Ticket machines are must for western province private buses from 1st

Ziggy | 15 Aug, 2014 02:55PM | Leave a comment
ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට බස්‌නාහිර පළාතේ ධාවනය කෙරෙන සියලු පෞද්ගලික බස්‌රථවලට පෙර ගෙවුම් කාඩ්පත් යන්ත්‍ර භාවිතය අනිවාර්යය කර ඇතැයි බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රම්මණ්‌ඩල මහතා "දිවයින"ට පැවැසීය.

බස්‌නාහිර පළාත තුළ දැනට පෞද්ගලික බස්‌ රථ 6300 ක්‌ පමණ ධාවනය කෙරෙන බවත් පවසන සභාපති වරයා අගෝස්‌තු 01 වැනිදා සිට කොළඹට ඇතුළුවන නුවර පාර, මීගමුව පාර, හයිලෙවල් පාර ඇතුළු ප්‍රධාන මාර්ගවල ධාවනය වන බස්‌ රථවල පෙරගෙවුම් කාඩ්පත් යන්ත්‍ර භාවිතය ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයිද කීය.

හයිලෙවල් මාර්ගයේ ධාවනය වන බස්‌ රථවලින් ආරම්භ කරන ලද පෙරගෙවුම් කාඩ්පත් භාවිතය යටතේ මේ වනවිට බස්‌ රථ 372 ක පමණ පෙරගෙවුම් කාඩ්පත් යන්ත්‍ර භාවිත කරන බවද සභාපතිවරයා කියා සිටියේය. මහජන බැංකුව හා පෞද්ගලික ආයතන දෙකක අනුග්‍රහය ඇතිව පෞද්ගලික බස්‌ රථවල පෙරගෙවුම් කාඩ්පත් භාවිතය සිදු කෙරෙන බවත් පවසන සභාපති අමිල රම්මණ්‌ඩල මහතා, මාරු කාසි හිඟයට විසඳුමක්‌ මෙන්ම බස්‌ හිමියන්ගෙන් අහිමි වන දෛනික ආදායම ආරක්‌ෂා කර ගැනීමට විශාල පිටුවහලක්‌ වන පෙරගෙවුම් කාඩ්පත් බස්‌ රථවල ක්‍රියාත්මක කිරීමට බස්‌ හිමියන් විශාල කැමැත්තක්‌ දක්‌වන බවද හේ කීය.

පෙරගෙවුම් කාඩ්පත් භාවිතය යටතේ මේ වන විට රුපියල් 78,000 කට අධික මුදලක්‌ බස්‌ හිමියන්ගේ ගිණුම්වලට බැර කර ඇතැයි සඳහන් කළ සභාපතිවරයා මේ වන විට පෙරගෙවුම් කාඩ්පත් ලක්‌ෂ 12 ක්‌ පමණ අලෙවි වී ඇතැයිද කීය.

මේ අතර වසරක කාලයක්‌ මගී ප්‍රවාහනයේ නොයෙදෙන බස්‌නාහිර පළාතේ පෞද්ගලික බස්‌ රථවල මාර්ග බලපත්‍ර අහෝසි කිරීමේ නීතිය මීට පෙර ක්‍රියාත්මක වූයේ වසර 2 ක කාලයක්‌ ධාවනයේ නොයෙදුණු බස්‌ රථ සඳහාය.

මාර්ග බලපත්‍ර අහෝසි කිරීමෙන් අනතුරුව එම බස්‌ රථ වෙනුවට ටෙන්ඩර් කැඳවීමෙන් නව මාර්ග බලපත්‍ර ලබාදෙන බව ද හෙතෙම කීය.

බස්‌නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ උපදෙස්‌ මත මෙම ක්‍රියාමාර්ග ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

-ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්