මහරජ ගැමුණු හා එක්වූ අපේකම

Ziggy | 18 May, 2015 07:05PM | Leave a comment
https://www.youtube.com/watch?v=xTNaA-c4KiU පුරාණයේ අපගේ ශ්‍රී ලංකාද්වීපයේ රජකම් කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු වූ දුටු ගැමුණු මහා රජතුමා පිළිබඳ මුලින්ම මා දැනගත්තේ අප කුඩා අවධියේ කියැවූ පාසලේ සිංහල පොතිනි. එහි තිබූ ඒකතාව අපේ කුඩා සිත් තදින්ම පැහැරගැනීමට සමත්වුණි.

දිනක් ගැමුණු කුමරැගේ මව් බිසව වූ විහාර මහා දේවිය සිරියහන් ගබඩාවට ඇතුළුවන විට එහි විසල් සයනයේ මුල්ලක වකුටුවී නිදාහුන් ගැමුණු කුමරා දැක මෙතරම් විශාල සයනයේ මුල්ලක මෙසේ නිදන්නේ මන්දැයි විචාළාය. එයට ගැමුණු කුමරා දුන් පිළිතුර වූයේ එක් පසෙකින් ගොළු මුහුද හා අනෙක් පසින් ආගම හා ජාතිය විනාශකරන සතුරැ ආක්‍රමණික සේනා. ඉතිං මෑණියනී කෙසේ නම් මා අතපය දිගහැර නිදහසේ නිදාගන්නෙම්ද යන්නයි. මේ වදන් අපගේ කුඩා සිත්වලට කැවුවේ එඩියකි. රට දැය ගැන ආඩම්බරයකි.

කුඩාකල සිටම එඩිතරව රට දැය ගැන කැක්කුමක් තිබූ ගැමුණු කුමරා පසුපස විහාර මහා දේවිය සිටියත් පියාණන්වූ කාවන්තිස්ස රජතුමා නොසිටියේය. තම පියාගේ දුර්වල පාලනය ගැන කලකිරැනු ගැමුණු කුමරා එතුමාට කාන්තාවන්ගේ ඇඳුම් පවා යැවූ බව ඉතිහාසයේ කියැවේ.

එහෙත් අපගේ අවාසනාවකට එවකට සිටි දේශපාලුවන් විසින් ඉතිහාසය හා භූගෝලය , විෂය පද්ධතියෙන් අතුගාදමා කොහෙටත් නැති සමාජ අධ්‍යනය නම්වූ සීනිබෝල විෂයක් හදුන්වාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපගේ ඉතිහාසය හා ජාතික වීරයන් පිළිබඳ අධ්‍යනය දෙකේ පංතියෙන්ම ඇන හිටිනි.

ඉන්පසුව කුඩා කල පටන්ම අනුරාධපුරයේ රැවන්වැලිසෑ රජුන් වැඳපුදා ගන්නා සෑම මොහොතකම නම් දුටු ගැමුණු රජතුමාව නැවත සිහිවුණි.

සෑමළුවේ බුදුගෙයට යාමට කුඩා අප බොහෝ සේ ප්‍රිය කළෙමු. ඒ බූදුගෙය තුළ අඹා තිබූ දුටුගැමුණු හා එළාර යන නරපතීහූ ඔවුනගේ ද්වන්ද සටනට එළැඹෙන මොහොත පිළිඹිබු කරන්නාවූ ප්‍රතිමා නැරඹීමටයි. මට මේවා කොතෙක් බැලුවත් එපා නොවුණි.

බුදුගෙය තුළ වම් පසින් කඩොල් ඇතූ මත තේජාන්විතව රැවන්වැලිසෑයේ අනුරැවක් අතින්ගත් දුටුගැමුණු රජතුමා නන්දිමිත්‍ර, වේළුසුමන, ථේරපුත්තාභය,ඵුස්සදේව ආදීවූ දස මහා යෝධයන් ප්‍රමුඛ සේනාව පිරිවරා වැජබුණු අතර දකුණු පසින් තම ඇතුපිට නැගුණු එළාර රජතුමා තමන්ගේ සේනාවෝ පිරිවරා ගෙන වැජඹුණි. දකුණු ඉන්දියාවෙන් පැමිණි මෙම සංක්‍රමණික හමුදාවේ සෙබළුන්ගේ කලු පැහැ ශරීර වර්ණ පිළිඹිබු කර තිබුණේ නිල් පැහැ ඔවුනගේ ඇඟේ ආලේප කිරීමෙනි.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට රට දැය රැක ගත් ශේෂ්ඨ ලංකා පුත්‍රයෙකු වූ දුටු ගැමුණු රජතුමා මෙන්ම එළාර රජුද යුක්තිගරැක රජතුමෙකු බැව් ඉතිහාසයේ කියැවේ. වරක් එළාර රජුගේ පුත්‍රයා පැදවූ රථයට යටවී රට වැසියෙකු මළේය.

මේ නඩුව විභාග කළ රජතුමා ඒ මරණය තම පුතුගේ වරදින් සිදුවූ බව දැන තම පුතුවද එම රථයටම යටකොට මැරීමට අණදීමට තරම් යුක්තිගරැක විය.

තම සතුරා වුවත් දුටුගැමුණු රජතුමා එළාර රජු ආදාහනය කොට ' එළාර සොහොන' නමින් ස්තූපයක් පවා ගොඩනැගුවේ මේ ශ්‍රේෂ්ඨත්වයට ගරැ කිරීමක් වශයෙනි.

පොත පතින් කියවා කණින් කොනින් අසා හා දැක තිබූ සෑම රටවැසියෙකුම දැනගතයුතු වූ මෙම ශ්‍රේෂ්ඨ පුරාවෘතය සිනමා පටයක් ලෙස එළිදැක්වීමට මුලින්ම කටයුතු සම්පාදනය වූයේ මට මතක හැටියට හැත්තෑව දශකයේ අග භාගයේදී පමණය. රෑපවාහිනී නොතිබූ එවකට තිබූ එකම දෘශ්‍ය මාධ්‍ය වූයේ සිනමාවයි.

එළාර දුටු ගැමුණු වෘත්තාන්තය පාදක කොට නිෂ්පාදනයවූ මෙම සිනමාපටය ගැන පෙර ප්‍රාචාරක දැන්වීම් පවා ගුවන්විදුලියේ ප්‍රචාරය වූ බැව් මට මතකය.

එහෙත් සැබෑ නළු නිළියන් යොදා නොගෙන කාටුන් මාර්ගයෙන් නිෂ්පාදිතවූ මෙම සිනමා පටය, දුටු ගැමුණු රජතුමාට කරන අගෞරවයක් සේ සැලකූ එවකට බලයේ උන් රජය මෙය මහජන ප්‍රදර්ශනයෙන් තහනම් කෙරැනේ ඒ සඳහා දත කට මැදගෙන පුල පුලා බලා උන් මා ඇතුළු සුවහසක් රසික රසිකාවියන්ගේ බලාපොරොත්තු සුන් කරමිනි.

ඉන්පසුව සන්ෆලවර්ස් සංගීත කණ්ඩායමේ නෙල්සන් වාස් ගායකයාණන් විසින් දුටු ගැමුණු එළාර වෘතාන්තය පාදක කොට දේශපාලකයින් අවක්ඥාවට ලක්කරමින් අපූරැ ගීතයක් නිර්මාණය කළත් තරැණ පරපුරට මේ පිළිබඳ හොඳ අවබොධයක් දෙන නිර්මාණයක් බිහි නොවුණි.

එවකට රටේ තිබූ යුද කෝලාහල වැනි අවාසනාවන්ත තත්වයන් මෙවැනි නිර්මාණයක් සෑදීමේ කටයුත්ත තව තවත් කල් දැමිණි.

එහෙත් මෙවැනි වකවානුවක මඩේ ඉපදී දියෙන් උඩට මතුවන සුන්දර අරවින්දයක්සේ පහළවූ තරැණ නාට්‍යකරැවෙකි.

අසූවේ කනාඩායම නම්වූ එතුමාගේ කල්ලියේ උන්නේ එසේ මෙසේ නළුවන් නොවේ. ජැක්සන් ඇන්තනී , කමල් අද්දරආරච්චි හා ශ්‍රියන්ත මෙන්ඩිස් ඒ පතාක යෝධයන්ගෙන් තිදෙනෙකි.

මේ අධ්‍යක්ෂක තූමා වෙන කවුරැවත් නොව ජාතියේ පිනට උපන් ජයන්ත චන්ද්‍රසිරි නම් වන්නේය.

කතාකරනවිට පැය ගණනක් වුවත් අසා සිටිය හැකි සිත්ගන්නා සුළු වාග් විලාසයකින් හා ඉතා කඩිසර කාර්‍යශූරබවකින් යුතු එතුමා මුලින්ම කරළියට ආවේ වේදිකා නාට්‍යයෙනි.

ඉන්පසු රසික හදවත් වශී කළ ටෙලි නාට්‍ය නිපදවා රෑපවාහිනිය දිග්විජය කළේය. ජනතාවට නරඹා ඊළග නිමේෂයේ අමතක කරදැමීමට නොව යළි සිත සිතා විඳිය හැකි මහා ටෙලි නාට්‍යයන්වූ වෙඳ හාමිනේ සහ දඬුබස්නාමාණය එතුමා දැයට දායාද කළේය.

එතැනින් නොනැවතුණු එතුමා අපගේ වාසනාවට හැත්තෑවේ හා අසූවේ දශකයන්ගෙන් පසුව වල්වැදී තිබූණු සිංහල සිනමාව නම්වූ පුරංව තිබූ කෙත අශ්වද්දන්නටද පෙරමුණ ගත්තේය.

ඒ 2002 වසරේ අග්නිදාහය නම්වූ විශිෂ්ට සිනමා කෘතිය අපට දායාද කරමිනි.

ඉන්පසු පිළිවෙලින් ගරිල්ල් මාකටින් හා ජනතා ආදරයට මහා ඉහළින් පාත්‍රවූ සමනලසංධ්වනිය දැයට තිළිණ කළේය.

එතුමා අතගැසූ නවතම සිනමා අභියෝගය වූයේ මෙම ලිපියේ ප්‍රධාන තේමාව වූ දුටුගැමුණු එළාර වෘතාන්තය පාදක කොටගත් ඒ ඓතිහාසික පුරාවතින් නිමවූ දෑවැන්ත සිනමා පෙළහර වූ මහරජ ගැමුණු නිර්මාණය කිරීමයි.

ඉන්දියානු සිනමාවට ඇබ්බැහී සිටින වර්තමාන ලාංකික බහුතරයක් රසික කැල හමුවේ මේසා විශාල සිනමා කර්තව්‍යකට මුදල් වියදම් කරන්නට අයෙකු සොයා ගැනීම චන්ද්‍රසිරියන්ට පැන නැගුණු ඊළඟ අභියෝගය විය.

එවන් කෙනෙකු හමුවන තුරැ තම සිනමා සංකල්පය ග්‍රන්ථාරෑඩ කළ ජයන්තයෝ එය ලංකාව පුරා ප්‍රචලිත කළ අතර ජනතාව එය බොහෝ ආදරයෙන් වැළඳ ගත්හ.

මෙහිදී අපගේ වාසනාවට චිත්‍රපටය නිෂ්පාදනයට බරපැන දැරීමට නියම ලාංකික පුත්‍රයකු ඉදිරිපත් විය.

තම ගේ දොර පවා විකුණා මේ විසල් සිනමා සිත්තම ජනතාව අතරට පත් කිරීමේ ජාතික මෙහෙවරට උරදුන්නේ වෙන කවුරැවත් නොව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්‍ය ගුණපාල රත්නසේකරයන්ය. එතුමා නොවන්නට ජයන්ත චන්ද්‍රසිරියන්ගේ මේ සිනමාපටය සිහිනයක්ම වන්නට ඉඩ තිබිණි. එතුමාට අපගේ ආචාරය පුද කරමු.

මෙහි අප කවුරැත් දන්නා ජැක්සන් ඇන්තනී,ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායකවන අතර ටෙලි නාට්‍ය හරහා තමන්ට ලැබෙන ඕනෑම වරිතයකට පණ දෙමින් ජනතාවගේ හදවත සොරාගත් හා ජයන්ත චන්ද්‍රසිරියන්ගේම සමනලසංධ්වනියේ සංගීතවේදියෙකුගේ ඒ අද්විතීය රංගනය මැනවින්ම ඉටු කළ නව පරපුරේ තරැණ නළුවකු වන උද්ධික ප්‍රේමරත්නයන්ද දුටුගැමුණු රජතුමාගේ චරිතයට පණ පොවයි.

සංගීතය නව පරපුරේ විප්ලවීය සංගීතවේදී නදීක ගුරැගේ සහෝදරයා ගෙනි.

මෙම දැවැන්ත සිනමාපටය මම තවම නරඹා නැති නිසා ඒ පිළිබඳව පසුවට ලිවීමට බලාපොරොතුවන අතරම ලංඩනයේ වෙසෙන ශ්‍රි ලාංකික අපට මෙම චිත්‍ර පටය මැයි මස 31 වෙනිදා සියැසින්ම නැරඹීමට අවස්ථාව උදාවී ඇති බවද සඳහන් කරන්නේ ඉතාමත්ම සතුටිනි.

කුඩාකල සිටම චිත්‍රපට පිස්සන්වූ මා වැනිම එංගලන්තයේ වෙසෙන බොහෝ රසික රසිකාවින්ගේ මනදොළ පිරවීමට පෙරමුණ ගත් සංවිධානයක් මේ සඳහා දායක වී සිටී. මීට මාස කිහිපයකට පෙර ජයන්ත චන්ද්‍රසිරියන්ගේම සිනමා සිත්තමක්වූ සමනලසංධ්වනියද ලංඩනයට ගෙනආවේ ඔවුන්ය. එදා ඒ දර්ශනයට සහභාගීවීම සඳහා එහි ප්‍රධාන නිළිය වූ යශෝධා විමලධර්ම පවා ලංකාවේ සිට විශේෂයෙන්ම ගෙන්වාගෙන තිබිණි.

මේ රසික සිත් සතන් පිනවීමේ සමාජ සත්කාරයට මූලිකව ක්‍රියාකරන්නේ වෙන කවුරැවත් නොව එංගලන්තයේ ක්‍රියාත්මක ශ්‍රි ලාංකීය මාධ්‍ය ජාලයක් වූ My Vision Network ආයතනට අනුබද්ධිත ' අපේකම' සංවිධානයයි.

'අපේකම' නිර්මාතෘකාවිය මහේෂි කෝකිලා මහත්මිය සමඟ දොඩමළු වීමට මට ඊයේ අවස්ථාව උදාවිය.

ලංකාවේ යුද්ධය පැවති කාලයේ පවා ගුවන්විදුලි නාලිකාවක නිවේදිකාවක් ලෙස කටයුතු කළ එතුමිය ' කැලේ මාරැ වුණාට කොටියගෙ පුල්ලී මාරැ වෙන්නෑ' යැයි කියමන සනාථ කරමින් එංගලන්තයට පැමිණි පසුද තමන් උගත් , මනා පළපුරැද්දක් හා දක්ෂතාවයක් ඇති මාධ්‍ය තුළින් විසල් චාරිකාවක නිරතවෙමින් ලංඩනයේ වෙසෙන විවිධ දක්ෂතාවන්ගෙන් යුතු ශ්‍රි ලාංකිකයනට වේදිකාවක් සැකසීමට පෙරමුණ ගෙන සිටින්නීය.

එතුමිය නමින්ම කියැවන්නා සේ අපේකම ආරක්ෂා කොට ගතින් එංගලන්තයේ සිටියත් සිතින් ලංකාවේ ජීවත්වන අපට අපේකම සංවිධානයෙන් අපේකමට තෝතැන්නක් තනාදීමට වෙහෙසෙන්නීය.

අපේ දුවාදරැවන්ට අපේකම පිළිබඳ අවබෝධයක් ලැබෙන වැඩපිළිවෙළක් හා ඉදිරියේදී ලංකාවේ නැති බැරි අසරණවූ ජනතාවට සෙත සැලසීම උදෙසා සුබ සරණ සේවාවක්ද ඇරඹීමට බලාපොරොත්තු වන බව එතුමිය වැඩිදුරටත් මා සමඟ පැවසුවාය.
අවසාන වශයෙන් දුටු ගැමුණු රජතුමාගේ භූමිකාව රඟන නව පරපුරේ සම්මානණීය නලු උද්ධික ප්‍රේමරත්නද සමගින් 31 වෙනිදා දහවල් 1:30 ට ලංඩනයේ සෆාරි සිනමා ශාලාවේදී මහරජ ගැමුණු නැරඹීමට පැමිණෙන මෙන් සහෘද ඔබ සැමටම ඇරයුම් කරමින් මා ඔබෙන් සමු ගනිමි.

සටහන - චන්දන ගුණසේකර