රටවල් පහක් සමඟ සංචාර ප්‍රවර්ධනයේ

Admin | 12 Aug, 2014 04:18PM | Leave a comment
.බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ජපානය හා කොරියාව යන රටවල් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධන බියුරෝව සැළැසුම් කර තිබේ.

වැඩසටහන් හි මුල් පියවර පසුගියදා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී ක්‍රියාවට නැංවිනි. එහිදී ශ්‍රී ලංකාවේ මන බදනා දසුන් වලින් සැරසූ කුලී රථ 300 ක ප්‍රමාණයක් ලන්ඩන් නගරයේ ධාවනයට එක් කැරිණි.
මෙම කුලී රථ වල පිටත සේම ඇතුළතද එවැනි දසුන් වලින් සරසා තිබුණි. ගමන අවසානයේ කුලී රථයෙන් ලබාදෙන බිල්පතෙහි පවා ශ්‍රී ලංකාවේ ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති ස්ථානයන් පිළිඹද සටහන් හා ඡායාරූප අන්තර්ගතය.
මෙම ව්‍යාපෘතිය පුරා සති 12 ක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉදිරියේදී බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර වන බර්මින්ග්හැම් හා මැන්චෙස්ටර් යන නගර වලටද මෙසේ විශේෂයෙන් සරසන ලද කුලී රථ හදුන්වාදීමට සැළසුම් කර ඇත.
කුලී රථ යනු විදෙස් රටවල පවා දිනපතාම නගර වල සැරිසරන්නක් වන හෙයින් එය යොදාගෙන වඩා ඵලදායී ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකිවනු ඇතැයි හදුනාගත් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන බියුරෝව පවසයි.
මෙම ව්‍යාපෘතියෙන් කුලී රථ වල ගමන් කරන්නන් පමණක් නොව. පදිකයින් හා වෙනත් රථ වාහන වල ගමන් කරන්නන්ද ඉලක්ක කෙරේ.
ඉදිරියේදී පෙරකී අනෙක් රටවලද මේ හා සමාන සංචාරක ප්‍රවර්ධන වැඩටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.