ටැන්සානියාවේ පන්සලට නව සංඝාරාමයක් - පුජාකලේ යාපනයේ තන්ගවෙලු නල්ලවන් වල්ලි විසිනි

tmadawela | 20 Aug, 2016 11:23PM | Leave a comment
ඇෆ්රිකා මහාද්වීපයේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිවූ මුල්ම රට ටැන්සානියාවයි. ශ්‍රී ලංකාවේ සිට එහි රැකියා සඳහා ගිය බෞද්ධ පිරිස් විසින් දරිස් සලාම් අගනුවර පිහිටුවාගත් සිංහල බෞද්ධ සංගමය මඟින් එහි මුල්ම විහාරස්ථානය පිහිටුවනු ලැබුවේ 1915 දිය.

මෙම අනුපමේය ශාසනික ක්‍රියාව සඳහා මුලිකත්වය ගෙන කටයුතුකලේ එච්.ජී. ගුණපාල මහත්මා විසිනි. ඔහු විහාරස්ථානය සඳහා අගනුවර මධ්‍යයේ පිහිටි අක්කර හතරක අගනා ඉඩමක් රජයේ අධාරයෙන් ලබාගෙන විහාරස්ථානය ආරම්භකලේය. මුලදී දායකයින් වශයෙන් ශ්‍රී ලාංකිකයින් පමණක් සහභාගී වුවද කල්යත්ම අන් ජාතික සැදැහවතුන්ගේද ආකර්ෂණය මෙම නව විහාරස්ථානය වෙත ඇදගැනීමට සිංහල බෞද්ධ සංගමයට හැකිවිය.

1920 වර්ශයෙදීම අනුරාධපුර ජය ශ්රී මහා බෝධි ශාඛාවක් ගෙනවිත් එම භුමියේ රෝපණය කරනු ලැබිය. එය අද වනවිට අඩි 45 ක පමණ වටප්රමානයකින් යුතුව ඉතා සරුවට වැඩි ඇත. මෙම බෝධීන් වහන්සේගේ ශාඛා දැනට ටැන්සානියාවේ ජාතික උද්භිද උධ්යානයේද බුටියමා, මොරෝගොරෝ යන නඟරවලද අප්‍රිකාවේ දකුණු අප්‍රිකාව, කෙන්යාව, මලාවි, කොන්ගෝ සහ බොට්ස්වානා යන රටවලද රෝපණය කර ඇත.

විහාරස්ථානය සඳහා භික්ෂුන් වහන්සේ නමක් ලෙස මුල් වරට වැඩම කලේ පුජ්‍ය පැලැනේ නාරද හිමියන්ය. 1962 දී ටැන්සානියා බෞද්ධ විහාරස්තානයට වැඩම කල උන්වහන්සේ විහාරස්ථානයේ දහම් පාසලක් ආරම්භකොට ශ්‍රී ලාංකික මෙන්ම විහාරස්ථානය අවට ජීවත්වූ අනෙකුත් දරුවන් හටද බුදුදහම පිලිබඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා කටයුතු කළහ.

මෙම පන්සලේ විහාර මන්දිරයක් සහිත ස්ථිර ගොඩනැඟිල්ලක් ඉදිකෙරුනේ 1927 දිය.1956 දී චෛත්තිය ඉදි කරනු ලැබිය. මෙම වැඩකටයුතු සඳහා ශ්‍රී ලාංකික බෞද්ධයන් මෙන්ම ටැන්සානියාවේ රැකියා වල නියුතු සිංහල ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු බතිමතුන්ගේද ආධාර උපකාර නොමඳව ලැබී ඇත.

1983 වසරෙදී භික්ෂුන් වහන්සේලා සදහා සංඝාරාමයක් ආරම්භ කල නමුත් එහි ගොඩනැඟිලි කටයුතු කලහැකිවුයේ අඩකටත් අඩු ප්‍රමාණයකි. මේවනතෙක් භික්ෂුන් වහන්සේලා එහි වැඩ සිටියේ එලෙසින් අඩක් නිමවූ සංඝා වාසයේය.

මෙම වසරේදී සංඝාරාමයේ වැඩ කටයුතු සම්පුර්ණ කරගැනීමට හැකිවී ඇත. මෙම පන්සලේ පැවති එම අඩුපාඩුව ගැන කල්පනා කර මෙම උතුම් පුණ්‍ය ක්‍රියාව ඉටුකර ගැනීම සඳහා සම්පුර්ණ බැතිබර දායකත්වය ලබාදෙන ලද්දේ ශ්රී ලංකාවේ සිට ටැන්සානියාවට ගොස් දැනට වසර 17 ක පමණ කාලයක් මුළුල්ලේ ව්යාපාරික කටයුතු කරනු ලබන පින්වත් ශ්රද්ධාවන්ත තන්ගවේලු නල්ලවන් වල්ලි මහත්මා විසිනි. 2007පෙබරවාරි 26 දින යාපනේදී මිය ගිය තම දයාබර පියතුමන් වන නල්ලවන් වල්ලි මැතිතුමන්ට පින් අනුමෝදන් කිරීම සදහා නල්ලවන් වල්ලි මහතා විසින් එම සංඝාරාමයේ උඩ කොටස සම්පුර්ණයෙන්ම ඉදිකොට අඩක් නිමකොට තිබු කොටසද සම්පුර්ණයෙන්ම අලුත් වැඩියා කොට අංග සම්පුර්ණ දර්ශනීය සංඝාරාමයක් ඉතාමත් කෙටි කලකදී සාදා බුද්ධ සාසනයට පසු ගිය අගෝස්තු 6 වන දින පූජා කරනු ලැබිය.

එම පුජාව සියලුම මහා සංඝ රත්නය වෙනුවෙන් ඇෆ්රිකා මහාද්වීපයේ ප්රධාන සංඝ නායක පුජ්ය ඉලුක්පිටියේ පඤ්ඤාශේඛර නාහිමියන් සහ විහාරවාසී ඊරියගොල්ලේ පඤ්ඤාරන්සි හිමියන් විසින් බාර ගත්හ.

මෙම පුණ්ය මහෝත්වයේ ප්රධාන අමුත්තා වුයේ ශ්රී ලංකා රජයේ සංචාරක, ඉඩම් හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්ය ජෝන් අමරතුංග මැති තුමන්ය.

මෙම අවස්ථාවට ටැන්සානියාවේ ජිවත්වන ශ්රී ලාංකීයයින් පමණක් නොව වෙනත් ජාතිකයින් විශාල පිරිසක්ද සහභාගී වූ අතර ටැන්සානියානු රජයේ නියෝජිතයන් සහ තානාපතිවරුන්ද පැමිණියහ. බෞද්ධ මෙන්ම වෙනත් ආගමික පුජක වරුන්ද එහිදී විහාරස්ථානයේ ඉදිරි වැඩකටයුතු සඳහා ආශීර්වාද කළහ.