මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමින් සමාජ සත්කාර රැසක්

tmadawela | 23 Dec, 2016 12:55AM | Leave a comment
ප්රංශයේ ප්රධාන අධිකරණ සංඝනායක පූජ්ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ මැදිහත්වීමෙන් මිද්දෙනිය මුරුංගාගස්යාය ප්රදේශයේ දිළිඳු පවුල් දෙකක් සඳහා අංග සම්පූර්ණ නව නිවාස තනවා පරිත්යාග කිරීම 2016. දෙසැම්බර් මස 10 වන දින සිදු කෙරිණි.

මිද්දෙනිය, මුරුංගාගස්යාය, රුක්අත්තනගහ වත්තේ පදිංචි දෙදරු මවක් වන ඩබ්.ප්රේමලතා මහත්මියගේ නිවස ඉතා අබලන් තත්වයේ පැවතීම හේතුවෙන් ඇයට නව නිවසක් තනා දීමට ඤාණිස්සර නාහිමියන්ගේ මග පෙන්වීම යටතේ ප්රංශයේ පදිංචි ශ්රීලාල් ෆොන්සේකා මහතා සහ ශ්රීමතී ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් වූහ. ඒ අනුව එම යුවලගේ ධන පරිත්යාගයෙන් ඉදිකළ නව නිවස, හදිසි අනතුරකින් මියගිය තම පුතණුවන් වන ශ්රීමාල් ෆොන්සේකා මහතාට පිං පිණිස ප්රේමලතා මහත්මිය හා දරු දෙපළ වෙත පරිත්යාග කරන ලදී.

මිද්දෙණිය මැදගෙදර පදිංචි රෝගී තත්වයෙන් පසුවන ඩබ්ලිව්. ඒ. කේ. ජයසිංහ මහතාගේ නිවස ද තවදුරටත් ප්රයෝජනයට ගත නොහැකි මට්ටමේ තිබීම හේතුවෙන් එම පවුල වෙත නව නිවසක් තනවා පරිත්යාග කිරීම ප්රංශයේ ප්රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ධන පරිත්යාගයෙන් සිදු කෙරිණ.

මුරුංගාගස්යාය හා ඒ අවට පදිංචි විවිධ අවශ්යතාවයන් සහිත වැඩිහිටි මව් පියවරුන් ඇතුලු පවුල් 100 ක් වෙත මූල්යමය පරිත්යාග සිදුකිරීම හා වියලි ආහාරද්රව්ය පරිත්යාග කිරීම ද පාසල් සිසුන් 25 දෙනෙකු වෙත ශිෂ්යාධාර මුදල් හා පාසල් උපකරණ පරිත්යාග කිරීම ද නාහිමියන් විසින් එදිනම සිදු කරන ලදී.

මීට සමගාමීව, පසුගිය යුධ සමයේ දී පාදයක් අහිමිව ආබාධිත තත්වයට පත් මිද්දෙනිය ප්රදේශයේ පදිංචි රණවිරුවකු වෙත කෘත්රිම පාදයක් පරිත්යාග කිරීම ද ඤාණිස්සර නාහිමියන්ගේ ධන පරිත්යාගයෙන් සිදු කෙරිණි.

එමෙන්ම රෝගීන් සඳහා එදින දිවා ආහාරය ලබාදීම, ඖෂධ මිලදී ගැනීම සඳහා මූල්ය ආධාර ලබාදීම සහ රෝද පුටුවක් පිරිනැමීම නාහිමියන් විසින්ම මිද්දෙනිය ග්රාමීය රෝහල් පරිශ්රයේ තම වියදමින් ඉදිකරවා,පසුගිය ජුනි මස පරිත්යාග කරන ලද රණවිරු වීරක්කොඩි වාට්ටු සංකීර්ණයේ දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවන්ට ප්රංශයේ ප්රධාන අධිකරණ සංඝනායක පුජ්ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් සමග බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ හිටපු කුලපති පූජ්ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමි, මැදගම චන්දාලෝක හිමි, හිටපු කථිකාචාර්ය වීරපාන ජිනරතන හිමි, ඉත්තදෙමලියේ ධම්මසිරි හිමි, ඤාණිස්සර නාහිමි පදනමේ ලේකම් කිරින්දේ පේමසිරි හිමියන් සහ කොළඹ විද්යෝදය පිරිවෙනේ ආචාර්ය මුලනේ ගුණානන්ද හිමියන් ඇතුලු මහා සංඝරත්නය, ශ්රීමාල් ෆොන්සේකා, ශ්රීමතී ෆොන්සේකා, වෛද්ය ඩබ්.එම්.එල්.එන්.විජේසිංහ, ඉංජිනේරු කේ.ප්රේමකුමාර, ධර්ම ශ්රී තිලකවර්ධන, ඩබ්.ඒ.එස්. ගුණතිලක, රණවීර වීරක්කොඩි යන මහත්ම මහත්මීන් ඇතුලු ප්රදේශවාසී විශාල පිරිසක් සහභාගි වූහ.