වොෂින්ටන් මහමෙව්නාව භාවනා අසපුවේ වෙසක් උත්සවය

tmadawela | 25 May, 2016 04:31PM | Leave a comment
ශ්‍රී බුද්ධ වර්ශ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පුන් පොහොය නිමිති කරගෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් නුවර මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කරන්නට යෙදුණ වෙසක් මංගල්‍යය පසුගිය 21 වෙනි දා සෙනසුරාදා සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා අසපු භූමියේ දී පැවැත්විණි.


ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ උතුම් තෙමගුල සිහි කරගනිමින් සිදු කළ මෙම අසිරිමත් පින්කම් මාලාව තෙමගුල් වන්දනාව, බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිසදම්ම සාරථී බුදු ගුණය නිරූපණය වන වෙසක් තොරණ, පහන් කූඩු, වෙසක් දන්සැල, ස්වර්ණමාලී මහ සෑ වරුණ ආදී නොයෙක් අංගයන්ගෙන් සමන්විත විය. පසුදා උදෑසන සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා සිදු කළ කිරි ආහාර සම්බුද්ධ පූජාවෙන් අවසන් වූ මෙම අසිරිමත් පින්කම් මාලාවට 200 කට අධික සැදැහැවතුන් පිරිසක් සහභාගී වී සිටිය හ.


මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේලා ගේ මෙහෙය වීමෙන් සිදු කළ මෙම පින්කම් සියල්ල අවසානයේ ලංකාවේ ගං වතුරෙන් හා නාය යෑමෙන් අවතැන් වී සිටින සියලුම දෙනා වෙනුවෙන් සහන සැලසීමේ වැඩ පිළිවෙලක් ද දියත් කෙරිණි. මේ උදාර වෙසක් පින්කමෙන් රැස් වූ එම තොරතුරු අසා දැන සම්බන්ධවූ සියලුදෙනාටම සතුටින් මෙම පින් අනුමෝදන් කරගනිමින් සුවපත් ජීවිත ගත කිරීමටත් අවසන අමා මහා නිවනින් සැනසීම උදාකර ගැනීමටත් හැකිවේවායි පිංකම අවසානයේ පුණ්‍යානුමොදනා කෙරුණි.