දොස්තරලාගේ ගුටි කෙළි

Ziggy | 13 Aug, 2014 04:29PM | Leave a comment

මේ රටේ සාමාන්‍ය ජනතාව වෛද්‍යවරුන් ගැන සිතන්නේ තමන්ගේ ජීවිත මරණයෙන් බේරාගැනීම සඳහා පැමිණි දෙවිවරුන් වශයෙනි. ජීවිතයේ කුමන හෝ අවස්ථාවක තමන් බෙහෙවින් අසරණභාවයට පත් කළ යම් රෝගාබාධයකින් තමන් ගලවා ගන්නා ලද්දේ කිනම් හෝ වෛද්‍යවරයෙකු විසින් බව ඔවුන්ගේ සිත තුළ මුල් බැසගෙන තිබිම ඒ සඳහා මුල් වූ ප්‍රධානතම සාධකයි. තමන්ගේ ජීවිතය එසේ ගලවා ගන්නා ලද්දේ එක් වෛද්‍යවරයෙකු හෝ දෙන්නෙකු විසින් වුවද ඔවුන්ගේ ගෞරවය හිමිවන්නේ මුළු මහත් වෛද්‍ය සංහතියම කෙරෙහිය.


එලෙස තමන්ගේ ගෞරවාදරයට ලක්වූ වෛද්‍යවරයෙකු ගැන සඳහන් කරන ඇතැම් ගම්බද පළාත්වල මිනිසුන් “අනේ ඒ උත්තමයට බුදුබව අත්වෙන්නේ ඕනෑ” යි කියමින් වචනයෙන් පවා නමස්කාර කරන්නේ එබැවිනි. යථාර්ථය තරමක වෙනස් මුහුණුවරක් ගනු ලැබූවද ඔවුන් හිතන්නේ තම තමන්ගේ වෛද්‍යවරුන් පරමාදර්ශී චරිත වශයෙනි. ගාල්ලේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ කුලරත්න මහතා තම බිරිය මරා දැමීමේ චෝදනාවකට ලක්වූ අවස්ථාවේ මුළු ගාල්ලේම ජනතාව කුලරත්න මහතාගේ නිර්දේෂීභාවය වෙනුවෙන් හඬ නැගූ අයුරු අපට තවමත් මතකය. ඔවුන් ඒ අවස්ථාවේ එම වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටියේ ඔහුගේ නිර්දෝෂීභාවය ගැන නිච්චියටම දැන සිටි නිසා නොව තමන්ගේ ගෞරවාදරයට ලක්වූ එවැන්නෙකු එසේ නොකරන්නට ඇතැයි උපකල්පනය කිරීමෙනි.


එම සරල උදාහරණය ගෙන හැර දැක්වීමෙන් අප අදහස් කළේ වෛද්‍යරුන් මෙන්ම වෛද්‍ය වෘත්තීය කෙරෙහිද මෙරට ජනතාව තුළ ඇති ගෞරවය හා පිළිගැනීම කොපමණදැයි පැහැදිලි කිරීමටය. කෙසේ වෙතත් කලාන්තරයක් තිස්සේ මෙරට ජනතාව තුළ වෛද්‍යවරුන් හා වෛද්‍ය සංහතිය කෙරෙහි පැවැති එම ගෞරවය, විශ්වාසය සහ පිළිගැනීම තවමත් එලෙසින්ම පවතින්නේදැයි යන්න සොයා බැලීමට සුදුසුම කාලය මේ වන විට උදාවී තිබේ.


ඊට හේතු වී ඇත්තේ ඇතැම් වෛද්‍යවරුන්ගේම බාල මට්ටමේ ක්‍රියා කලාපය බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙරට සිටින රජයේ වෛද්‍යවරුන් වැඩිදෙනකු අද ප්‍රමුඛත්වයක් ලබාදෙන්නේ චැනල් සේවයටය. ඔවුන් ඒ සඳහා එවැනි සුවිශේෂී උනන්දුවක් දක්වන්නේ එමගින් තමන්ට ලැබෙන ආර්ථික ඵලප්‍රයෝජන සලකාගෙන බව නොරහසකි.


පෞද්ගලික චැනල් සේවයේ යෙදීම  රජයේ වෛද්‍යවරුන්ට අකැපයැයි කීමට මෙහිදී අපගේ දිව නොනැමේ. එසේ වන්නේ වෛද්‍යවරුන් වන ඔවුන්ටත් ඕනෑ තරම් ආර්ථික අඩුලුහුඬුකම් තිබිය හැකි බැවිනි. එහෙත් අප අවධාරණය කරන්නේ රජයේ වෛද්‍යවරුන් චැනල් සේවයේ යෙදීමේදී යම් සීමාවක් තිබිය යුතු බවයි.


මේ අතර මෙරට රාජ්‍ය සේවයේ නියැළී වෛද්‍ය සංහතියේ පරිහානිය විදහා දැක්වෙන අතිශය අප්‍රසන්න සිද්ධියක් ඉකුත්දා කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී දකින්නට ලැබිණි. එනම් රජයේ වෛද්‍ය සංගමයට අයත් ජාතික රෝහල් ශාඛාවේ වෛද්‍යවරුන් දෙපිරිසක් ප්‍රසිද්ධියේ කුළල් කාගැනීමයි. එහිදී දෙපාර්ශ්වය අතර, ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇති බවත්, වෛද්‍යවරුන් අතර ඇති වූ ගැටුම නිසා ජාතික රෝහ‍ලේ දොර, ජනෙල්, පුටු මේසවලටද අලාභහානි සිදුවී තිබෙන බවත් පසුදා මෙරට සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කර තිබුණේය. එම මාධ්‍ය වාර්තා සඳහන් කළ අන්දමට ගැටුම සිදුවන අවස්ථාවේ, බල්ලා, බූරුවා, හරකා ආදී තිරිසන් සතුන්ගේ නම් පමණක් නොව ප්‍රසිද්ධියේ කිව නොහැකි අසභ්‍ය වචන පවා හුවමාරු වී ඇති බවත් එම මාධ්‍ය වැඩිදුරටත් අවධාරණය කර තිබුණේය.


එම සිද්ධිය ගැන ඇතැම් පුවත්පත් සහ වබේ අඩවි වාර්තා කර තිබුණේ ඒ ගැටුමට සම්බන්ධ වූ වෛද්‍යවරුන් පිරිස් බජාර් එකේ අයියලාගේ තත්ත්වයට වැටී ඔවුනොවුන් හා ගැටිබැට හුවමාරු කරගත් බවයි. එම ගැටුමට මැදි වූ වෛද්‍යවරුන් පිරිස එදින තම රාජකාරි කටයුතුවල නොයෙදීම නිසා ඔවුන් වෙතින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් අතිවිශාල පිරිසක් ආපසු හැරී ගොස් තිබුණහ. රෝහල් වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් පිරිසකට නියමිත වේලාවට ප්‍රතිකාර සහ බේත්හේත් නොලැබුණ බවත් ප්‍රසිද්ධ කරුණකි. එසේම එදිනට නියමිතව තිබූ ශල්‍යකර්ම පවා වෙනත් දිනවලට කල් දැමුණේය.


ඉහත සඳහන් සියලුම කරුණු කාරණා නිසා බරපතළ ලෙස පීඩාවට පත්වූයේ රෝගීන්ය. රෝහල් බලධාරීන්ටද ඒ සඳහා කළ හැකි කිසිවක් නොතිබිණි.


සාමාන්‍ය ජනතාව මේතාක් කාලයකට අසා තිබුණේ හෙද හෙදියන් හා ඉන් පහළ මට්ටමේ රෝහල් කාර්ය මණ්ඩල සේවකයන් අතර හටගත් ගහමරා ගැනීම් ගැනය. එසේත් නැතහොත් එවැනි රෝහල් කාර්ය මණ්ඩල සේවකයන්ගේ අරගලකාරී ක්‍රියාමාර්ගයන්හි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සේවා කටයුතු ඇනහිටීම් ගැනය.


එහෙත් මෙවර මෙරට ජනතාවට අසන්නට හා දකින්නට ලැබුණේ ඊට වඩා හාත්පසින්ම වෙනස් මාදිලියේ සිද්ධියකි. එනම් තමන් මේ තාක් කාලයක් දිවිහිමියෙන් ගෞරව කළ වෛද්‍යවරුන් දෙපිළකට බෙදී ගහමරා ගන්නා අයුරුය. බල්ලා, බූරුවා, ගොනා, හරකා වැනි තිරිසන් සතුන්ගේ නම් පමණක් නොව මුද්‍රිත මාධ්‍යයකින් සඳහන් කළ නොහැකි කැත වචන පවා ඔවුනොවුන්ට ගරහා ගැනීමේදී යොදා ගන්නා ලදැයි එදිනම රාත්‍රියේ විද්‍යුත් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේය. එපමණක්ද නොව එම අරගලයට මැදිහත් වූ වෛද්‍යවරුන් කීපදෙනකුටම තුවාල සිදුවී ඇති බවද මාධ්‍යයෙන් ඇසූ බොහෝදෙනා දෙනෙත් උඩ තබාගෙන විස්සෝප වූයේ “අනේ අපේ දොස්තර මහත්වරුන්ටත් ගිය කලක්”යි කියමිනි.


සැබැවින්ම ඔවුන් මේ තාක් කාලයක් සිතාගෙන සිටියේ විවිධ රෝගාබාධ වැළඳුණු අවස්ථාවන්හිදී තමන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් බෝධිසත්ව කොට්ඨාසයක් ලෙසිනි. ඒ තරමටම සාමාන්‍ය ජනතාව තුළ වෛද්‍යවරුන් කෙරෙහි සැලකිල්ලක් හා ගෞරවයක් පැවැති බව නොරහසකි.


එහෙත් මෙවර කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී ගහමරා ගත් වෛද්‍යවරුන් පිරිස නිසා ජනතාව තුළ ඔවුන් කෙරෙහි වූ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීම සහමුලින්ම තුරන් වී ගොස් තිබේ. එසේ වූයේ වෛද්‍යවරුන් වෙතින් එවැනි දඩබ්බර හැසිරීමක් ඔවුන් කිසිසේත්ම බලා‍පොරොත්තු නොවූ බැවිනි.


ජනතාව අතර මෙතරම් ගෞරවාදරයට පත්වූ උගත් වෛද්‍යවරුන් පිරිස මෙවැනි පහළ මට්ටමකට වැටීම පිළිබඳව අපටද ඇත්තේ දැඩි කණස්සල්ලකි. එසේ වන්නේ රටේ සෙසු ජනතාව මෙන්ම අපද මෙම උගත් වෛද්‍යවරුන් පිරිසට දැඩි ගෞරවයක් දැක්වූ බැවිනි.


එහෙත් කුමන හෝ අහේතුවක් නිසා ඔවුන් එවැනි ඇනකොටා ගන්නා තත්ත්වට පත්වී තිබේ. කෙසේ වුවද එම සිද්ධිය පිළිබඳව දැන් ඔවුන් පවසන්නේ එදින එතරම් බරපතළ දෙයක් සිදුනොවූ බවය. එහෙත් වාසනාවකට මෙන් ‍පොලීසිය ඉදිරිපත් වී කලහකාරීන් අතරට පැන ගැටුම බේරුමක් නොකරන්නට අපේ වෛද්‍යවරුන්ගේ හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හපන්කම් අපූරුවට දැකබලාගන්නට තිබිණි.


එදින පෙර වාසනාවකටදෝ එවැනි දෙයක් සිදු නොවූවද මතු එවැනි අවදානමක් නැතැයි කිසිවෙකුට හෝ සහතිකයක් දීමට නොපුළුවන. අපට එවැනි සාධාරණ සැකයක් පහළ වන්නේ වෛද්‍යවරුන් දෙපාර්ශ්වය අතර හටගෙන ඇති මෙම අර්බුදය අළු යට සැගවී ඇති ගින්දර මෙන් තවමත් නොනිවී පවතින බැවිනි. කෙසේ වෙතත් අන්‍යයන්ට පවා ආදර්ශයක් විය යුතු මෙම වෛද්‍යවරුන් දෙපිරිස අතර, යළිත් එවැනි තත්ත්වයක් ඇති කර නොගැනීම සඳහා එම දෙපාර්ශ්වයම වගබලා ගත යුතුය.


මේ අතර, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාවේ වෛද්‍යවරුන් පිරිසක් මෙලෙස දෙපැත්තකට බෙදී ගහමරා ගැනීමේ සිද්ධිය ගැන සෞඛ්‍ය බලධාරීන්ගේද එතරම් අවධානයක් යොමු වී ඇති බවක් නොපෙනේ. ඒ  පිළිබඳව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණේ එය වෛද්‍ය සංගමයේ ප්‍රශ්නයක් බවය.


ඇමැතිවරයා වෛද්‍යවරුන්ගේ එම ගැටුම ඉතා සුළු සිද්ධියක් සේ සලකා ඇති බවක් එමගින් පැහැදිලි වේ. කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයට අයත් ගොඩනැගිලි හා උපකරණවලටද අලාභහානි සිදුවන අයුරින් වෛද්‍යවරුන් දෙපිරිසක් විසින් ඇති කරගත් එම ගැටුම කිසිසේත්ම සුළු සිද්ධියක් නොවේ.


එය එක් අතකින් බැලූ විට වෛද්‍යවරුන්ගේ විනය සම්බන්ධ ප්‍රශ්නයකි. සෞඛ්‍ය සේවයට අයත් පහළ ශ්‍රේණියක සේවක පිරිසක් අතින් මෙවැනි දෙයක් සිදුවූවා නම් මෙලහකටත් ඔවුන් වෙත චෝදනා පත්‍ර භාරදී නිදහසට කරුණු විමසා අවසානය. ඒ සමගම ඊට මුල් වූවන්ගේ සේවය තාවකාලිකව තමනම් කිරීමටද ඉඩ තිබිණි.


එහෙත් තම වෘත්තියේ ගෞරවයට මෙන්ම රජයට අයත් දේපළවලට ද බලවත් හානියක් සිදුකරමින් රජයේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ඇති වූ මෙම අප්‍රසන්න ජනක සිද්ධිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් එවැනි විනය ක්‍රියාමාර්ගයක් ගත් බවක් අසන්නට නොලැබේ. ඇමැතිවරයා පමණක් නොව අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මට්ටමේ  ඉහළ බලධාරීන්ද ඒ සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි නිහඬතාවකි.


ඒ ගැන විනය ක්‍රියාමාර්ග ගන්න ගියොත් දොස්තරලා ස්ට්‍රයික් කරාවි යැයි ඔවුන් සිතනවා විය හැකිය. රජයේ වෛද්‍යවරුන් අතින් සිදුවන එවැනි අකටයුතුකමක් සම්බන්ධයෙන් එතරම් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන සෞඛ්‍ය බලධාරීන් පහළ ශ්‍රේණිවලට අයත් සේවක පිරිසක් වෙතින් සිදුවන ඉතා සුළු වැරැද්දකදී පවා ඔවුන් පසුපස හඹායමින් විනය පියවර ගැනීමට තැත් කිරීමද එක් අතකින් බරපතළ ගණයේ විහිළුවකි.


මෙවැනි ප්‍රශ්නවලදී රජයේ බලධාරීන් විසින් සිදුකළ යුතුව ඇත්තේ එක් එක් අයට එක් එක් හැඳිවලින් බෙදීම නොවේ. කවුරුන් අතින් සිදුවූවත් වැරැද්ද වැරැද්දමය. එහෙයින් සෞඛ්‍ය බලධාරීන් මින් ඉදිරියටවත් වෘත්තියේ උස් පහත් භේදයක් නොසලකමින් සියලුදෙනාටම එක මට්ටමකින් ප්‍රතිචාර දැක්වීමට ප්‍රතිපත්තියක් වශයෙන් උනන්දු විය යුතුය.


-රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි