අමරදේවයන් වෙනුවෙන් ලන්ඩනයේදී පින්කමක්.

11 Nov, 2016 @ 07:00PM | Organized by
Date & Time
11 Nov, 2016 @ 07:00PM
Venue
London Buddhist Vihara, Dharmapala Building The Avenue Chiswick, London, W4 1UD
අභාවප්‍රාප්ත ආචාර්ය, පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් සිහිපත්කොට එතුමන්ට පින් පතා පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලාංකේය සංගීත ක්ෂේත්‍රයට, ගීත කලාවට අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටුකළ හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ එතුමන්ගේ සම්භාව්‍ය ගීත නිරන්තරයෙන් ශ්‍රවනය කරමින් විදෙස් රටවල ජීවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස නිරායාසයෙන්ම ඇතිවන සාංකාව මගහරවාගන්නා බොහෝ ශ්‍රාවක සමුහයකගේ ඉල්ලීම සලකා බලා මෙම පිංකම විහාරස්ථානයේ දෛනික වැඩකටයුතු අතර ඉඩ ලද පළමුවන අවස්තාව වන ලබන 11 වන සිකුරාදා සවස 7ට පැවැත්වීමට අවකාශය ලබාදුන් බව ලන්ඩන් විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.


විදෙස් රටවල ජීවත්වන බොහෝ ශ්‍රී ලාංකිකයින් අමරදේවයන් ඇතුළු සම්භාව්‍ය සංගීත ශිල්පීන්ගේ ගීත නිරන්තරයෙන් ශ්‍රවනය කරනු ලබයි. ඒතුළින් ඔවුන් ලබාගන්නේ අසාමාන්‍ය උද්දාමයකි. සතුටකි. සන්තර්පණයකි. මේ ගීත අතර අනිවාර්යයෙන්ම මුලටම ඇත්තේ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත ගොන්නයි. අමරදේවයන්ගේ සුමට ගායනා යනු මේ සියලුමදෙනාගේ තනිකම මකාදමමින් සිත් සතන් සනසන දිව්‍යමය පවන් පොදකි. මේ සියලුම දෙනා සදාතනිකවම අමරදේවයන්ගේ ආකර්ශනීය හඬට සහ එතුමන් අතින් සිදුවුන සේවාවට අප්‍රමාණව ඇලුම් කරනුයේ එබැවිනි.


1981 දී ප්‍රථම වතාවට ලන්ඩන් නුවරදී සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා අමරදේවයන් හට ආරාධනා කලේ එක්සත් රාජධානියේ සිංහල සංගමය මඟිනුයි. සිංහල අවුරුදු උත්සවය අංගයක් ලෙස "අමර ගී රස" නමින් පැවැත්වුන එම ප්‍රසංගය සඳහා එතුමා සමඟ විමලා අමරදේව, රංජන අමරදේව, විජයරත්න රණතුංග, රෝහණ වීරසිංහ, සහ ඩී.ඩී.ගුණසේන ලන්ඩන් නුවරට පැමිණියහ. ඉතාම ජනප්‍රියත්වයට පත්වූ එම ප්‍රසංගයෙන් පසුව අමරදේවයන් විවිධ සංවිධාන මඟින් ලන්ඩන් නුවරට බොහෝ වාරයක් ගෙන්වනු ලැබිය. එම ප්‍රසංග සියල්ලගෙන්ම ලද ලාභ මුදල් වැයකරන ලද්දේ එම සංවිධාන මඟින් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ විවිධ සමාජ සුභ සාධක කටයුතු වෙනුවෙනි.


මේ හැම ප්‍රසන්ගයක්ම අද්විතීය විය. අද ශෝකීභාවයට පත්ව ඉන්නේ ඒ ප්‍රසංග සියල්ලටම සහභාගිවූ දහසකුත් රසික පිරිසය.11 වන සිකුරාදා සවස 7 ට ලන්ඩන් බෞද්ධ විහාරස්තානයට පැමිණ අමරදේවයන්ගේ ගුණ සිහිපත්කර එතුමන්හට පින් පැමිණවීම සඳහා එකතු වන මෙන් සියලුම දෙනාට ගෞරවයෙන් ආරාධනා කරන බව සංවිධායකයින් පවසති.


SRI LANKAN Events Calendar UK & Online Tickets - www.apisrilankan.com/events / www.apisrilankan.com/tickets