ජනපති සිරිසේන අද සවස ලන්ඩනයට ලඟා වෙයි

Janaka | 11 May, 2016 01:38PM | Leave a comment
දූෂණ විරෝධී සමුළුවට සහභාගී වීමට ජනපති සිරිසේන අද සවස ලන්ඩනයට ලඟා වෙයි
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගේ මූලිකත්වයෙන් හෙට දින (මැයි 12) ලන්ඩනයේ පැවැත්වෙන දූෂණ විරෝධී සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (11දා) සවස හීතෘ ගුවන් තොටුපලින් එංගලන්තයට ලඟා වීමට නියමිතයි. ජනාධිපතිතුමා අද උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගේ ආරාධනාවක් මත ජනපතිවරයා මෙම සමුළුවට එක්වෙන අතර හෙට දිනයේදී ඔහු සමුළුව ඇමතීමටත් නියමිතය. සමුළුවට ප්‍රථම නායකයින් දෙදෙනා අතර අග්‍රාමාත්‍ය නිල නිවසේදී සුහද හමුවක්ද පැවැත්වීමට නියමිතය.

සමුළුවෙන් අනතුරුව හෙට දිනයේම සවස් වරුවේ නැවතත් ශ්‍රී ලංකාව බලා පිටත්වන ජනාධිපතිවරයා එදිනම ඉන්දියාවට ගොස් හින්දු ආගමික උත්සවයකට සහභාගී වී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතය.
පැය විස්සක වැනි සුළු කාලයක් ලන්ඩනයේ ගත කරන ජනාධිපතිවරයා ඉතාමත්ම කාර්ය බහුල වන බැවින් බාහිර කිසිම වැඩසටහනකට හෝ සාකච්චාවකට සහභාගී නොවන බවද ඒ පිළිබඳව විමසීමේදී අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණි. කෙසේ වෙතත් විවිධ දේශපාලන පක්ෂ වල නියෝජිතයෝ මෙන්ම එතුමාව බලයට පත් කිරීමට වෙහෙස වූවායයි පවසන පිරිස්ද කෙසේ හෝ එතුමාව හමුවීමට ප්‍රබල උත්සාහයක් ගන්නා බවටද තොරතුරු දැනගන්නට ලැබුණි.