රාජා හා රාජ්ගේ නික්ම යෑම.....

Chandana Gunasekera | 04 Jul, 2015 07:05AM | Leave a comment
පසුගිය සතියේ ලංඩන්වාසී ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුම අපගෙන් සදහටම සමුගැනීමේ සිත පාරවන පුවත් අසන්නට ලැබිණි. ඒ රාජා මීහිටිය සහ වල්ලිපුරනාදන් තීබරාජ් යන මහතුන්ගේය.

එංගලන්තයේ ක්‍රියාත්මක වන විශාලම හා පැරණිම අසරණ සරණ සුබ සදක සංවිධානයක් වන " හෙළ සරණ පදනමේ" සභාපති වූ රාජා මීහිටියන්ව මට හඳුනාගන්නට ලැබූණේ 2003 වර්ෂයේදී පමණය. ඒ මගේ මස්සිනා( බිරිඳගේ මලණුවන්) ගේ මාර්ගයෙනි.

සංගීතය හදාරා නැතත් සර්පිනාව කනේ හුරැවට වාදනය කිරීමේ අති දක්ෂයෙකු වූ මගේ මස්සිනා සංගීතයට ඇති ඇල්ම නිසාම ඔහු වැනිම ගීත ගායනයට හා වාදනයට සමත් මිතුරැ මිතුරියන් කිහිප දෙනෙකු සමඟ කුඩා සංගීත කණ්ඩායමක් තනා ගෙන තිබුණි.

මෙම කණ්ඩායම වරක් ' සංධ්වනී යාත්‍රා' නමින් සංගීත ප්‍රසංගයක් ලංඩනයේ තේම්ස් නදියේ පාවෙන බෝට්ටුවක පැවැත්වූහ. මෙය නැරඹීමට පැමිණ සිටි රාජා මීහිටිය මහතා සහ එම මැතිනිය මගේ මස්සිනා ඇතුළු කනාඩායමේ ගීත සහ වාදනය ගැන පැහැදී තිබිණි. මේ හේතුව නිසා ඔවුන්ගේ සුබ සාධක සංවිධානය වූ හෙළ සරණේ වාර්ෂික මුදල් තර කිරීමේ ප්‍රසංගය සංගීතයෙන් පිනවීම මගේ මස්සිනා ඇතුළු පිරිසට පැවරිණි.

මෙහි පුහුණුවීම් කටයුතු එක් එක් සාමාජිකයන්ගේ නිවෙස්වල පැවැත්වූ අතර වරක් අප රාජා මීහිටිය මහතාගේ නිවසටද මෙවැනි පුහුණුවකට ගියෙමු. එදා මුල් වරට මේ නිහතමානී සමාජ සේවකයා, සුන්දර මිනිසා මට හමු විය.

වෘතියෙන් ඉංජිනේරැවකුවූ එතුමා , මමද එතුමාගේ වෘතියේම බව දැනගෙන තවත් මා හා කුළුපග විය. එසේම එතුමාගේ බිරිඳද මගේ බිරිඳ හා මිතුරැවූ අතර අපගේ දැනහැඳුනුම්කම හා සම්බන්ධය එම සංගීත උත්සවයෙන් පසුවද දිඟටම පැවතිණි. වරක් ඔවුන් දෙපළ අපේ නිවසට රාත්‍රී කෑමකටද ආවෝය. ඉතාම සොඳුරැ පුද්ගලයෙකු වූ රාජා මීහිටියන්ගේ සොඳුරැ වත සෑම මොහොතකම ඒ අව්‍යාජ සුන්දර සිනහවෙන් සැරසී තිබිණි. සැම අතරම ඉතා ජනප්‍රිය හා ක්‍රියාකාරී චරිතයක්වූ මීහිටිය මහතා තම සමකාලීනයන් අතර " රාජා" වූ අතර අප ඇතුළු ඊළඟ පරපුරේ ආදරණීය " රාජ අංකල් " විය.

අප ලංඩනයෙන් ඈතක පදිංචිවූ පසු ඔවුන් සමඟ සම්බන්ධය දුරස්වුවත් හමුවෙන සෑම අවස්ථාවකම ඉතමත්ම සුහදශීලීව අපේ සම්බන්ධය පැවතිණි. හෙළ සරණේ සමාජ සේවා වැඩ සඳහා එතුමා බොහෝවිට ලංකාවේ ගත කිරීමටත් පටන් ගැනනි. මේ හේතු නිසා වසරකින් පමණ එතුමා මට හමුවී තිබුණේ නැත. ගිය සතියේ ආරංචිවූ එතුමාගේ අභාවය අපට ඉතාමත්ම කනගාටුදායක පුවතක් වූ අතර අසරණ ජනතාවගේ පිහිටට සිටි විසල් හදක් ඇති මානව හිතවාදී සමාජ සේවකයෙකුද දැයට අහිමි විය.

මේ අතර ගිය සතියේ අප හැර ගිය වල්ලිපුර නාදන් තීබරාජ් මහතාව මම පුද්ගලිකව නොහැදුනුවත් එතුමාගේ ලංඩනයේ හැරෝහි පිහිටි රයිසින් සන් නම් හෝටලයට කිහිපවිටක්ම ගොස් තිබූ නිසා එතුමාව දැක ගන්නට ලැබී තිබුණි. එමෙන්ම එතුමා රැකියා අවස්ථා සපයාදුන් මගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන්ම එතුමා පිළිබඳව ගුණ ගායනාද අසන්නට ලැබිණි. කවුරැත් ඔහු හැදින්වූයේ නාදන් රාජ් නමිනි.

1973 වසරේ යාපනයේ පුලියන්කුඩාල් නම් ගම්මානයේ උපත ලැබූ මෙතුමා ලංඩනයේ රයිස්ලිප් පෙදෙසේ ජීවත් විය. ලංඩනයේ Rising Sun Hotel & Restaurant – Harrow, Goldman Estate Agents & Financial Services- Southall, VVN & Sons Ltd – Southall. යන ආයතනවල අධිපතිවූ හෙතෙම ශ්‍රී ලාංකිකයින් ඇතුළු විශාල පිරිසකට රැකියා අවස්ථා විවර කළේය.

වමතින් පන්දුවට පහරදුන් දක්ෂ ක්‍රිකට් පිතිකරැවකුද වූ මෙතුමා ලංඩනයේ ක්‍රිකට් කණ්ඩායම් තුනක්ම නියෝජනය කළේය. ඒ යාපනය හින්දු විද්‍යාලීය ජොලි ස්ටාර්ස්, සවුත්හෝල් ලන්කන්ස් ක්‍රිකට් සමාජය හා බෙස්බරෝ යන ක්‍රිකට් සමාජයි.

රාජා මීහිටිය මහතා ශ්‍රී ලංකාවේ වෙසෙන අසරණවූ අඩු පහසුකම් ඇති සැමටම සෙත සැලසීමට පෙරමුණ ගත්තේය. එතුමා ඒ වැඩ වලදී ජාතියක් , ජන්මයක් හෝ ආගමක් සැලකුවේ නැත. එතුමා සැලකුවේ මනුෂ්‍ය ජාතියටය.

එමෙන්ම නාදන් රාජ් මහතා තම ආයතනවල සේවය ලබාදුන්නේ සිංහල, දමිළ හෝ වෙන ජාතීන්ට පමණක් නොවේ. මනුෂ්‍ය ජාතියටය.

රාජා හෝ රාජ් යන මහතුන්ගේ ජාතිය හෝ ආගම මරැවා සැලකුවේ නැත. කැඳවීම ආවිට ලොව අනෙකුත් සියලුම සතුනට මෙන්ම ඔවුනටද යන්නට සිදුවිය. ඔවුන් කළාවූ යහපත් ක්‍රියාවන් පමණක් ඉතිරි විය. අප අදත් ,හෙටත්, මතුවටත් ඔවුන් ගැන කථා කරන්නේ ඒ නිසාය.

රාජා මීහිටිය මහතාගේ අවසාන කටයුතු ජුලි මස හතරවන සෙනසුරාදා ( Funeral of Mr Raja Meehitiya will be held on Saturday 04 July at Forest Park Crematorium, Forest Road, Hainault, Essex IG6 3HP at 11.00 am. ) සිදුකරනු ලබන අතර නාදන් රාජ් මහතාගේ අවසාන කටයුතු ජූලි මස පස්වන ඉරිදා සිදුකිරීමට නියමිතය.

මරණය මිටින්ගෙන මේ ලොවට ජනිතවන අප සැමගේම අවසාන ඉරණම මෙයයි. කළ හොඳ පමණක් මෙලොව ඉතිරි කොට සැවොම දිනෙක මේ ගමන යායුතුය.

රාජා සහ රාජ් මහතුනි මේ කණගාටුදායක මොහොතේ ඔබ දෙපළට සුබ ගමන් පතමින් මට සමු ගන්නට අවසර!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය