හිමිනමක් හා ඇබිත්තයෙක් අතර ගැටුමක්

Ziggy | 12 Aug, 2014 01:57PM | Leave a comment
 භික්ෂුන් වහන්සේ නමකට අයත් රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා ජීප් රථයකට ගිනි තබා විනාශ කළ බව කියන අයෙකු එළඹෙන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නිකවැරටිය වැඩ බලන මහේස්ත්‍රාත් ටී.බී.තෙන්නකෝන් මහතා විසින් නියෝග කර තිබේ.එම සැකකරුට පහර දුන් බව කියන එකී ස්වාමීන් වහන්සේ රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදා හරින ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙසේ රක්ෂිතබන්ධනාගාර ගතත කරන ලද්දේ කැලණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන සැකකරුවෙකු වන අතර ඇප මත මුදා හැර ඇත්තේ නැකැත්වැවේ විමලධර්ම නම්වූ ස්වාමීන් වහන්සේ නමකි.

ඇප මත මුදාහැර ඇති ස්වාමීන් වහන්සේට අයත් ඉඩමක් සහ නිවසක් කොටවෙහෙර පොලිස් වසමේ පුහුල්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති අතර එම ස්වාමීන් වහන්සේ විසින් මෙම ඉඩමේ දේවාලයක් පවත්වා ගෙන ගොස් ඇත.

සතියකට දින කීපයක් කැලණියේ සිට එම ඉඩම පිහිටි දේවාලයට වැඩම කරන ස්වාමීන් වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර ඇති බව සඳහන්ය.

රක්ෂිත බන්ධනාගාර ගත ඇති තරුණයා මෙම ස්වාමීන් වහන්සේගේ සේවකයා ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ.

ඉකුත් 10 වැනිදා රාත්‍රීයේ ස්වාමීන් වහන්සේ සහ සේවකයා අතර ආරවුලක් ඇති වී ඇති අතර එහිදී ස්වාමීන් වහන්සේ විසින් සේවකයාට පහර දී තිබේ.

ඉන් පසුව සැකකාර සේවකයා විසින් ස්වාමීන් වහන්සේට අයත් පැජරෝ වර්ගයේ ජීප් රථයකට සහ ට්‍රැක්ටරයකට ගිනි තබා ඇති අතර ජීප් රථයට ගිනි ඇවිළී ඇති නමුත් ට්‍රැක්ටරයට හානි සිදුවී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පොලීසියට පැමිණිළි ලැබී ඇති අතර ඒ අනුව පරීක්ෂණ සිදු කර ඇති කොටවෙහෙර පොලීසිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

කොටවෙහෙර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයකොඩි මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේරත් මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

- adaderana.lk