බෝ මළුවේ සුදු වැලි කැට.........

tmadawela | 01 Jan, 1970 12:00AM | Leave a comment
සටහන - චන්දන ගුණසේකර
සෙයාරූ තිස්ස මඩවල


සතියේ දින පහම කරත්තයක බැඳි ගොනුන්සේ වැඩ කොට සති අන්තයක් එළැඹෙන තුරැ සැවොම බලා සිටින්නේ බොහොම නොඉවසිල්ලෙනි. එහෙත් සිතනවටත් වඩා ඉක්මනින් ඒ දින දෙක ගෙවී යන්නේ නැවතත් දින පහක වැඩ මුරයකට අපව ගාල් කරමිනි.

මේ ගතවන සති අන්ත දෙස ආපසු හැරී බලද්දී සමහර විට අපේ සිතට එන්නෙ කලකිරීමකි. එයට හේතුව නම් කිසිම ආකාරයක ඵලදායී කටයුක්තකින් තොරව ඒ සතිඅන්ත බොහෝ ඉක්මනින් ගෙවී යාමය.

හැම සති අන්තයක් එන තුරැම බොහෝ කෑදරව බලාසිටින මම මේ සති අන්තය එනතුරැ නම් සිටියේ ඒ හැමදාටමත් වඩා ආසාවෙනි. ඒ වගේම නොඉවසිල්ලෙනි.

අද බක් මහේ දහඅට වෙනි සෙනසුරාදාය. තවත් සති අන්තයක ආරම්භයයි. ලංකාවේ සිටියා නම් අවුරැදු කා ඉස්මුරැත්තාවෙ ඉන්න සමයයි. එනමුත් මා සිටියේ නම් නිස්කලංක පංසලක සුදු වැලි අතුරපු බෝ මළුවේ වාඩි වී වැලි කැට දෙස බලාගෙනය. මද පවනක් හමා ඇදෙද්දි බෝධියෙන් ගිලිහුණු බෝ පතක් වැලිමළුව සිම්ඹත් මගෙ දැහැනට නම් එයින් බාධාවක් ඇති වුයේ නැත.

එහෙත් එකවරම මයික්‍රෆෝනයකින් ගලා ආ ආසිරි බංඩාර සොයුරාගේ හඬ මා පියවි ලොවට ඇද දමන්නට සමත් විණි. දැහැන බිඳිණි.

මා සිටියේ බටහිර ලංඩනයේ චිසික්(Chiswick) පුරවරයේ පිහිටි ලන්ඩන් බෞද්ධ විහාරයේ රැස්වීම් ශාලාවට එක්රැස්වී සිටි සහෘදයන් පිරිසක් අතරය.

සුදු වැලි ඇතිරෑ බෝ මළුවක් නොවූවත් ඒ සැනසිලි දායක සුවඳින් සහ සැනසීමෙන් මගේ ගත සිත පිරී පැවතිණි.

වෙනදාට සාමාන්‍යයෙන් මා විහාරස්ථානයට පැමිණෙන්නේ දානමය පුණ්‍යකර්මයකට සහභාගී වීමකටම පමණි. එහෙත් මේ සැදෑ යාමය වෙනත් අපූරැ කටයුක්තක් පන්සලේ සිදුවෙමින් පැවතිණි.

විහාරස්ථාන ශාලාවේ වේදිකාව ඉතාම චාම් අයුරින් සරසා තිබිණි. ශාලාව පැමිණ සිටි මහා සංඝරත්නයෙන් , ආරාධිත අමුත්තන්ගෙන් හා කලාකාමී රසවතුන්ගෙන් පිරී පැවතිණි.

විහාරස්ථානයේ ධර්මප්‍රචාරය කරමින් වැඩවසන ස්වාමින්වහන්සේ කෙනෙකු විසින් ළමයින් උදෙසා රචිත ළමා ගීත පොතක් හා ඒ ගීත ඇතුළත් සංයුක්ත තැටි දෙකක් දොරට වැඩුම හා ඒවා ජනගත කිරීම මේ උත්සවයේ අරමුණ විය.

පූජ්‍ය කෝන්වැවේ අරියරතන ඒ ස්වාමීන්වහන්සේයි. ප්‍රවීණ ගායක කරැණාරත්න දිවුල්ගනේ ගයන ' විරාජිනී' ගීතය ඇතුළු ගීත රාශියක් ලියූ උන්වහන්සේ ප්‍රවීණ ගේය පද රචකයෙකි.

අනුරාධපුරයේ කෝන්වැව ග්‍රාමයේ ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ වර්තමානයේ ලංඩන් බෞද්ධ විහාරයේ වැඩවාසය කරයි.

මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ නව කථාවේ එන සර්වලෝක සත්‍ය දනවන වදන් පෙළකින් උත්සවය ආරම්භ කළ ආසිරි බංඩාරයෝ, මීට අවුරැදු 17 කට පෙර මෙවැනිම දිනයක සහ වෙලාවකම මෙලොව හැරගිය අරියරතන හාමුදුරැවන්ගේ ආදරණීය පියාණන් වන්ඳනය කිරීමට උන්වහන්සේට ආරාධනය කළේ රැස්ව උන් සැමගේම නෙතු අගට කඳුළක් එක් කරමිනි.

ඉන්පසු අත්තනායක සොයුරා විසින් ඉදිරිපත් කළ මඟුල් බෙර වාදනය මධ්‍යයේ චිරාගත සම්ප්‍රදායට අනුව ආරාධිතයින් විසින් පොල්තෙල් පහන දල්වා උත්සවයේ වැඩකටයුතු ආරම්භ කෙරිණි.

ඉතාමත්ම ප්‍රබෝධමත්ව හා සතුටු සිතින් යුතුව අරියරතන හිමියෝ පැමිණ සිටි පිරිස පිළිගත් සේක.

පූජ්‍ය තවලම බන්දුල හිමියන් විසින් පැමිණ සිටි ගිහි පිරිස පංචශීලයෙහි පිහිට වූ අතර අති පූජ්‍ය බෝගොඩ සීලවිමල හිමියන් කෙටි අනුශාසනාවක් පැවැත්වූහ.

එහිදී අදහස් දැක්වූ උන් වහන්සේ අරියරතන හිමියන් පන්සලේ ඔබ මොබ ගමන් කරද්දී පවා යම් යම් දේ මුමුණමින් යන බවත් ඒ මුමුනන්නේ ගොතන කවිපද බව දැනගත්තේ මෑතකදී බවත් වදාළේ සභාව සිනා සයුරේ ගිල්වමිනි.

ලංකාවේ බොහෝ භික්ෂූන් අතුරින් තමා අරියරතන හිමියන්ව ධර්මප්‍රචාරය සඳහා තෝරාගැනීම ගැන ඉතා සතුටුවන බවත් උන්වහන්සේ පංසලට සම්පතක් බවත් පැමිණ සිටි පිරිසගේ අත්පොළසන් හඬ මධ්‍යයේ වැඩිදුරටත් පැවසූ සේක.

ඉන්පසු අරියරතන හිමියන් විසින් රචිත තිස්ස මඩවලයන්ගේ රෑප රචනයෙන් පෝෂිත වූ සමනලී නාකන්දල දියණිය ගායනා කරන ' පාට පාට මල්' ගීතය වාදනය විය. එම ගීතයට රංගනයෙන් දායක වී තිබුණේ ලන්ඩන් බෞද්ධ විහාර දහම් පාසලේ සිඟිති දැරියන් පිරිසකි.

ගීතයට සවන් දීමෙන් අනතුරැව අරියරතන හිමියන් විසින් ' බෝ මළුවේ සුදු වැලි කැට' ග්‍රන්ථය සහ සංයුක්ත තැටි වැඩවදාළ මහා සංග්‍යා වහන්සේට සහ ආරාධිත අමුත්තන්ට පිළිගැන්වීමෙන් ඒවා දොරට වැඩුම සිදු කරන ලද්දේ අත්තනායක සොයුරාගේ බෙර වාදනය මධ්‍යයේ වීම තවත් විශේෂ සිදුවීමකි.

ප්‍රධාන අමුත්තා ලෙස සභාව ඇමතූ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් (වැඩ බලන) ආචාර්ය චානක තල්පහේවා මහතා අරියරතන හිමියන්ගේ මෙම ව්‍යායාමය අපගේ අනාගත පරපුර වෙනුවෙන් කළ කාලෝචිත හා ඉතාමත්ම වටිනා සමාජ සත්කාරයක් බව පැවසීය.

පුංචි පුංචි තාරකා ගීතයට සැවොම සම වැදුණේ ඉන් අනතුරැවය.

සුගත් සෙනවිරත්න මහතා හරවත් දෙසුමකින්ම ප්‍රධාන දේශනය සඳහා එංගලන්තයේ ආසියානු හා අප්‍රිකානු විෂයන් පිළිබඳ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමල් ගුණසේනයන්ට ආරාධනා කෙරැණි.

ආචාර්‍ය ගුණසේනයෝ සිංදුව පිළිබඳවත් ගද්‍ය , පද්‍ය සහ ගේය පද රචනාවන්හී මහා සංඝ රත්නයේ දායකත්වය පිළිබඳවත් හරවත් දේශනයක් කළහ. එතුමා ' බෝ මළුවේ සුදු වැලි කැට' ගීතය පිළිබඳවත් මනරම් විචාරයක් කිරීමටද අමතක නොකළේය.

ඉන්පසුව වාදනය වූයේ එම ගීතයයි.

උත්සවයට මහා ජීවයක් එකතු කළ පූජ්‍ය දඹර අමිල ස්වාමින්වහන්සේගේ දේශනය ඇරඹුණේ සභාව ඒකාලෝක කරමිනි. ඉතා චතුර ලෙස කතා කල උන්වහන්සේ ඝෘජු සහ හාස්‍ය රස වෑහූ තම දේශනයෙන් සැවොම සිනා සයුරේ ගිල්වූහ. උන්වහන්සේගේ මුළු කථාවේදීම මා ඇස් පිල්ලමක් හෝ ගැසුවේ බොහෝ පරිස්සමිනි. ඒ වචනයක් හෝ එක් අංගචලනයක් හෝ මගහැරේවිදෝයි යන බිය නිසාය.

කලාව මිනිසා විසින්ම සොයාගත් බවත් කලින් කලට ඒවා වර්ධනය වූ බවත් පෙන්වා දුන් උන්වහන්සේ ආරියරත්න හිමියන්ට සුබ පතා තම දෙසුම අවසන් කළ විට කතාව තවත් දික් වූවානම් කෙතරම් හොඳදැයි මට සිතිණි. සභාවේ සියලු දෙනාටමද එසේ සිතුණු බවට කිසිදු සැකයක් නැත.

ඉන්පසු එළැඹියේ රසවතුන්ගේ අදහස් දැක්වීමේ හෝරාවයි.

එහිදී වෛද්‍ය උපාලි අබේසිරි මහතා , මදාරා කුමාර් මහත්මිය , උදේන ද සිල්වා මහතා, කුමාරි විජේරත්න මහත්මිය හා කුමාරි පේරැසිංහ මහත්මිය තම අදහස් දැක්වූහ.

අරියරතන හිමියන්ගේ නිර්මාණ සහ දරැවන් වෙනුවෙන් ගීත බිහිනොවන මෙවන් සමයක කළ මේ සත් ක්‍රියාව සැමගේම ප්‍රශංසාවට ලක්විය.

මදාරා කුමාර් මහත්මිය මවක වශයෙන් දරැවන්ට මෙම ගීත වලින් සිදුවන සෙත පැහැදිලි කළාය.

තම රෝගි තත්වය පවා නොතකා උත්සවයට සහභාගී වූ කුමාරී පේරැසිංහ මහත්මිය එතුමිය විසින් ඉංග්‍රීසි බසින් රචිත නිසැඳසකින් අරියරතන හිමියන්ට උපහාර දැක්වූවාය.

අවසානයේ ස්තූති කතාව කළ කොන්වැවේ හිමියෝ බොහෝ හැගීම්බර වූහ. පැමිණ සිටි සහ නන් අයුරින් උදව් උපකාර කළ සැමටම ස්තූති කළහ.

එසේම කළා නිර්මාණ වලට මහා මුදල් සම්භාරයක් නොමැතිව කිසිදු මාධ්‍ය ප්‍රචාරයක් ලබා නොගත හැකිබවත් මුදල් නොමැති කම නිසා බොහෝ නිර්මාණ ජනතාව අතරට නොයන බවත් ඉතා කනස්සල්ලෙන් පැවසූ සේක.

සිංදු නිර්මාණය, සංයුක්ත තැටි හා පොත මුද්‍රණයට ලංකාවේදී ගුරැවරයෙකු වශයෙන් ඉපැයූ මුදල් සහ තම පියාගෙන් ලැබුණු දේපල සියල්ලම වැය කළ බවත් දැන අත පය පමණක් උරැම තමන්ට ඒ ගැන කිසිදු දුකක් නැති බවත් ඒ සියල්ල දරැවන් වෙනුවෙන් යමක් කිරීමට යෙදවීම පිළබඳ තමා ඉතාමත්ම සතුටුවන බවත් පැවසූ සේක. අවසාන වශයෙන් මේ පොත් සහ සංයුක්ත තැටි කැමති ආධාරයක් දී මිලදී ගන්නා ලෙසත් එය තමන්ට අවශ්‍ය නැතිනම් ලංකාවේ සිටින ළමයෙකුට හෝ දෙන ලෙසත් පවසා මෙසේ කියන්නේ මෙයින් මුදල් උපයා පෝසතකු වීමට නොව එයින් ළමයිනට සෙතක් සැලසීමට බවත් වදාළේ මගේ නෙතට කඳුළක් එක් කරමිනි.

ජය සිරිමා බෝ සෙවණේ ගීතයට සවන් දීමෙන් අනතුරැව උත්සවයේ වැඩ නිමවූ අතර පැමිණ සිටි රසවතුන් පිළියෙල කර තිබූ තේ පැන් සංග්‍රහය භුක්ති විඳ තම නිවෙස් කරා ඇදුණේ මේ අවුරැද්දේ හොඳම සෙනසුරාදා සන්ධ්‍යාව ගත කළානේදෝයි යන තෘප්තිමත් හැගීමෙන් තම සිත් සතන් පුරවාගෙනය.

කෝන්වැවේ අරියරතන හාමුදුරැවන්ට තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට අවශ්‍ය ශක්තිය,දහිරිය, සිතේ සැනසීම හා නීරෝගී සුවය ලැබේවායී පතමින් මා සමු ගන්නේ මේ සති අන්තය බොහෝ ඵලදායී කරගැනීමට දායක වූ උන්වහන්සේට පිං දෙන ඒ සියලුම රසවතුන් හා එක්වෙමිනි.

තම මධුර කථනයෙන් දායකවෙමින් වැඩසටහන අපූරැවට මෙහෙයවූ ආසිරි බණ්ඩාර සොයුරාටත් හැමදාමත් මෙන් කැමරාකරනයෙන් සහයවූ අපට සම්පතක් වූ ප්‍රවීණ කැමරාශිල්පී තිස්ස මඩවල මහතාටත් ප්‍රචාරක කටයුතු මැනෙවින් කළ සිලෝන් යුකේ ( Ceylon UK )පුවත්පත ඇතුළු සියළුම වෙබ් අඩවි වලටත් මගේ ප්‍රණාමය!