ මෝදු වෙමින් තිබුණා. කිසිවිටෙකත් විශ්වාසයේ තැබිය නොහැකී වූ එංගලන්තයේ කාලගුණය වරින් වර වෙනස් වෙමිනුයි පැවතුණේ. යාන්තමින් හමා ගිය සිහිල් සුළං රැල්ලක දැවටී සියුම් හිරි පොදයකුත් වැටී නොවැටී ගියා. මේ මොහොතේ ලන්ඩනයට නුඳුරැ වොට්ෆඩ් පුරවරයේ මෙතෙක් කලක් එංගලන්තයේදී සිදුනොවුනු අපූරැ උත්සවයකට ඉතාමත් උනන්දුවක් හා පහන්වූ සිත් ඇති පිරිසක් ලහි ලහියේ සුදානම්වන අයුරැ දක්නට ලැබුණා. මේ අරැමය කුමක්දැයි සිතූ අවපසට යමින් තිබූ පොසොන් සඳවතිය ඇය සතු උපරිම ආලෝකය විහිඳුවමින් වොට්ෆඩ් නුබ කුසට අවතීර්ණ වෙන්නට පටන් ගත්තා.
වොට්ෆඩ් පුරවරයේ ගාස්ටන් ගම්මානයේ ප්රජා ශාලාවක ඉඩමේ පසෙක මනරම් තොරන් රාජයෙකු ඉදිවෙමින් පැවතුණා. ආකර්ෂණීය ලෙස සකසා තිබූ බුදුරැස් මාලාව නරඹන්නන්ගේ සිත් පැහැර ගැනීමට සමත් වුණු අතර තොරණින් කියැවුණේ උප්පත්තියේ සිට පරිනිර්වාණය දක්වා සිදුවූ බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම්. තවත් පසෙක මැවුණේ මිහින්තලාවයි. ඉතා දැකුම්කළුව නිමැවූ මිස්සක පව්ව මත මිහිදු හිමියන් ඇතුළු පිරිස කුළුණු නෙතු අරා වැඩ සිටි අතර දේවානම් පිය තිස්ස රජුද දුනු හී පසෙක ලා දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරමින් සිටියා. මරණයෙන් ගැලැවුණු අහිංසක මුව පොව්වාද තණ කමින් ඒ අසලම නැවැතී සිටියා. ශාලාව ඉදිරිපිටම සකසා තිබුණේ ඉතාමත්ම මනරම් කූඩුවක් නොව කූඩු රාජයෙක්. ඉතා සියුම්ව එහි සැරසිලි කැටයම් කපා නිමවා තිබුණා. පැටවුන් පිරිවරා ගෙන ඉතා තේජාන්විතව වැජබුණු මේ කූඩු රාජයා හොඳින්ම කැපී පෙනුණා. ඒ අතර තවත් නා නා විදිහේ පහන් කූඩුද මද සුළඟේ ලෙලෙමින් තිබෙනු දක්නට ලැබුණා. ඉතා මහන්සියෙන් නිමවා තිබූ කොඩි වැල්ද හමා ගිය සුළං රැල්ලේ එතී සිලි සිලි හඬක් නගමින් සැමගේම සවන් කුල්මත් කළා.
ශාලාවට ඇතුළුවන දොරටුව අබියස අලුත වියූ පොල්අතු වලින් සෑදූ ආකාරයට නිමවූ මඩුවක් දක්නට ලැබුණා. එහි මුදුනින් ප්රදර්ශනය වූයේ "මහා බත් සහ තේ පැන් දන්සැල" යන නාමයයි. ශාලාව ඇතුළත තිබූ වේදිකාවේ සැරසිලි කටයුතු ඒ වන විටත් අවසන් වෙමිනුයි පැවතුණේ. කලාශිල්පී ජයරත්න බණ්ඩාරයන් ගේ සුරතින් නිමැවුණු පුරාණ රජ මහා විහාරයක තාප්පය, ඝණ්ඨා කුළුණ හා බුද්ධ ප්රතිමාව එහි මනාවට විරාජමාන වුණා. ශාලාවේ සිවිලිමත් ඉතා මනරම් කොඩිවැල් වලින් සරසා තිබූ අතර සිරිලක පුරාණ පංසලකට සැවොම රැගෙන ගිය අයුරැයි සෑම ඉසව්වකම දිස් වූයේ. වේදිකාවේ පසුබිමෙහි විශාල අකුරින් "මිහිඳු සඳ" පොසොන් ක ළාපය යැයි ලියා තිබුණා. ලංඩනයේදී කවදාක්වත් නොඳුටු මේ මිහිඳු සඳ කුමක්දැයි දැන ගැනීමට නැඟ එමින් තිබූ සඳවතිය තව තවත් උනන්දු වුණා.
මේ අතර මෙහි තිබූ තවත් විශේෂිතම ලක්ෂණයක් වූයේ වෙනත් පොඳු වැඩකදී මෙන් නොව පිරිසේ කවුරැවත්ම කැපී පෙනීමට උත්සහා නොදැරීමයි. බොරැවට උපදෙස් දෙමින් ඇද කුද සොයන්නන්ද බෙහෙතකටවත් සොයා ගැනීමට නොහැකි වුණා. කවුරැත් වැඩ කළේ එකා වගේ. ඔවුහු තමන් ශක්ති ප්රමාණයෙන් වැඩ කලේ කාටවත් පේන්නවත් හෝ කාගෙන්වත් නම්බු නාම ගන්නවත් නොවෙන බව මනාවට පිළිබිබු වුණා. මේ අතරේ ඉතාමත්ම වෙහෙසකර මුහුණින් යුතු එහෙත් ඉතාමත්ම කඩිසරව වැඩෙහි නිරතවූ දෙදෙනෙකු කරා සඳවතියගේ අවධානය යොමු වුණා. පසුව කළ විමසීමකදී ඒ එක් අයෙකු ආසිරි බණ්ඩාර නම් සොයුරෙකු බවත් අනෙකා ජගත් රණසිංහ සොයුරා බවත් දැනගන්නට ලැබුණා.
ආසිරි බණ්ඩාරන් පිළිබඳව කතා කරනවා ඔහු ගැන පිටු ගණනාවක් ලිවිය හැකි බැව් සඳවතියටත් හොඳින්ම ඒත්තු ගැන්විලයි තිබුනේ. සැකෙවින් කියනවානම් මෙම "මිහිඳු සඳ" පොසොන් කළාපය එතුමාගේ සංකල්පනාවක්. ලන්ඩනයේ වෙසෙන පොසොන් උත්සවය කිසිදා ඇහින් නොඳුටු අහිංසක දුවා දරැවාගැන ඇතිවූ සැබෑ කැක්කුමින් ඔවුනට ඒ අසිරිය එකම ස්ථානයකදී විඳ දැක බලාගැනීමේ උදාර අරමුණින් යුක්තව එතුමා මෙම කටයුත්තට උර දී සිටියා. දක්ෂ ගණිත ගුරැවරයෙකු මෙන්ම චතුර කථිකයෙකු හා නිවේදකයෙකුද වන ආසිරි බණ්ඩාරයෝ ලන්ඩනයේ දරැවන්ගේ නැටුම් හා ගැයුම් වලට වේදිකාවක් තනා දෙමින් මීට පෙර "හෙළ දරැ වරැණ" නමින්ද ප්රසංගයක් කිහිපවරක්ම ලන්ඩනයේ පවත්වා තිබුණා.
ඔහුගේ දකුණු අතමෙන් කැපවීමෙන් ක්රියාකරමින් මෙම "මිහිඳු සඳ" සාර්ථක කරගැනීමට වෙහෙසුණේ අප කවුරැත් දන්නා ජගත් රණසිංහයන්. එතුමා අපගේ දුවා දරැවන්ට බුද්ධ ධර්මය හා සියබස ඉගැන්වීම සඳහා කිංස්බරි පන්සලේ පවත්වාගෙන යන දහම් පාසලේ ගුරැ මඩුල්ලද හා එක්ව ගෙනයන අරගලයේ වටිනාකම විස්තර කිරීමට සුදුසු වචනයක් සෙවීම ඉතාම දුෂ්කර කාරියක් වුණා. ඒ වගේම රණසිංහයෝ කිංසබරි පන්සලේ දහම් පාසල විසින් සෑම අවුරැද්දකම පවත්වන සිංහල හා දමිළ අළුත් අවුරැදු උත්සවය සඳහා කරන කැපවීම හා සේවය මේ අවස්ථාවේ අමතක නොකළම යුතු කරැණක් වෙනවා.
මේ අන්දමින් වැඩ කටයුතු කෙරීගෙන යද්දී සැඳෑ අඳුර මේ වසන්ත සමයේ ඉක්මනින් ගලා නාවත් මදින් මද සුදු වතින් සැරසුණු දෙමාපියන් හා දරැවන්ගෙන් ශාලාව සහ ඒ අවට භූමි භාගය පිරී ඉතිරී යන්නට වුණා. මුලින්ම මෙම පිංවතුන් තොරන් රාජයා වැද පුදා ගත්තා. මෙම තොරණට අවැසි රූප රාමු සපයා දී තිබුණේ මහමෙව්නා ජාත්යන්තර බෙෳද්ධ මධ්යස්ථානයයි. ඉන්පසුව සැමගේ දෑස් යොමුවුණේ තනා තිබූ මිස්සක පව්වට. එහි මනරම් චිත්ර නිර්මාණ ප්රශාන් දීප්ති කුමාර මහතාගේ තෙලි තුඩින් හැඩවී තිබුණා. ඉශාන් සූරියගේ මහතා විසින් පරිවාර කූඩු සමගින් නිර්මාණය කරන ලද දර්ශණීය පහන් කූඩුව වෙතට ඉන් අනතුරුව කාගේත් දෙනෙත් යොමු උනා. එහි කැටයම් චිත්ර ජගත් රණසිංහයන් විසින් මනාවට ඇඳ තිබූ අතර කැටයම් කැපීම ආසිරි බණ්ඩාර හා අනූ තෙන්නකෝන් යුවළගේ මහඟු දායකත්වයෙන් නිම වුණා. සුන්දර සැන්දෑ භාගයේ යොදාගත් පිළිවෙළට උත්සවය ආරම්භ වුණා. වෙන උත්සව වල මෙන් විශේෂ ආරාධිත අමුත්තන් නොසිටීම මෙහි තිබූ ලොකුම විශේෂයයි. උත්සවයට සහභාගී වූ සැවොම එකසේම විශේෂිත වුණා. මුලින්ම එහි වැඩමකළ වදාළ කිංස්බරි සද්ධාතිස්ස ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානයේ වැඩ වාසය කරන නේපාලයේ සුමන හා විල්බාගෙදර ඤාණසාර යන හිමිවරැන් පැමිණ සිටි පිරිවර පංචශීලයෙහි පිහිටවනු ලැබුවා. ඉන් අනතුරැව එම විල්බාගෙදර ඤාණසාර හිමියන් විසින් මනරම් ධර්ම දේශනයකින් ජනතාවට සංග්රහ කළා. සුමන හිමියන් විසින් ඉංග්රීසි බසින් පැවැත්වූ ධර්ම දේශනයෙන් අනතුරැව භක්තිගීත සංදර්ශනය ඇරඹුණා.
අමරදේවයන් , සනත් නන්දසිරි හා අල්හාජ් මොහිදින් බෙග් යන ගායන ශූරීන් ගැයූ බොදු බැති ගී මෙහිදී ඉතාමත්ම කන්කලු හා බුද්ධාලම්බනක් ප්රීතිය තීර්ව වන අයුරින් පැමිණ සිටි ගායක මඬුල්ල විසින් ගායනා කරනු ලැබුවා. පිංවත් ජනතාව එම ගීතවලට කෙතරම් තදින් සමවැදී සිටියාද යත් පැයකටත් අධික කාලයක් පුරාවට බැති ගී සංදර්ශනය පැවතිදැයි කිසිවෙකුටත් නිනව්වක් තිබුණේ නැහැ. එහි සියලුම ගෞරවය එම ගායක කැල මෙහෙය වූ විමල් මද්දුමආරච්චි සහ රේණුකා විමලරත්න යුවලටත් ගායනයෙන් දායක වූ රම්යා රූපසිංහ, ජානකී රොද්රිගු, අනූ විමලරත්න, අනූ සේනාධීර, පවිත්රා දිල්රුක්ෂි, කාන්ති සුදුසිංහ, අංජලී රණවක, ටීලා රංජනී, විමුක්ති මහින්දරත්න, අනිල් මුදලිගේ, රූපස් පෙරේරා, රංජිත් ධර්මදාස, ගාමිණී සුදුසිංහ ට මෙන්ම මනා ලෙස ශබ්ද පරිපාලනය කරමින් නිහඬ සේවයක් කළ ප්රවීණ ශබ්ද පරිපාලක දයන්ත සේනානායක මහතාටද හිමිවිය යුතුයි. ගායක කැල අවසාන වශයෙන් ගැයූ "උත්තම මුනි දළදා වඩම්මන" ගීතයට ඒ පී අත්තනායක හා රසිකා අත්තනායක යන නිහතමානී කළා යුවළ විසින් පුහුණු කරන ලද සිසු සිසුවියන් පිරිසක් විසින් දළදා වහන්සේ වඩම්මවාගෙන ආ පෙරහැර ඉතාමත්ම මනරම්ව රඟ දැක්වූවා. මෙය දුටු දනන් නෙතු අඟ සතුටු කඳුළක් මැවුණේ නිරායාසයෙන්මයි. මෙහිදී නිවේදන කටයුතු කරමින් උත්සවය ඉතාමත්ම විධිමත් අයුරින් මෙහෙයවූයේ ආසිරි බණ්ඩාරයන් විසින්මයි.
මේ සියළුම සිදුවීම් හොඳින් සිදුවෙද්දී නිහඬවම ඒ හැම අවස්ථාවක්ම තම නිශ්චල හා වීඩියෝ කාචයනට හසු කරගනිමින් අති මහත් සේවයක් සැපැයූ ප්රණීත් හෙට්ටිආරච්චි සහ නලින් ද සිල්වා යන සොහොයුරන් දෙපලද උත්සවයට තම හැකියාවන් විදහාපාමින් දායක වුණා. වේදිකාවේ සංදර්ශනය නිමවීමෙන් අනතුරැව ඉතාමත්ම ප්රීතයෙන් පසු වූ ජනකැල සන්සුන්ව පෝලිමේ දන්සල වෙත පිය මනිනු දක්නට ලැබුණා. කිසිම තරඟයක් හෝ හදිසියක් නොමැතිව දන් පිළිගන්වන්නෝ දන් පිළිගැන්වීමත් දන් ලබා ගත් ඇත්තෝ සන්සන්ව එම දන් අනුභව කරන අන්දමත් ඇස් පිනවූ ඉතාමත්ම දර්ශනීය දසුනක් වුණා. නිර්මාංශ ආහරය පිළයෙළ කෙරැනේද වොට්ෆඩ්වාසී කාරැ ණික ජන කැලගේ නොමසුරැ ආධාරයෙන් බැව්ද පැවසිය යුතුමයි. මේ අතරට පිළිගැන්වූ කිරි කැඳ කෝප්පය හා කිතුල් හකුරැ කෑල්ලේ රස බොහෝ කලක් යනතුරැම එය භුක්තිවිඳි ජනතාවට අමතක නොවන බව නම් නොඅනුමානයි. සියල්ල අවසන හකුරැ කෑල්ලක් සමඟ කහට කෝප්පයකින්ද සංග්රහ ලැබු පිංවතුන් ඉතාමත්ම ප්රීතියෙන් යුක්තව පිං දෙමින් තම නිවෙස් කරා ඇදෙනු දක්නට ලැබුණා. පන්සීයකටත් වඩා අධික ප්රමාණයකට කිසිඳු අඩුවක් නොකොට ආහාර සැපැයීමම මහත්සේ ඇගැයීමට ලක් කළ යුතු කාරණයක් වුණා.
ඉන්පසු එළැඹියේ සියල්ල ශුද්ධ පවිත්ර කොට ශාලාව තිබුණු ආකාරයටම භාර දීමයි. මෙහිදීද කිසිදු මෙහෙයවීමක් හෝ මඟ පෙන්වීමක් නොමැතිව නැවතත් එකතු වූ වොට්ෆඩ් වාසී පිංවත් ජන කැල ඉතාමත් කඩිසරව තම ශක්ති ප්රමාණයෙන් ශාලාව තිබූ අයුරින් සකස් කරනු දක්නට ලැබුණා. සැමගේම උදව්වෙන් පැයක වැනි කාලයක් ඇතුළත සියල්ල තිබූ ලෙසම සකසා ශාලාව ආපසු භාර දෙනු ලැබුවා. ඒ වෙලාවෙහි දින ගණනක් නිදිමරා වෙහෙසවී මෙම කාර්ය්යය සාර්ථක කර ගැනීමට උර දුන් ආසිරි බණ්ඩාරයන් සහ ජගත් රණසිංහයන් මෙන්ම මෙය සාර්ථක කරගනු වස් උපරීම සහයෝගය ලබා දුන් නිශාන්ත සහ ඕලු සුරවීර, ධම්මික සේනාධීර, ඩිලූ රණසිංහ, අරුණ පෙරේරා, ලක්සිරි ප්රනාන්දු, කමල් පූරගේ හා නන් අයුරින්(මුදලින් හා ශ්රමයෙන්) යන සියලුම දෙනාගේ විඩාබර ඇස් විඩාව පහව ගොස් ලද ආත්ම තෘප්තියෙන් ඔකඳව ඉතාමත්ම නිහතමානීව බැබළෙන අයුරැ හොඳින් මුදුන් වූ පොසොන් සඳේ සහන් එළියෙන් පැහැදිලිව පෙනුණා.
- චන්දන ගුණසේකර -
This album is hosted on Facebook. Click below to view all photos in the album.
View Album on Facebook