හෝ ගානා පොකුණ නැරඹුවෙමි........

Chandana Gunasekera | 12 Apr, 2016 04:36PM | Leave a comment
( Include full photography coverage & songs )

ඒ පසුගිය ඉරිදා, එනම් අප්‍රේල් මස දහ වෙනිදාය. එදින ලංඩන් නුවර හැරෝ පුරවරයේදී රොකට්ටුවක් නැතිව හඳට ගිය ළමුන් පිරිසක් හා එක්වීමේ භාග්‍ය ලද්දකු වශයෙන් මට අද මේ සටහන ලිවීමට වරම් ලැබී ඇත. ලංඩනයේ සිංහල සිනමා පටයක් නැරඹීමට එක් දිනකදී එක් රොක් වූ විශාලතම ප්‍රේක්ෂක සංඛ්‍යාව වශයෙන් වාර්ථාවක්ද පිහිටුවමින් එදා සෆාරි සිනමා ශාලාව කරා ඇදී ආ මහා ජන ගංඟාව අතරේ මමද එකම එක ජල බිංඳුවක් වූයෙමි. දර්ශන එකක් නොව ශාලා දෙකක දර්ශන දෙකක් නැරඹීමට තරම් මේ ජන සයුර දැවැන්ත විය.

අපි සැදී පැහැදී අඳුරු සිනමා හලේ අසුන්වලට බරදී දැහැන්ගත විමු. හුදෙකලා බංකුවක් මත වාඩිවී පොතක් කියවමින් සිටින ඩෙනිම් කලිසමක් ඇඳගත් යුවතියක තිරයේ දිස්වුනි. පසුබිමින් ඇසෙන අයිස් ක්‍රීම් වෙළෙන්දකුගේ නළා හඬින් බැඳී වුන් දැහැනින් මිදුණු ඈ , කියවමින් වුන් පොත හා ඇයගේ අත් බෑගය එලෙසින්ම බංකුව මත දමා දර්ශන තලයෙන් ඉවත්වී අයිස්ක්‍රීම්කරු දෙසට පිය නැඟුවාය. තිරයේ ඉතිරිවූයේ පොතත්, අත් බෑගයත් හා බංකුවත් පමණි. ඒ රූපරාමු කිහිපයෙන් , විනාඩියකටත් වඩා අඩු කාලයකදී ඇයගේ ස්වරූපය හා ගති පැවතුම් පවා ප්‍රේක්ෂකයාට හැඟවීමට අධ්‍යක්ෂකවරයා සමත් විය.

ඉන්පසු අපට දර්ශනය වූයේ හුඳෙකලා බංකුව පසුකර යන වීදි දරුවකුය. එකෙණෙහිම අපට ඇසුනේ බංකුව මත ඇති අත් බෑගය තුළින් ජංගම දුරකථනයක නාද වන හඬකි. එය ඇසී යන්නට ගිය වීදි දරුවා ආපසු බෑගය දෙසට එද්දීම හිම කිරමක් තොලගාමින් එදෙසට පැමිණෙන යුවතිය දිස්වෙයි. ඇය උමාය. ( අනසුයා සුබසිංහ) ජංගම දුරකථනයෙන් ඇය අමතන්නේ ඇයගේ පෙම්වතාය. නමින් මදුවන්තය. ඔවුන් අතර ඇතිවන කෙටි සංවාදයෙන් ඔහු කවුද? කෙබඳු කෙනෙකුද? ඔහු කරන්නේ කුමක්ද සහ ඇයගේ ඉදිරි වැඩකටයුතුද වැනි කරුණු වලින් ඇඟට පතට නොදැනී ප්‍රේක්ෂකයා දැනුවත් කිරීමට අධ්‍යක්ෂකවරයා සමත් වී ඇත. එහෙත් ඔහුගේ හඬ මිස රූපයක් අපට නොපෙන්වයි. එය හිතා මතාම ඔහුගේ බාහිර ස්වරූපයට සහ කරන කියන දේට වඩා ඔහුගේ අභ්‍යන්තරය හාත්පසින්ම වෙනස්බව ඒත්තු ගැන්වීමට අධ්‍යක්ෂකවරයා දැරූ සාර්ථක ප්‍රයත්නයක් බව මට සිතේ.

https://www.youtube.com/watch?v=Dox2NXTN8pU

ඔවුන් සරසවියෙන් ඉතා මෑතකදී පිටවී ඇති බවත් ඇයගේ ප්‍රථම පත්වීම ලෙස දඹුල්ල ප්‍රදේශයේ ඉතා දුෂ්කර පාසලක ඉගැන්වීමට ලැබී ඇතිබව සහ ඔහු උද්ඝෝෂණ හා විප්ලව වලට සම්බන්ධ අයෙකු බවද ප්‍රේක්ෂකයා දැනගනී. එමෙන්ම පොලීසියෙන් කඳුළු ගෑස් හා ගුටි කා රෝහල්ගතව සිට ටිකට් කපා ඇතිබව සහ එය අරුමයක් නොව නිතර සිදුවන්නක් බවද අපට හැඟේ. ඒ ඇය අසන මේ ප්‍රශ්නයෙනි. " මේ පාරත් ඒ වාට්ටුවෙමද?"

ඉන්පසුව උමා , ඇයගේ පෙම්වතාට පවසන දෙබසින් සරසවියේදී පමණක් කොලු විසේට සහ ඒ වයසට එන උණට කරන " නමට විප්ලව" නොව සැබෑ විප්ලවය නම් මෙයයි අපට ඒත්තු ගන්වයි. එනම් ඒ පීඩිතයන්ට සේවය කිරීම සැබෑ විප්ලවය බවයි. විප්ලව ගැන කතා කරන නමුත් ප්‍රායෝගිකව කිසිඳු විප්ලවයක් නොකරන බහුතරයක් විප්ලවවාදීන්ට අධ්‍යක්ෂකවරයා වැඩි සද්දයක් නොමැතිව ගසන්නේ දරුණු කනේ පහරකි.



ඉන්පසු දර්ශන තලය ගමේ පාසලයි. පාසලේ ස්වභාවයෙන්ම එහි ඇති දිළිඳුබව ප්‍රේක්ෂක මනසට ඇතුළු වේ. පුංචි සිසු සිසුවියන් පාසල් ගොවිපලේ වැඩකරන දර්ශනයකි. හදිසියේම ගමේ පාසලට පළාත් අධ්‍යාපන කාර්‍යාලයෙන් ලැබෙන තෑග්ගකි. එය මිනිසුන් හය හත් දෙනෙකු ඔසවාගෙන එන ආකාරයෙන්ම ඒ පළාත කෙතරම් දුෂ්කරද බව අපට ඒත්තු ගැන්වේ. ඔසවාගෙන එන්නේ පියානෝවකි. විදුහල්පතිතුමා( ලූෂන් බුලත්සිංහල) ජටාවක් හිසේ ගැට ගසාගෙන උඩුකයට වස්ත්‍රයක් නොමැතිව දර්ශනයට අවතීර්ණ වේ. පියානෝව සමඟ පැමිණෙන රජයේ නිලධාරියා මෙය ලෝක බැංකු ආධාර මඟින් මෙවැනි දුෂ්කර පාසල්වලට බෙදා දෙන බව විදුහල්පතිට පවසයි. " ඒච්චරයි මේ ඉස්කෝලෙට අඩු" යැයි විදුහල්පතිතුමා අවඥාවෙන් පවසන මේ දෙබස් ඛණ්ඩය බොහෝදේ අපට පවසයි.

පාසල්වලට පමණක් නොව රටේ අනෙකුත් ආයතනවල තත්වයද මෙයමය. නිවැරදි හා කාලීන සමීක්ෂණයකින් තොරව අවශ්‍යතා හඳුනානොගත් දේශපාලඥයෙකුගේ උවමනාවට කෙරෙන්නේ මෙවැනි දේවල්මය. ලබා දෙන්නේ අනවශ්‍යදේමය. සමහරවිට ඔහුට ලැබෙන කොමිස් මුදලකට විය හැක. සිසුන් හොරෙන් බලා සිටියදි විදුහල්පතිතුමා පරණ පැඳුරු කඩමල්ලකින් මේ වටිනා එහෙත් පාසලට වැඩක් නැති පියානෝව වසා දැමීමේ පුංචි ක්‍රියාවෙන් අධ්‍යක්ෂකතුමා මේ වචන දහයක පහළොවක පණිවුඩය ප්‍රේක්ෂකයා හමුවේ තබයි.

මෙවැනි දෙයක් කෙදිනකවත් දැක නොමැති සිසුන් කුතුහලයෙන් ඒ පිළිබඳව විමසුවද විදුහල්පතිතුමන්ගෙන් ලැබෙන්නේ ඔවුන් නොසිතූ පිළිතුරකි. එය තුළ මකරකු ඉන්නා බවත් සිසුන් දඟ කළහොත් ඌ මෙසේ කෑ ගසමින් එළියට එනබව පවසා එය රඟදක්වාද පෙන්වයි. එය හැමදාම පීඩිතයාට වූ සංසිද්ධියයි. පාලකයා විසින් මවාපානා අදෘශමාන මකරකුට බයේ ඔවුහු සැමදා දිවි ගෙවූහ. බය නොතකා සැබෑ තත්වය සෙවීමට ඉදිරිපත්වූ අය දඬුවම් ලැබූහ. සමහරු දිවියෙන් වන්දි ගෙවූහ. එහෙත් නැණවත් ජනයා එය බොරු රඟපෑමක් බව දත්හ. විදුහල්පතිගේ රැඟුම අවසන එක් සිසුවකු " ලොකු සර් ඒකනම් මරුවට කරා" යැයි පවසන්නේ මුළු ප්‍රේක්ෂකාගාරයම සිනා සයුරේ ගිල්වමිනි.

සිසුන්ගේ කුතුහලය සමඟ පෙරමුණ ගන්නා උක්කුන් සංගීත කාමරයේ දොර ඇරගෙන පියානෝවේ මකරකු නැති බව සොයා ගන්නා අන්දමත් ඒ වරද වෙනුවෙන් තනිවම ගුටිකා අනෙක් සිසුන් රැක ගන්නා අන්දමත් පෙන්වමින් කතාව දිවෙයි. මේ සිදුවීම්වලින් ප්‍රේක්ෂකයා උක්කුංගේ චරිතය හඳුනා ගනී.

Songs:
https://www.youtube.com/watch?v=IZ5YvDgjcms

https://www.youtube.com/watch?v=d0kdruL2Egs

https://www.youtube.com/watch?v=iTbruteezoI

ඉන්පසු දර්ශනය ගමේ ඇති එකම බසයයි. එහි පෙනුමින් සහ හදිසියේ පාර මැඳ නතරවීමෙන් එහි තත්වය අපට පැහැදිලි වේ. බසයේ රියදුරා ජස්ටින්( ජයලත් මනෝරත්න) " මල්ලියේ බැට්රිය දැන්නම් මරණ මංචකයේ" යැයි පවසන්නේ ප්‍රේක්ෂකයන් මුවට සිනාවක් නංවමිනි. මෙම බසයේම උමාද වැඩ භාර ගැනීමට ගමට පැමිණෙන අතර ඇය පිරිසද හසුරුවා ගනිමින් බසය තල්ලුකිරීමට උරදීමෙන් ඇයගේ සමාජශීලී සහ සබකෝලයක් නොමැතිව ඉදිරිපත්වීමේ මෙන්ම නායකත්වයේද ලක්ෂණ අපට පමණක් නොව ඒ ගමටද පෙන්වයි. ඇය ගැන ගමේ අයට මෙන්ම අපටද ආදරයක් ඇතිවන්නේ නිරායාසයෙනි.

ඉන්පසු උමා පයින්ම පාසල සොයාගෙන යන අන්දමත් විදුහල්පතිතුමා හමුවී කතා බහ කරන අන්දමත් තිරයේ දිගහැරේ. සිසුන් කාර්‍යාලයේ බිත්තිවල සිදුරු තුළින් මේ දෙස බලා සිටිති. සිසුන් අලුත් ගුරුතුමිය ගැන එක එක දේ කතා වෙති. එතරම් සුදු පැහැති සමක් නොමැති තලඑළළු උමා දෙස බලන ඔවුන් කියන මේ දෙබසේ මහා කතාවක් ගැබ්ව ඇත. " මෙච්චර කල් මෙහාට ආපු ගුරුවරු ඔක්කොම සුදු අයනෙ. ඒ නිසා වැඩි කල් පාසලේ නොරැදී ආපහු ගියා. ඒත් මේ ටීචර් කළුයි. ඒ නිසා ඉඳියි.." මෙය එසේ මෙසේ කතාවක් නොවේ. ඇත්තේ මහා ගැඹුරු අර්ථයකි.

විදුහල්පති කරන ඇරයුමින් ඔහු සහ බිරිඳ පමණක් වසන ඔහුගේ නිවසේම ඇයත් නතරවන අන්දමත් ඇයට දෙන කාමරයේ ගොඩ ගසා ඇති වී ගෝනි සහ ඇඳ යට ඇති පොල් ගොඩින් විදුහල්පතිගේ වත් පොහොසත්කමත් ප්‍රේක්ෂකයාට පෙනී යයි.

බටහිර පන්නයට ඇඳ පැළඳි ඒ උරුවට ජීවත්වූ උමා පසුවදා විදුහල්පතිගේ බිරිඳගේ ආධාරයෙන් ඔසරියකින් සැරසී පාසලට උදයේම යන අන්දමත් එහිදී හදිසියේම වසා දමා තිබූ පියානොව ඇස ගැටී එය වාදනය කරන අන්දම සහ එම වාදනය ඇසී ගමේ සෑම තාරාතිරකම ජනයා ඒ දෙසට කන් යොමන ආකාරයත් තිරයේ දිස්වේ. මේ මුළු ගමම ඇයව හඳුනාගත් බව සංකේතවත් කිරීමකි.
ඉන්පසුව පාසලේ තිබූ වාතාවරණය හා ගුරු සිසු සම්බන්ධතාවය ක්‍රමයෙන් ඇයගේ මැදිහත්වීමෙන් සුබදායී සහ ඵලදායී අන්දමින් වෙනස්වීමත් විදුහල්පතිතුමාගේ සිසුන් පිළිබඳවූ ආකල්පය වෙනස්වන ආකාරයත් කිසිඳු විඩාවක් ප්‍රේක්ෂකයාට නොදී ප්‍රේක්ෂකයාට ගෙනයාම අධ්‍යක්ෂකතුමා ඉතා නැණවත්ව ඉදිරිපත් කොට ඇත.

ජංගම දුරකථන සංඥා තබා විදුලියවත් නැති ඒ ගමේ උමා තම ෆෝනය අහසට යොමා " සිග්නල්" සොයන අයුරුත් එය දකින උක්කුං එවිටත් ඉදිරිපත්වී වැව් බැම්මේ විසල් මාර ගසකට නැගී තම ගුරුවරියට " සිග්නල්" අල්ලා දෙන්නේ ප්‍රේක්ෂකාගාරයම සිනහවේ ගිල්වමිනි. ඇමතුම ගැනීමට උමාටද ගසට ගොඩවීමට සිදුවන අතර එය අපට උමා, පාරම්පරික කුස්සිය මුල්ලේ සිරවී නොසිටින ඕනම දෙයකට ඔට්ටු ගැහැනියක බව පෙන්වීමට ගත් තැතක් බව පෙනී යයි. එපමණක් නොව ඇය ගමට එන ගමනේදී කැඩුණු බසය තල්ලු කිරීම, වරෙක ඇය දර පැලීම සහ ගම පුරා බයිසකලය පැද යාම වැනි ක්‍රියාවන්ද ඒ සඳහාම යොදා ගෙන ඇත. එමෙන්ම කඩපිලේ දාම් කප්පිත්තාවූ ගමේ ග්‍රාම සේවකවද දාම් අතකින් පරදවන්නේද ඇයය. එහෙත් නවාතැනදී ඇය පුංචි මීයකුට බියවී ඇඳ උඩට පැන කරන්නාවූ කලබලයක් පෙන්වීම, ඇය තුළ ඇති ළඳ බොළඳ ගැහැණුකමද ඉස්මතුකිරීමට අධ්‍යක්ෂකතුමා දැරුවාවූ තැතක් බව මගේ හැගීමයි.

ගස උඩ සිටින උක්කුං , උමාට ෆෝනය අතටදී " කාටද කතා කරන්නේ " යැයි අසයි. උමා , " මම බඳින්න ඉන්න එක්කෙනාට" යැයි කියූ විට උක්කුං " එහෙනම් මම බහින්නම්" යැයි කියූ ස්වරයෙන් හා එවෙලේ ඔහුගේ මුහුණේ ඇඳී ගිය හැඟීමෙන් මට කාරණා දෙකක් සිතට නැගිණි. එකක් නම් පැහැදිලිවම ඔවුනගේ පුද්ගලික කතාවකට බාධා නොකොට එතනින් ඉවත්වීමයි. එහෙත් එයට වඩා වැදගත් හා ප්‍රභල වූ අනෙක් කාරණය මාවද ගෙනගියේ මගේද පාසල් කාලයටය. පාසලට පැමිණෙන යොවුන් , විශේෂයෙන්ම පියකරු ගුරුවරියන්ට අප ආදරය කළෙමු. ඔය වයසේදී සිසුවියන්ද තරුණ පිරිමි ගුරුවරුනට ආදරය කරන්නට ඇත. මේ ස්වාභාවික ලිංගික ආකර්ෂණය සම්පූර්ණයෙන්ම අහිංසකය. පිවිතුරුය. උක්කුං , තමා ආදරය කරන තම පුංචි ලොකයේ වීරවරියට පෙම්වතකු ඉන්නා බව දැනගැනීම ඔහුගේ සිහින ලෝකය බිඳ වැටීමකි. ඒ අපේක්ෂාභංගවූ ඔහුගේ ස්වරයට හා මුහුණේ ඇඳුණු බලාපොරොත්තුසුන් පෙනුමට හේතුව එය බව මගේ කුඩාකල අත්දැකීමෙන්ම මම සිතමි.

පාසලේ සිටින සිසුන් 18 දෙනාට උදා රැස්වීමේ දිනපතාම එක් සිසුවකුට කතාවක් කිරීමට උමා ආරම්භ කළ වැඩපිළිවෙළින් සිසුන්ගේ අභ්‍යන්තරය , ඔවුනගේ සිත් තුළ සිරවී තිබූ අදහස් සහ ඔවුනගේ සිහින පිළිබඳව ප්‍රේක්ෂකයා දැනුවත් කෙරේ. ඒ කතා අසා වුන් ප්‍රේක්ෂකයන් අතරින් කඳුළක් නොහෙළූ අයෙකු හෝ සුසුමක් නොහෙළූ අයෙකු වේනම් ඒ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි.
මුලින්ම කතා කළ උක්කුං තමන් ගැන කළ කථාවෙන්, ඉන්පසු තවත් දරුවකු මිනී මැරුමකට හිරේ ගිය තම පියා සහ තම පවුල ගැන කතා කළ කථාවෙන්, බස් රියදුරු ජස්ටින්ගේ පුත් සූකිරි තමන් නොදන්නා දේ ගැන කළ කථාවෙන් සහ දෑස් නොපෙනෙන උපුලී තමන්ට කිසිදා දැක ගැනීමට නොලැබෙන සහ අනෙකුත් සිසුනද කිසිඳා දැක නොතිබුණු මුහුඳ එසේත් නැතිනම් හෝ ගානා පොකුණ ගැන කළ කතාවෙන්ද ප්‍රේක්ෂකයාට ලැබෙන්නේ පණිවුඩ මල්ලකි. එමෙන්ම සමාජයේ සෑම තාරාතිරමම සහ ඔවුනගේ දැවෙන ප්‍රශ්න මේ මගින් නිරූපණය වූ බවද මම සිතමි.

අඳුරු ශාලාව තුළ මා අවට වුන් ප්‍රේක්ෂකයන්ගේ කඳුළු පිරි දෙනෙත් මට නොපෙනුණත් ඔවුන් සුසුම් හෙළන හඬ මගේ හදවත දවාලීය. ඒ දරුවන්ගේ කතා ඔස්සේ අප අපගේ ළමා කාලයට ගියෙමු. මේ සිහිනම අපට තිබිණි. නගරයේ විශාල පාසල්වල ළමෝ සැපට සනීපයට සිප් සතර හදාරද්දී ඈත හද්දා පිටිසර ගමේ ළමුන් හරි හමන් කෑමක් නැතිව කලන්තවී ඇද වැටුණහ. ඒවා නගරයේ ඇත්තෝ නොදුටුවෝය. මෙම සිනමා පටය නැරඹීමෙන් බහුතරයක් එවැනි දනන්ගේ ඇස් ඇරුණි.

ඉන්පසුව චිත්‍රපටය දිව යන්නේ හෝ ගානා පොකුණ නැරඹීමට යාම සඳහා වූ දරුවන්ගේ සිහිනය සඵල කරගන්නට උමා ඇතුළු පිරිස ගන්නා වෙහෙස විදහා දක්වමිනි. එහිදී බසයේ අයිතිකරු වන ගමේ ග්‍රාම සේවක තැනගේ අකටයුතු, රියදුරු බලපත්‍රයක් නොමැති රියදුරු ජස්ටින්ට බලපත්‍රය ලබා දීමට උමා ඇතුළු සිසු සිසුවියන් ගන්නා වෙහෙස සහ අවසානයේ ඔහුට බලපත්‍රය ලැබුණද ජස්ටින්ගේ බීම නිසා අසනීප වී ඔහුට නියමිත දිනයේ බස් රථය පැදවීමට නොහැකි වීම ඉතාමත්ම අපූරුවට සමහර දර්ශන වලදී හාස්‍ය රසයද උත්පාදනය කරමින් දිවයයි. බොරුවට පරලවී ග්‍රාමසේවකව රවටන ඔහුගේ බිරිඳගේ රංගනයද අපූරුය. ඉන්පසුව කවුරුත් බලාපොරොත්තු නොවූ පරිදි තමන්ම බසය පදවාගෙන මුහුද බැලීමට යාමට උමා සමත්වන අතර දරුවෝ කෙදිනකවත් නොදුටු මුහුඳේ රළ පාගමින් සතුටුවන අයුරු බලා සතුට උහුලාගත නොහැකිව මහා හඬින් හඬා වැටෙයි. විශාල වගකීමකින් එසේත් නැතිනම් කාර්‍යභාරයකින් තමා නිදහස් වූ බව එසේත් නැතිනම් ජය ගත් බව ඇගේ මුහුණේ ඇඳී ඇත. එවිටම ඇයගේ පෙම්වතා මදුවන්ත එතැනට පැමිණෙන අතර ඇයට විශාල ශක්තියක් ඉන් ලැබේ. තවමත් ප්‍රේක්ෂකයාට ඔහුගේ මුහුණ දර්ශනය නොවන අතර ඇය ආරම්භ කළ විප්ලවයේ පළමු ජයග්‍රහණටය මෙය බැව් ඔහුට පවසද්දී " හෝ ගානා පොකුණ " නම්වූ ඒ අති සාර්ථක , ප්‍රේක්ෂක හදට කතා කළ සිනමා පටය සමාප්තිය සනිටුහන් කරයි. කාලයකට පසු හොඳින්ම තෘප්තිමත්වූ එහෙත් කඳුළු පිරි දෙනෙතින් යුතු ප්‍රේක්ෂක මුහුණු මා වටා දෘශ්‍යමාන වෙයි.

මඩොල්දූව, හඳයා යන සිනමා පට සහ අඹයාළුවෝ ටෙලි නාටකයෙන් පසුව සිංහල ළමා සිනමා වෘක්ෂයේ හටගත් සුවඳවත්ම මල හෝ ගානා පොකුණ බව මගේ හැඟීමයි. එය ඔබ සැමගේද හැගීම බව මට විශ්වාසයි. ඉන්දික ෆඩිනැන්ඩ් නම්වූ ඒ ප්‍රතිභාපූර්ණ සිනමාකරුවාගේ මංගල සිනමා කෘතියවූ මෙයින්ම ඔහු වැඩකාරයකු බව රසික ප්‍රජාවට පෙන්වා හමාරය. එමෙන්ම උමාට රඟන නවක නිළි අනසුයා සුබසිංහගේ රංග කෞශල්‍යද අනර්ඝය. ඇයගේ අනාගතය යහපත්ය. ප්‍රවීණ නළු ජයලත් මනෝරත්න, ලූෂන් බුලත්සිංහල ඇතුළු සියලුම නළු නිළියන් හා විශේෂයෙන්ම ළමා නළු නිළියන්ගේ රංගනය ඉතමත්ම තාත්විකය. විශිෂ්ටය. එමෙන්ම චිත්‍රපටයේ සෑම දෙබසක්ම සහ දර්ශනයක්ම අපට මතුපිටින් පෙනෙනවාට වඩා විශාල අර්ථයක් ගෙන හැර පායි. සංගීත අධ්‍යක්ෂක දිනේෂ් සුබසිංහද සංගීතයෙන් අප අමතන්නේ ඉතා සියුම්වය.

එහෙත් කණගාටුවෙන් වුවත් එකම එක අතාත්වික දෙයක් ගැනද නොකියාම බැරිය. එනම් ගමේ අසරණ දරුවන්ට මෙතරම් පෘෂ්ටිමත් දරුවන් නොගෙන සාමන්‍ය කෙට්ටු , දුෂ්කර ගම්වලදී නිතර ඇස ගැටෙන අන්දමේ දරුවන් තෝරා ගත්තානම් මෙය තවත් තාත්විකවන බවය. මා මේ සඳහන් කළේ ග්‍රාම සේවකගේ පෘෂ්ටිමත් පුතා ගැන නොවේ. එමෙන්ම ගීත වලදී ඒ ගායිකාවගේ හඬ උමාට හරියටම ගැලපුනේ නැතැයි මට සිතේ. ඒත් මේ මට සිතුණු හැටිය.

අවසාන වශයෙන් මෙම සිනමාපටය රැගෙන ලංඩනයට ආ , චිත්‍රපටයේ සම නිෂ්පාදිකා යසෝදරා සරච්චන්ද්‍ර මහත්මියට සහ ප්‍රවේශ පත්‍රයක් මිලට ගෙන මෙය නරඹන්නට පැමිණ , ලංකාවේ අඩු පහසුකම් ඇති පවුල් නගා සිටුවා දරුවනට යහපත් අධ්‍යාපනයක් ලබා දීමට උපන්දින අරමුඳල විසින් කරගෙන යන මේ සැබෑ විප්ලවයට අත්වැලක් වූ හත්සියයකට වඩා වැඩිවූ සහෘද රසික කැලට උපන්දින අරමුදල වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.

සටහන: චන්දන ගුණසේකර

හෝ ගානා පොකුණ නැරඹුවෙමි……..

ඒ පසුගිය ඉරිදා, එනම් අප්‍රේල් මස දහ වෙනිදාය. එදින ලංඩන් නුවර හැරෝ පුරවරයේදී රොකට්ටුවක් නැති...

Posted by Api SriLankan on Tuesday, April 12, 2016