LIVE::Headbanner 728×90 ( Head Banner )
LIVE::Headbanner 728×90 ( Head Banner )
LIVE::Headbanner 728×90 ( Head Banner )
LIVE::Business Directory ( Nav Banner )
LIVE::Business Directory ( Nav Banner )

දියවරේ අන්දරේ……

දියවරේ අන්දරේ……

දියවරේ අන්දරේ……
සොඳුරැ සිතැත්තෝ වෙනුවෙන් චන්දන ගුණසේකර එක්සත් රාජධානියේ සිට

වෙනදා මෙන්ම එදා දිනයේත් පදවිය වැව් තලයට ඉහළින් වූ ඈත ආකාසේ රත් පැහැයට හරවමින් හිරැ තවත් දවසකට මෝදු වෙමින් පැවතිණි. දුරැතු මාසය නිසාවෙන්දෝ, හමා ගිය වියළි කර්කශ සුළඟේ වූයේ ගත හිරිවට්ටවන සුළු සිහින් සීතලකි. වන ලැහැබේ ගස් වැල් වල එතී තිබූ මීදුම් වළාවන් නැඟඑන හිරැට බියේ පලා යද්දී රාත්‍රියේ වට පිනි බිඳු හිරැ එළියේ නටමින් දිලිසුණි. පඳුරැවල තනා තිබූ මකුළු දැල්වල විසිරී තිබූ පිනි බිඳු හිරැගේ අකීකරැ රැස් වල එතී දිලිසුණේ මුතු දමකට ඇමිණූ මුතු කැට මෙනි.
සියලුමදේම සන්සුන්ව වෙනදා මෙන්ම කිසිදු අරැමයක්‍ නොමැතිව සිදුවෙමින් පැවතියත් පදවියේ බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රය නම් එසේ නොවීය. වෙනදාටත් වඩා කලියෙන් පාසලට පැමිණ තිබූ සිසු සිසුවියන් හා ගුරැ මහත්ම මහත්මීන් මහා විසල් කර්තව්‍යකට ලහි ලහියේම සූදානම් වෙමින් සිටිනු දක්නට ලැබිණි. තමන්ට තිබෙන හොඳම හා පිරිසිදුම ඇඳුමින් සැරසීවුන් ඔවුහු තැන තැන දුව පනිමින් එක් එක් කාර්‍යන්හී නිරතවූහ.
තැනෙක විසිතුරැ මල් සකසමින් පාසල් භූමිය හා පංති කාමර සරසමින් වුන් දැරියන් පිරිසක් වූ අතර තවත් තැනෙක තවත් පිරිසක් මිඳුල අමදිමින් වුන්හ. පංති කාමරයක ලහි ලහියේ සාර සොභාවට ලෑස්ති කෙරෙන තේ මේසයකි. හැමගේම මුහුණුවල වූයේ සතුටකි. උද්‍යයෝගයකි. සිසුන් හය සියයක් පමණ වූ මෙම පිරිස යමෙකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පාසල් මිඳුලේ තම තමන්ට නියමවූ කාරියන් කිරීමේ අරමුණින් ඉතාමත්ම නොඉවසිල්ලෙන් පසුවූහ.
ගත වූයේ තවත් අඩ හෝරාවකටත් වඩා අඩු කාලයකි. ඔවුන් සැවොම පුල පුලා බලා සිටි ඒ මොහොත උදා විය. පාසල වෙත සේන්දු වූයේ රථ කිහිපයකි. එයින් එළියට බට පිරිසක් පාසල වෙත පිය නගද්දී ඔවුන් පිළිගැනීමට මල්දම් අතින් ගෙන පෙළගැසීවුන් සිසුවියන් පිරිස , පාසලේ විදුහල්පති තුමා හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා වහ වහා උත්සුක වූහ. පැමිණි අමුත්තන් අතර කිරි කොකුන් මෙන් සැරසුණු නාවික හමුඳා නිලධාරින් කිහිපදෙනෙකු වූ අතර ඔවුන් අතර වූයේ අඩි හයකටත් වඩා උසැති උත්තුංග දේහධාරී පුරැෂයෙකි. මගේ මේ පුංචි සටහනේ කතානායකයා ඔහුවන අතර මේ සිදුවෙමින් පැවති සෑම සිද්ධියකම පිටුපස වූයේද ඔහුයි. එංගලන්තයේ වෙසෙන මා හිතමිත්‍ර අන්ජුල කුමාරගේ නම්වූ ඔහු නොවන්නට මේ කිසිම දෙයක් මේ අයුරින් සිදුනොවන්නට ඉඩ තිබිණි. එය මහා විසල් සත් ක්‍රියාවක ඇරඹුම විය.
පසුගිය දෙසැම්බරයේ 17 වෙනිදා ලංඩනයේ අප පැවැත්වූ ” සුනිල දිය දහරා” සත්සර සැඳෑව පිළිබඳව ඔබට මතක ඇතැයි මම විශ්වාස කරමි. මගේ කතා නායක අන්ජුලගේ මූලිකත්වයෙන් හා අප සංවිධානය වූ ” සොඳුරැ සිතැත්තන්” ගේ අප්‍රමාණ දහිරියෙන් අති සාර්ථකව පැවැත්වූ එම සත්සර දැහැනින් එකතුකර ගත් අරමුඳලේ සිහිනය මෙදින එනම් දුරැතු මාසයේ 28 වෙනිදා පදවියේ බුද්ධංගල මධ්‍යමහා විද්‍යලයේදී සැබෑවක් වෙමින් පැවතිණි.
රජරට වැව් බැඳි රාජ්‍යයේ අනුරාධපුර නඟරයේ සිට කිලෝ මීටර 95 ක් පමණ ඈතින් පිහිටි පදවිය ජනපදයේ බුද්ධංගල ග්‍රාමයේ මෙම මධ්‍ය මහා විද්‍යාලය පිහිටියේය. එදා ඩී එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ ජනපද ව්‍යපෘති යටතේ සංවර්ධනය කළ පදවි වැව , හුරැළු වැව හා පරක්‍රම සමුද්‍ර යන මහා වාරි ව්‍යාපෘති යටතේ පදිංචි කළ ජනපද වාසීන්ට ගොඩින් හා මඩින් ලැබුණු ඉඩම් අශ්වද්දාගෙන විසීම ඔවුනට එතරම් පහසු වූයේ නැත. මුලින්ම ඔවුනට බැට දුන් මැලේරියා වසංගතයෙන් බොහෝ පිරිස් මළහ. සමහරැ ජනපද හැරදමා පලා ගියහ. මරණයට හා එන ඕනෑම උවදුරකට අභීතව මුහුණ දුන් අයෝමය පිරිසක් පමණක් ජනපදයේ ඉතිරි විය. උතුරැ හා නැගෙනහිර පළාත්වලට මායිම්ව පිහිටි ජනපදයක් වූ මගේ මේ ලිපියට පාදක පදවිය ජනපදයට , අසූව දශකයෙන් පසුව එල්ලවූයේ තවත් හෙයියම්මාරැවකි. මායිම් ගම්මාන වලින් සිංහල හා මුස්ලිම් ජනයාව පලවා හැරීමේ සංහාරයට අවතීර්ණ වූ LTTE සංවිධානයේ කොටීන් ගම් වැසියන්ව කිසිදු හිතක් පපුවක් නොමැතිව කැති ගෑහ. වෙඩි තැබූහ. මරා දැමූහ. රාත්‍රී කාලයේ මඳුරැවන් තලමින් හා සතා සිව්පාවාගේ අනේකවිධ ගැහැට විඳිමින් මෙම අභීත වැසියෝ මහ වන මැඳ , දිය අගල් වල හා මඩ වඟුරැවල ලගිමින් රැය පහන් කළහ. ඔවුන් එකා පිට එකා මැරී වැටෙද්දී තම ගම් බිම් හැරදමා පලා නොගියහ. එය අභීතව කොටින් හා යුඳ වැදීවුන් අපගේ නිර්භීත රණවිරැවන්ට ලැබුණු ආශීර්වාදයක් විය. දහිරියක් විය.
2009 වසරේ කොටි උවඳුර නැතිවූ පසුවද දෛවය මෙම ගැමියන් වෙත කාරැනික වූයේ නැත. ඉන්පසුව හිස එසවූ නවතම මාරයා වූයේ වකුගඩු නරක් වීමේ වසංගතයයි. යස අගේට ගස් ගල් මෙන් විසූ ගොවි රජවරැ පරඩැල්සේ දිරා යමින් රෝහල් ඇඳන්මත වේව්ල වෙව්ලා මිය ගියහ. නරක්වූ වකුගඩු පවිත්‍ර කෙරැමට හෝ නිරෝගි වකුගඩු බද්ධ කිරීමට හෝ මේ අසරණයින්ට වත්කමක් නොවුණි. අනුරාධපුර මහ රෝහලේ වකුගඩු රෝගීන් උදෙසාම වාට්ටුවක් පවා ඉදිවුනි.
එදා රජ දවස,ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කරවූ ගොවි රජුන් විසූ මෙම රජරටට පාත්වූයේ කුමන නම් හෙනයක්ද? එදා වෙලාවට හා කලාවට ගොවිතැන් කළ ඔවුහු කිසිදු වසක් විසක් පරිසරයට එක් කළේ නැත. පලිබෝධ නාශක, කෘමි නාශක හෝ රසායනික පොහොර යෙදුවේ නැත. 1977 න් පසුව ඇතිවූ විවෘත ආර්ථිකයේ බලපෑමෙන් , බල්ලො මරා හෝ සල්ලි සෙවීමේ න්‍යාය යටතේ කලට වෙලාවට ගොවිතැන් කිරීමට ගොවියාට කාලය නැති විය. අස්වැන්න නිදහසේ පැසෙන තුරැ බලා සිටිමට ඉවසීම නැතිවිය. කුඹුරට යෙදූ වස විෂ වැවට හා උල්පතටද එක් විය. තමන් බොන ජලයට තම තමන්ම විෂ එක් කරගත්හ. එදා නියං සමයේ වැවක මඩ යට ඉතිරි වූ නෙළුම් අලයක් හෝ මඩ වතුරේ ඉතිරි වූ මඩ කරියෙකු හෝ කා කුස ගිනි නිවාගත් ගැමියාට ඒ වස විෂ එකතු වූ නෙළුම් අල වහ විය. මඩ කරීන් වහ විය. මඩ වතුර පානය කොට ඔවුන් බුරැතු පිටින් මරැට බිලි විය.
මේ ව්‍යසනය උඩු දුවා මහා වසංගතයක් වෙද්දී රට කරන ඇත්තන් ඒ ගැන උනන්දු වූවාදැයි මම නොදනිමි. එසේ ක්‍රමවත් වැඩ පිළිවෙළක් වූවානම් අපට මේ ගැන මෙසේ වෙහෙසීමට සිදු නොවන බව නම් මම හොඳාකාරවම දනිමි. එහෙත් මේ ගැන උනන්දු වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුබ සාධක සංගමයට පිං සිදු වන්නට එහි ඉංජිනේරැ අංශයේ කපිතාන් දිසානායකගේ අධීක්ෂණය යටතේ පානිය ජලය පිරිපහදු ඒකකයක පදවියේ ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබිණි. . ඒ මෙම බුද්ධංගල ග්‍රාමයේ සිට සැතපුම් 6 ක් පමණ දුරිනි. එහෙයින් දිනපතාම ගමේ වැසියන්ට , සැමියන් ගොවිතැනට ගිය පසු විශේෂයෙන්ම ගැමි කාන්තාවන්ට කල ගෙඩිද ඔසවාගෙන මෙම හැතැම්ම 12 ම ගිනි ගහන අව් කාස්ටකයේ දිනපතාම පයින්ම තරණය කිරීමට සිදුවී තිබිණි.
එහෙත් එදා සුනිල දිය දහරා ප්‍රසංගයට සහභාගී වූ පිංවත් ඔබ සැම දුන් ඒ අමිල ආධාරයෙන් අද ඔවුන්ගේ ගමටම පානිය ජලය පිරිපහදු ඒකකයක් ලැබුණු බව ඔබ දන්නවාද? පසුගිය 28 වෙනිදා අන්ජුල කුමාරගේ සොයුරාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පැවරැනේ එම ඒකකයයි. එය ඉඳිවූයේ බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ අප එකතු කර දුන් මුඳලිනි. අද දින ඒ සිසු දරැ දැරියන්, ගමේ ගම් වැසියන් බොන සෑම පිරිසිදු වතුර උඟුරක් පාසාම ඔබ සැම දුන් ආධාරයේ මහිමය තැවරී ඇත්තේය. එහි පින හැමදාම ඔබට ලැබෙන්නේය.
එදා ඉතා උණුසුම් හා හෘදයාංගම අයුරින් සිසුන් හා ගුරැ මංඩලය විසින් පිළිගැනුණු අන්ජුල සොයුරා විසින් ජල පිරිපහදු ඒකකය ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරැව පැවති හමුවේදී පැමිණ සිටි පිරිස අමතා මෙම සත්කාර්‍ය ගැන ඔවුන් දැනුවත් කිරීමටද අමතක කළේ නැත. ඔබ සැම ධාර්මිකව හා ඉතා වෙහෙස මහන්සි වී උපයා සපයා ගත් ධනයෙන් සපයා දුන් මෙම ජල ඒකකයේ වටිනාකමද එය රැක ගැනීමේ වගකීමද අන්ජුල සොයුරා ඉතා මැනවින් ඔවුනට පෙන්වා දී තිබිණි. ඒ අතරේදී පාසලේ බහුතරයක් දරැවන් සිටිනා ඉතාමත්ම දිළිඳු හා අසරණ තත්වය දුටු ඔහුට මෙම ජල පිරිපහදු යන්ත්‍රය පමණක් ප්‍රදානය කොට ආපසු ඒමට නොහැකි බව වැටහී තිබිණි. ඒ ඔහුගේ සංවේදී හදවත ඊට ඉඩනොදුන් නිසාවෙනි. එහිදී ඉන් අනතුරැව පාසලේ ගුරැ මංඩලය සමඟ පැවති සුහද හමුවේදී පාසලට අවශ්‍යම අංගයන් වූ දැනට ඉතාමත්ම අබලන් තත්වයේ පවතින පාසල් තූර්‍ය වාදක කණ්ඩායමේ නිල ඇඳුම සහ ඉතා දිළිඳුබවේ ආගාධයේ ගිලී සිටින දක්ෂ ළමුන් පිරිසකගේ ඉගෙනීමට උදව් යන අවශ්‍යතාවයන් ගැන ඔහුට දැනගන්නට ලැබිණි. එමෙන්ම බහුතරයක් සිසුන් පාසලට පැමිණෙන පාපැදි ගාල් කිරීමට හරි හමන් මඩුවක් නැති බැව්ද ඔහුට පෙනී ගොස් තිබිණි. තවද පාසලට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ සහ රැස්වීම් පැවැත්වීමේදී අවශ්‍යවන මයික්‍රෆෝනයක් සහ ඇම්ප්ලිෆයරයක් වැනි සංනිවේදන කට්ටලයක අවශ්‍යතාවයද මතුවී තිබෙන බව පෙනුණි. ඒ සෑම අවශ්‍යතාවයක්ම වහාම සපයා දීමට ක්‍රියාත්මක වන බවට අන්ජුල සොයුරා විසින් ඔවුනට සපථ වූයේ ඔබ සැම අප වෙත දැනටමත් දක්වා තිබෙන ත්‍යාගශීලීභාවය ගැන ඔහු තබා ඇති විශ්වාසය නිසාය.
මේ පුංචි ආරම්භයක් පමණි. අප සැම එක්වූ විට මේ සෑම සත්ක්‍රියාවක්ම ඉතාමත්ම පහසුවෙන් අපට ක්‍රියාත්මක කරගත හැකිවනු ඇත. අවශ්‍ය වන්නේ යහපත් හදවතත් උවමනාවත් පමණි. අප සැමටම උපන් බිමට ණය නැත්තන්සේ දිනෙක මියයා හැකිය.
එමෙන්ම මෙම සත්ක්‍රියාව මේ අයුරින් ඉතාමත්ම සාර්ථකව කර ගැනීමට අපට ශක්තියක් වූ පුද්ගලිකවම පවුම් 2000 ක මුදලක් ප්‍රදානය කළ අප හිතාදර දොස්තර කෝසලා හපන්ගම මහත්මිය ඇතුළු නන් අයුරින් අපට මෙම අරමුඳල සොයාගැනීමට සහය වූ රටවල් 10 ක වෙසෙන පවුල් 100 කට අධික වූ අප හෘදයාංගම මිතුරැ මිතුරියන් කැලටද සොඳුරැ සිතැත්තෝ වෙනුවෙන් අපගේ හෘදයාංගම කෘතඥතාවය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එපමණක් නොව දොස්තර හර්ෂ ජයමාන්න සහ ඕස්ට්‍රේලියාවේ සිට මේ සඳහාම එංගලන්තයට පැමිණි දොස්තර ඉරැක කුමාරගේ ඇතුළු එදා සුනිල දිය දහරා සත්සර සැඳෑව රස ගැන්වූ වාද්‍ය වෘන්දයටද අපගේ හද පිරි භක්ති ප්‍රණාමය මෙසේ පුදකර සිටිමු.
සියලු කටයුතු ඉතා සාර්ථකව අවසන් කොට තම පුතු සහ මිතුරන් කැටිව ආපසු කොළඹ ඒමට රථවලට නැගුණු අන්ජුල සොයුරා මට දුරකථනයෙන් අමතා මෙසේ පැවසීය. ” මචං අපි දුන්න මේ ජල සම්පත දැකල මේ අහිංසක මිනිස්සුන්ගෙ මුහුණු වල පැතිරෙච්ච හිනාව අපේ මේ වැඩේට උදව් කරපු හැමෝටම පෙන්වන්න ඇත්නම්. මගේ හිත සංතෝසෙන් පිරිල මචං.”
මේ ලිපිය කියවූ පසු ඔබ සැමටත් මෙලෙසම සිතෙන බව මම දනිමි.

 

About The Author

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Get an awesome sticky message bar!Download