මලිත් හෑගොඩගේ කුලුඳුල් සිනමා කෘතියයට ලන්ඩනයේදී හොඳ ප්‍රතිචාරයක්

tmadawela | 13 Oct, 2014 11:52PM | Leave a comment
Photographs by Tissa Madawela

මලිත් හෑගොඩගේ කුලුඳුල් සිනමා කෘතියයට ලන්ඩනයේදී හොඳ ප්‍රතිචාරයක්

ලන්ඩන් සිනමා උළෙලේදී දින දෙකක් ප්‍රදර්ශනය කෙරුන ශ්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවකු වන මලිත් හෑගොඩගේ කුලුඳුල් සිනමා නිර්මාණය වූ "දැකල පුරුදු කෙනෙක්" නැරඹු බොහෝ දෙනා ඒ පිළිබඳව සුභවාදී ප්‍රතිචාර දක්වනු ලැබිය.
තරඟකාරී නොවුවද ලන්ඩන් සිනමා උළෙලේදී චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට ලැබීම වැදගත් ලෙසින් බොහෝ සිනමා කරුවන් සලකන්නේ ඒ තුලින් සිය නිර්මානයන් සඳහා ලැබෙන ජාත්‍යන්තර පිළිගැනීමත් ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර චිත්‍රපට බෙදා හරින සමාගම් වලට තම කෘතීන් අලෙවි කරගැනීමට ලැබෙන අවස්ථාවත් නිසාය.
"දැකල පුරුදු කෙනෙක්" මලිත් හෑගොඩගේ ප්‍රථම අධ්‍යක්ෂණය වුවත් එම නිර්මාණය තුලින් පෙන්නුම් කර ඇති සිනමාරුපී ගුණයෙහි වැදගත් කම පිළිබඳව සලකා බලා ඒ සඳහා ලන්ඩන් සිනමා උළෙලේදී දර්ශනවාර දෙකක්ම ලබාදී තිබීම වැදගත් කරුණකි.
ඔක්තෝබර් 11 වන සෙනසුරාදා ලන්ඩන් නුවර අයිසීඒ සිනමා හලේදීත් 13 වන සඳුදා බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතන සිනමා පරිශ්‍රයේදීත් මෙම දර්ශනවාර දෙක පැවැත්විණි.දර්ශන දෙකෙහිම අවසර පත් සියල්ල කල්තියාම අලෙවි තිබුණි. චිත්‍රපටය නැරඹීම සඳහා ශ්‍රී ලාංකික සිනමා රසිකයින්ද පැමිණ සිටි නමුත් බොහෝදෙනෙකු යුරෝපා ජාතිකයින් වීම විශේෂත්වයකි. මේ අතර ලන්ඩන් නුවර පදිංචි සම්මානනීය සිනමා සහ රුපවාහිනි නිෂ්පාදකවරයෙකු සහ රංගන ශිල්පියෙකු වන විමල් අලහකෝන්, මාධ්‍යවේදියෙකු, කවියෙකු සහ පුවත්පත් කලාවේදියෙකුවන දයා ආනන්ද රණසිංහ, රුපවාහිනි අධ්‍යක්ෂකවරයෙකුවන වරුණ ලේල්වල, කවියෙකු,ගත්කතුවරයෙකු සහ අධිනීතිඥවරයෙකු වන අනුර හෑගොඩ, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්න සහ ජාත්‍යන්තර චිත්‍රපට බෙදාහැරීමේ සමාගම් කිහිපයකම නියෝජිතයින්ද වුහ.
මෙම දර්ශන වාර සඳහා අධ්‍යක්ෂ මලිත් හෑගොඩ සමඟ සහාය අධ්‍යක්ෂ දමින්ද මඩවල, තිරනාටක රචක භූපති වික්‍රමගේ, ප්‍රධාන චරිතය නිරුපනයකල බිමල් ජයකොඩි සහ නිෂ්පාදක වරුන් වන ලාල් හෑගොඩ සහ රසාංග දිසානායක සහභාගිවුහ. ශ්‍රී ලංකාවේ දක්ෂ චයාරුප ශිල්පියෙකු, කවියෙකු, ග්‍රන්ථ කාර්තු වරයෙකු මෙන්ම ගුරුවරයෙකු වන ලාල් හෑගොඩ මලිත් ගේ පියාය. චිත්‍රපටය ප්‍රදර්ශනය වූ අවස්ථා දෙකෙහිදීම අධ්‍යක්ෂක වරයා සහ තිර නාටක රචකයා සමඟ අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාවක් ප්‍රේක්ෂකයින්හට ලබාදී තිබුණි. බොහෝදෙනෙක් එහිදී කියා සිටියේ සිනමාව පිලිබඳ ප්‍රයෝගික අත්දැකීමක් නොලද අයෙකු විසින් නිර්මිත පළමු අධ්‍යක්ෂණයක් ලෙස හිතන්නට බැරි තරමේ සංයමයක් සහ සිනමාරුපි බවක් මෙම චිත්‍රපටය තුල ගැබ්වී ඇති බවයි. "කුඩා අවදියේ සිටම තමන් තුල සිනමාව පිලිබඳ දැඩි ආකර්ෂණයක් තිබු බවත් ඒ නිසාම ඉඩ ලද හැම අවස්ථාවකම විවිධාකාරයේ චිත්‍රපට නැරඹීම පුරුද්දක් කරගත් බවත්" මලිත් හෑගොඩ කියා සිටියේය.
කල්යත් යත්ම බ්‍රිතාන්‍යයේ කෙන් ලොර්ච්, පෝලන්තයේ ක්‍රිස් ක්රිස්ලෝව්ස්කි සහ බෙල්ජියමේ ෂෝන් පියෙර් සහ ලුක් ඩාර්ඩෙන් සොහොයුරන් වැනි ප්‍රශස්ත සිනමාකරුවන්ගේ නිර්මාණයක් කෙරෙහි සිය ආකර්ෂණය ඇදීගිය බවත් ඔහු පැවසුවේය.මෙවැනි නිර්මාණ කරුවන්ගේ සිනමා කෘතීන් නැවත නැවතත් නැරඹීමට ඉමහත් ඇල්මක් දක්වු බවත් මෙම කෘතීන් නැරඹීමෙන් ලද පන්නරය "දැකල පුරුදු කෙනෙක්" නිර්මාණය කිරීමේදී බොහෝදුරට උපකාරීවූ බවත් ඔහු කිවේය.ආන්දෝලාත්මක තේමාවක් මෙම තිර රචනය සඳහා යොදාගනු ලැබුවේ මන්දැයි කෙනෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් තිරනාටක රචක භූපති වික්‍රමගේ පැවසුවේ " පසුගිය වකවානුවේ ශ්‍රී ලංකාවේ නිර්මානාත්මක සිනමා කරුවන්, වේදිකා නාට්‍ය කරුවන්, ගේයපද රචකයින්, සංගීත වේදීන් සහ ග්‍රන්ථ රචකයින් බොහෝදෙනෙකු ශ්‍රී ලංකාවේ කාලාන්තරයක් තිස්සේ පැවති ඛේදනීය වාතාවරණය සහ දේශපාලනය තම නිර්මාණයන්ගේ තේමාව කරගැනීමට උත්කුශවී තිබුන බව පැහැදිලි කරුණක්. නමුත් එම යුධමය වාතාවරණය අවසන්වී දැනට කාලයක් ගතවී ඇති නිසා ඒ පිලිබඳ සමීප සම්බන්ධතාවයක් හෝ එවැනි පරිසරයක් පිලිබඳ එතරම් අත්දැකීම් සමුදායක් මට හෝ මලිත්ට නැති නිසා අප දෙදෙනාටම සමීප අත්දැකීම් ඇති තේමාවක් මේ සඳහා තෝරා ගැනීම අප දෙදෙනාගේම ප්‍රථම නිර්මාණය සාර්ථකව ඉදිරිපත් කිරීම සඳහා වැදගත් වන බව අපි සිතුවා. ඒ නිසයි අපි මදක් ආන්දෝලාත්මක වුවත් මෙම කතා තේමාව තෝරාගනු ලැබුවේ." කියාය.
'දැකල පුරුදු කෙනෙක්' චිත්‍ර පටයෙන් ශ්‍රී ලංකාවේ වර්තමානයේ නාගරික මධ්‍යම පන්ති පවුලක ගැටළු සහ ප්‍රශ්න පිලිබඳව සත්‍යවාදී සාකච්චාවක් ඉදිරිපත් කෙරෙයි.එහිදී අධ්‍යක්ෂ වරයා ඔහුගේ ප්‍රියතම සිනමා කරුවන් මෙන් බොහෝවිට සංකේතාත්මක අදහස් ප්‍රකාශනයෙහි යෙදීම, දීර්ඝ නිහඬ නිශ්චල රුප රාමු යොදා ගැනීම, අවම අවශ්‍යම එහෙත් ප්‍රභල දෙබස් භාවිතය සහ දීර්ඝ දර්ශන ඛණ්ඩ භාවිතය කතා තේමාවට අනුකුලවන අන්දමට සහ ප්‍රේක්ෂක අවධාරණය අඛණ්ඩව රඳවාගැනීමට උපකාරී වන අන්දමට ඉතාමත් දක්ෂ සහ සුක්ෂම අන්දමට භාවිතා කර ඇත.
මෙහි ඇති එක දර්ශන ඛණ්ඩයක් විනාඩි හතක කාල පරාසයක් තුල නොනවත්වා දිවෙයි."දැකල පුරුදු කෙනෙක්" චිත්‍ර පටයේ ප්‍රධාන චරිතය නිරුපනය කරන සම්මානනීය වේදිකා නිළියක වන සමාධි ලක්සිරි සහ සහාය නළුවෙකු සහභාගී වන, මුල සිට අග දක්වාම දෙබස් සහිත මහා මාර්ගයක ඇවිද යන එම දීර්ග දර්ශනය රුප ගත කිරීමට පෙර හත් අට වතාවක් පුහුණු කිරීමට සිදුවූ බවත් අධ්‍යක්ෂක වරයා සෑහීමකට පත්වූ අන්දමට දර්ශනය රුප ගත කිරීම සඳහා මුළු දවසක්ම ගත කිරීමට සිදුවූ බවත් සහාය අධ්‍යක්ෂ දමින්ද මඩවල කිවේය.
ඒ සඳහා සහභාගිවූ දෙදෙනාම දක්ෂ වේදිකා නළුවන් වීම හේතුවෙන් එම දර්ශනයේ අඩංගු දෙබස් මතක තබා ගැනීමත්,නිසි අන්දමට උච්චාරණය කිරීමත්, අධ්‍යක්ෂක වරයාට අවශ්‍ය ආකාරයට හැඟීම් උද්දීපනය වන අයුරින් රංගන කාර්යය ඉටු කිරීමත් ඒ දෙදෙනා අතින් මනාව සිදුවූ බවද ඔහු කිවේය.
"දැකල පුරුදු කෙනෙක්" සමාධි ලක්සිරි ගේ ප්‍රථම චිත්‍රපට රඟපෑමයි.රුපය සහ ශබ්ධය පමණක් යොදා ගනිමින් කෙනෙකුගේ පුර්ණ අවධානය පැය දෙකක් පුරාවට සුදු තිරයක් මත මැවෙන මායාවක් වෙත රඳවා තබා ගැනීමට තරම් මලිත් සිය රුප රාමු සහ හඬ පටය අවශ්‍යම තරමට පමණක් භාවිතාකිරීමෙන් විශාල හපන් කමක් කර ඇතිබව සනාත කරමින් දර්ශනය අවසානයේ 'දැකල පුරුදු කෙනෙක්' නැරඹු බොහෝ දෙනෙකු අත්පොලසන් දෙමින් ඔවුනගේ හදවතට දැනුන රසය පිලිබඳ තෘප්තිය ප්‍රකාශ කළහ