ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අවුරුදු උත්සවය

tmadawela | 26 Apr, 2017 09:48PM | Leave a comment
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂිකව ප්‍රංශයේ පවත්වන බක් මහ උළෙල පසුගිය 23 වන ඉරුදින ලා බෝශේ නගරයේ නගර සභාවට අයත් පෝල් සයිමන් ශාලාවේදී පවත්වන ලදී. උත්සවය සඳහා වැඩම කල ගරුතර මහා සංඝයා වහන්සේලාගේ ආශීර්වාදය මත උදෑසන 9 ට ආරම්භ කෙරුන බක් මහ උළෙල දවස පුරාවටම පැවැත්වුනි. මෙවර අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ ප්‍රංශයේ ගරු ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතාය. එදින ල බෝශේ නගර සභාවේ නගරාධිපති තුමන්ද විශේෂ ආරාධනාවකින් උත්සවය සඳහා සහභාගී විය.

 

කිරි ඉතිරවීම, හිසතෙල් ගෑම ඇතුළු සිංහල අලුත් අවුරුදු චාරිත්ර පැවැත්වීමෙන් අනතුරුව සම්ප්‍රදායික ක්‍රීඩා තරඟ පැවැත්වුනි. අවුරුදු ක්‍රීඩා තරඟ 20 ක් මෙවර පැවැත්වීමට හැකිවීම විශේෂත්වක් විය. බක් මහ උළෙල අවසන් වීමට පෙරාතුව චාල්ස් ඇන්තනි සහෝදර තුමන් විසින් විශේෂ දේශනයක් පවත්වනු ලැබිය.

වෙනදාට වඩා වැඩි පිරිසක් සහභාගිවූ මෙවර පැරිස් බක් මහ උළෙලට පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති සාහිත්‍ය ශුරි පුජ්‍ය කොගස්දෙණියේ ආනන්ද නාහිමි, පැරිස් නුවර ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමි, පුජ්‍ය මාපලගම ජිනානන්ද හිමි, පුජ්‍ය ඇල්ලේවැවේ ආනන්ද හිමි, පුජ්‍ය සමාධිගම විමලජෝති හිමි, පුජ්‍ය කැන්දවින්නේ රාහුල හිමි, පුජ්‍ය බලන්ගොඩ උපශාන්ත හිමි සහ පුජ්‍ය කැම්පනේ අනුරුද්ධ හිමියන්ද සහභාගී වුහ.