අපේ කම හා ගතකළ ඒ ඓතිහාසික සන්ධ්‍යාව

Admin | 01 Jan, 1970 12:00AM | Leave a comment
ඊයේ වෙසක් මාසයේ අන්තිම සන්ධ්‍යාවයි. එනමුත් එය වෙන සන්ධ්‍යාවන්ට වඩා වෙනස් යැයි මට සිතේ. එයට හේතුව නම් මහා ඓතිහාසික සන්ධ්‍යාවක් බවට එය පත්වූ හෙයිනි.

අප පාසල් අවධියේදී ඉතිහාසය හා භූගෝලය අපේ විෂය මාලාවෙන් සැඟැවූ පාලකයන්ට පිංසිදුවන්නට අපගේ ඉතිහාසය පිළිබඳ දැනුම බොහොම ලස්සනට බිංදුවට වැටිණි . විභාගය සමත්වීමටම පාඩම් කළා මිස ඉතිහාසය හා භූගෝලය ගැන සොයාගෙන ඉගෙනුමට අපට කාලයක් නොවුණි. එය මගේ දුර්වල කමක්ද විය හැක. එහෙත් බහුතරයකට සිදුවූයේ මට සිදුවූ අලකලංචියමය.

රෑපවාහිනී නොතිබුණු ඒ කාලයේ අපගේ විනෝදය උදෙසා වූ මාධ්‍ය වූයේ චිත්‍රකතා පොත්,පත්තර, ගුවන් විදුලිය හා චිත්‍රපටය. චිත්‍ර කථාවලින් හා ගුවන් විදුලියෙන් අපගේ ඉතිහාසයේ චරිත රසික සහෘදයන් වෙත ගෙනආවද ඒ සමයේ අතිශයම ජනප්‍රියද ඒ වාගේම බහුතරයක් පිස්සු වැටී සිටියාවූද සිංහල සිනමාවෙන් අපගේ ඉතිහාසය පිළබඳ චරිත ආශ්‍රිතව සිනමාපට නිපදවූයේ ඉතාම අඩුවෙන් බව මගේ කල්පනාවයි.

සිරිපතුල සහ අජාසත්ත වැනි ආගමික චිත්‍රපට නිපදවා ඒවායින් ප්‍රේක්ෂකයාගේ පහන් සංවේගය ජනනය කර ගැනීමට අධ්‍යක්ෂකවරැ සමත්වූවත් මෑතක්වනතූරැම වීර පුරං අප්පූ ඇරැනු කොට ඉතිහාසයේ චරිත සිනමාවට නැගුණේ ඉතා උදාසීනවය.

නමුත් පසුගිය වසර කිහිපය ඇතුළත අපගේ ඉතිහාසයේ චරිත කිහිපයක්ම සිනමාවට නැගුණු අතර ඒ අතුරින් ලංකා ඉතිහාසයේ පහළවූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙකු වූ ගාමිණී අභය එසේත් නැතිනම් දුටු ගැමුණු රජතුමාගේ ජීවිත කතාව සිනමාවට නැගීමේ විසල් භාරදූර කටයුත්තට උරදීමට එක්තරා නිර්භීත පෙරළිකාර සිනමා අධ්‍යක්ෂකතුමකුට අවශ්‍ය විය. වේදිකාව,පුංචි තිරය සහ සිනමාව දිග්විජය කළ එතුමා වෙන කවුරැවත් නොව ජාතියේ පිනට පහළවූ මහා සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරියන්ය.

එතුමා ගැන අටුවාටිකා අවැසි නැත. මෙතුවක් කාලයකට නිර්මාය කළාවූ වෙඳ හාමිනේ හා දඬුබස්නාමාණය යන ටෙලි නාට්‍යද අග්නිදාහය, ගරිල්ලා මාකටින් හා සමනලසංධ්වනිය යන සිනමා පටවලින්ද එතුමා වැඩකරැවකු බව ඔප්පුකොට හමාරය.

එතුමාගේ නවතම සිනමා ව්‍යායාමය වූ ඒ දෑවැන්ත සිනමා සිත්තම මහ රජ ගැමුණු නැරඹීමේ වාසනාව ලංඩනයේදී ඊයේ මට උදාවිය.

දැවැන්ත පුළුල් තිරය පුරා ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයා දිස් වෙද්දී පසුබිමින් ශ්‍රවනයවූ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ ගාථා සජ්ගායනා හඬින් මුළු ප්‍රේක්ෂක ප්‍රජාවම ඒ විසල් රාජධානිය වූ අනුරාධපූරයට පිවිසියේ නිතැතිනි.

ඉන්පසු තිරයේ දිස්වූයේ පොඩිහාමුදුරැනමකගේ මරණ මංචකයයි. සංඝ්‍යාවහන්සේ පිරිවරක් ගාථා සජ්ගායනයේ යෙදෙද්දී ඒ පුරාණ පංසල වෙත දෝලාවකින් සැපත්වූ බිසවකි.

එතුමිය පංසලේ නායක හාමුදුරැවන්ද සමග මරණාසන්නව වැතිර සිටින පොඩි හාමුදුරැවන්ගේ සයනය වෙත ගොස් කළාවූ ප්‍රාර්ථයකි. එනම් මේ මරණින් පසු එතුමියගේ කුසින් පුතකු ලෙස බිහිවන ලෙසයි.

මේ විහාර මහා දේවියි. එතුමිය ලොකු හාමුදුරැවන් සමඟ සාමීචියේ යෙදෙමින් සිටියදී හදිසියේම මහා චණ්ඩ මාරැතයක් හමා එන අතර එවිටම වාගේ පොඩි හාමුදුරවන් මෙලොවින් චුතවී එතුමියගේ කුසයේ පිළිසිඳගන්නවාත් සමඟම අපේ යුගයේ නිර්මාණශීලී සංගීතවේදී නදීක ගුරැගේගේ ප්‍රබල සංගීතයට ගැයෙන උද්වේගකර ගීතයක් සමගම නළු නිළි නාමාවලිය තිරයේ දිස්වීමෙන් සිනමා පටය ඇරඹිණි.

ඉන්පසු කාවන්තිස්ස රජතුමා( ශ්‍රියාන්ත මෙන්ඩිස්) ගේ පාලනය යටතේ ගැමුණු කුමාරයා( උද්ධික ප්‍රේමරත්න) ගෙවන දිවියත් එතුමාට විහාර මහා දේවියගෙන්( කුසුම් රේණු) ලැබෙන ගුරැහරැකම් සහ ඒ අතර රටේ අනෙක් පසින් රට ආක්‍රමණය කොට බුදු දහම සහ සිංහල ජාතිය විනාශකිරීමට කටයුතු කරමින් සිටින කපටි,ශූර එමෙන්ම නීතිගරැක ආක්‍රමණික සොළී රජකු වූ එළාර රජතුමා( ජැක්සන් ඇන්තනී) ගේ ක්‍රියා පටිපටියන්ද ප්‍රේක්ෂකයා වෙතට ගෙන එමින් චිත්‍රපටය ගලායයි.

මේ අතර එන්න එන්නම සොලීන්ගෙන් සිදුවන අකටයුතු හමුවේ දැහැමි පාලකයෙකු වූ තම පියරජු කාවන්තිස්ස රජුගේ පිළිවෙත නොරිස්සූ ගැමුණු කුමාරයා රජුට කාන්තා ආභරණ යවා මාලිගාවෙන් අතුරැදහන්වෙයි.

ඉන්පසුව වසර ගණනාවක් අප්‍රකටව ගම්මානයක ගොවියෙකු සේ රහසිගව ජීවත්වන අන්දමත් ඒ ගමේ මහ ගමරාළගේ දෙටු දියණිය හා සරණ බැඳී පුතකුද ලැබ ගැමි දිවියක් ගෙවද්දී කාවන්තිස්ස රජතුමාගේ අභාවයත් සමඟ රජකමට පත්වන අන්දමත් දක්වමින් කතාව තිරයේ දිගහැරෙයි.

ඒ ඒ දර්ශන රෑ ගත කළ ස්ථාන රෑ ගත කළ කෝණ ඉතාමත් සිත්ගන්නා සුළුය. එක් එක් චරිතවලට පණ පොවන නළු නිළියන්ගේ වේශ නිරෑපනය ඉතාම තාත්විකය. පසුතල නිර්මාණ සඳහා විශාල අවධානයක් යොමුකොට ඇතිබව පෙනෙන්නට තිබිණි.

ගැමුණු කුමාරයා ගොවියකු වශයෙන් අප්‍රකටව සිටියදී පවසන යම් යම් වගන්ති මගේ සිත තදින්ම පැහැරගතී.

එක් තැනෙක ගැමුණු කුමාරයා මෙසේ පවසන්නේය. " මිනිසෙකුට රජ කෙනෙකු වීම බොහොම අසීරැ කටයුක්තක් වුවත් රජකුට ඉතාම ලෙහෙසියෙන් මිනිසකු විය හැක. " එය හැමදාටම ගැලපෙන සත්‍යකි.

තවත් තැනෙක තමා සොයා පැමිණි නන්දිමිත්‍රට පේනතෙක් මානයේ ඇති මහා වෙල් යායක් පෙන්වා ඒ මුළු යායම තමා තනිවම අස්වැද්දුවේ යැයි පැවසූ විට නන්දිමිත්‍ර හැබෑදැයි ඇසූයෙන් " රජ කුමාරවරැ බොරැ කිව්වට ගොවියෝ බොරැ කියන්නෙ නෑ" යි උපහාසයෙන් පැවසීය. ඒ වගන්තිය ගෙන එන්නේ විසල් පණිවුඩයකි.

ඒ අතර කාවන්තිස්ස රජතුමාගේ දිවියේ අවසාන අවස්ථා ඉතාමත්ම තාත්විකව නිරෑපනය කළ ශ්‍රියාන්ත මෙන්ඩිස් මුළු ප්‍රේක්ෂකාගාරයම කඳුළින් තෙත් කිරීමට සමත් විය.

ගැමුණු කුමරැගේ බාල සොහොයුරා වූ තිස්ස කුමරා සමඟ සටනකට පොළඹවා ගැමුණු කුමරැගේ බලය අඩපණ කිරීමට එළාර රජතුමා ඇතුළු පිරිස් කුමන්ත්‍රණය කළත් මහා සංඝරත්නයේ බලපෑම් හමුවේ ඒවා ව්‍යවර්ථව ගියේ ජාතියේම පිනටය.

එතැන් පටන් දස මහා යෝධයනගේ සහ කඩොල් ඇතු ඇතුළු ඇත් හා අශ්ව හමුදාවලද සහය ඇතිව ගැමුණු රජතුමා එකින් එක එළාරයන් සතුකරගෙන වුන් පෙදෙස් තම යටතට ගනිද්දී ප්‍රේක්ෂකයන් ජාත්‍යාලයෙන් හා ආගම පිළිබඳවූ ගෞරවයකින් ඔද වැඩුණහ.

එය කිසිවිටෙකත් ජාතිවාදී හෝ ආගම්වාදී නොවුණි. යුද කළත් බුදු දහමේ ඒ ශ්‍රේෂ්ඨ දර්ශනය අනුගමනය ගැමුණු රජතුමාව එතුමාගේ සතුරාවූ එළාර රජතුමාම තමන්ගේ අවසන් මොහොතේ පවා පැසසුමට ලක් කිරීම ආක්‍රමණික සතුරකු වුවත් එතුමාගේ ශ්‍රේෂ්ඨත්වය විදහාපාන කැඩපතක් විය.

කඩොල් ඇතු සොළීන් හැලූ ලෝදිය මැඩගෙන විජිතපුර බලකොටුවේ දොරටු කඩා ඇතුළු වෙද්දී අපේ දෑස් කඳුළින් තෙත්වුණි. එය ඒ තරම්ම හදවතට දැනුණි.

දුටු ගැමුණු රජතුමාද කිසිවිටෙක නිකරැනේ සතුරන් හෝ ඔවුනගේ දේපල විනාශ නොකළහ. එළාර රජුගේ අවසාන ඉල්ලීමද එයවූ අතර දුටුගැමුණු රජතුමා එය අකුරටම ඉටු කළේය. එපමණකින්ද නොනැවතී තම ශ්‍රේෂ්ඨ සතුරාට ගරැ කරැනු වස් අවසන් ද්වන්ද සංග්‍රාමය පැවති භූමියේ එළාර සොහොන නමින් දාගැබක් පවා ඉඳිකළේය. අනුරාධපුරයේ වන්ඳනාවේ යන්නෙකුට අදත් එය දකුණු දාගැබ නමින් දැකබලා ගත හැක.

මම මොහොතක් නතරවී අතීතයට ගියෙමි. අද විජිතපුරයේ හා අනුරාධපුරයේ ඇති ගල් කණු වලට කතා කළ හැකිනම් එදා ඒ අසල පැවතී විසල් සටන්වල තතු අපට ගෙන එනවා නොවේද? පත පොතින් කියවා තිබුණත් හිතේ චිත්තරෑප මවාගෙන තිබුණත් මෙවැනි චිත්‍රපටයක් නොවන්නට අපට මේ ඓතිහාසික පුවත් සියැසින් දැකබලාගත නොහැකිවනු ඇත.

සිනමා පටය නරඹා දේශානුරාගයෙන් ඔද වැඩුණු මුළු ප්‍රේක්ෂකයන්ගේම දෙනයන කඳලින් තෙත්ව ඇති අයුරැ බොඳවූ සිත්තමක් සේ මට පෙනුණි.

අවසානයේ ආක්‍රමණිකයා පරදවා ගැමුණු රජතුමා රට එකසේසත් කළ අතර විහාර මහා දේවිය ගිහි ගෙයින් නික්මී සසුනවෙත එළැඹෙන දර්ශනයකින් සිනමාපටය සමාප්තියට පත්විය.

සිනමාපටයේ සියලුම අංශ ඉතාමත් උසස් අයුරින් නිමවා තිබිණි. නමුත් එක් සුලු අඩුපාඩුවක් මම දිටිමි. එය අධ්‍යක්ෂකවරයා සිතා මතාම කළේදැයි මම නොදනිමි. එනම් එළාර ඇතුළු සොළීන් ඔවුන්ගේ භාෂාවෙන් කතා නෙකිරීමයි. ඔවුන් ඔවුනගේ භාෂාවකින් කතා කොට එහි තේරැම් සිංහල උප සිරසිවලින් දැක්වූවානම් මේ සිද්ධීන් තවත් තාත්වික විය හැකිව තිබිණි.

ඒ කෙසේ වෙතත් මෙවැනි ශ්‍රේෂ්ඨ , ඓතිහාසික හා සියල්ලෝම නැරඹිය යුතුම කතා පුවතක් සිනමාවට නැගීම පිළිබඳව ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂකතුමා, නළුනිළි පිරිස ඇතුළු සියලුම කාර්මික ශිල්පීන්ටද මෙම දැවැන්ත කාර්‍යට මූල්‍යමය දායකත්වය සැපයූ නිෂ්පාදක ගුණපාල රත්නසේකරයන්ටද ජාතියේ නාමයෙන් මගේ ගෞරවය පුදකරන අතර අපට ලංඩනයේදී මෙම ශ්‍රේෂ්ඨ සිනමා කෘතිය නැරඹීමට මංපෙත් විවර කළ ලංඩනයේ my vision network මාධ්‍ය ජාලයට අනුබද්ධිත අපේ කමටද මගේ ප්‍රණාමය අවසාන වශයෙන් පුද කරමි.

සටහන : චන්දන ගුණසේකර