ලන්ඩනයේ අතුල දස්සන පන්සලෙන් සමාජ සත්කාරයක්

tmadawela | 08 Jan, 2017 06:00PM | Leave a comment
අප රටේ අඩු ආදායම් ලාභී පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා අත හිතදීමේ බලාපොරොත්තුවෙන් ලන්ඩන් නුවර අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයෙන් දියත් කර ඇති සමාජ සුභ සාධක වැඩකටයුතු මෙවසරේදීද තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් කරන බව විහාරාධිපති පුජ්‍ය වඳුරඹ කස්සප හිමියෝ පවසති.

 

මෙම වැඩපිළිවෙල යටතේ පසුගියදා බොරැල්ල අතුල දස්සන විහාරස්ථානයේදී ශ්‍රී ලංකාවේ ගම්බද පාසල් කිහිපයක සිසු සිසුවියන් සඳහා අවශ්‍ය පාසල් උපකරණ, පාසල් නිළ ඇඳුම් සඳහා රෙදි සහ ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයක් පවත්වනු ලැබිය.

 

මෙම උත්සවය සඳහා ලන්ඩන් නුවර සිට කස්සප හිමියන් සමඟ එම සුභ සාදක වැඩපිළිවෙල සඳහා අනුග්‍රාහකත්වය සපයන ලද දොස්තර නිශානි බජ්රමොවිච්,අන්ජු ටමාන්ග්,සල්මා ආර්නෝල්ඩ් සහ අසංක හේමචන්ද්‍රද සහභාගී වුහ.

 

අන්ජු සහ සල්මා සේවය කරන ලන්ඩන් නුවර එස්තරික් දන්ත විද්‍යා සායනය විසින් මෙරම සුභසාදන කටයුත්ත සඳහා ඉතාම කෙටි කාලයක් ඇතුලත බ්‍රිතාන්‍ය පවුම් 1200 ක් ( රුපියල් 2,19000.00 ) එකතුකර දුන් බවද අතුල දස්සන විහාරස්ථානයේ සමාජ සුභ සාදක වැඩ පිළිවෙල සඳහා අනුග්‍රාහකයින් වැඩි වැඩියෙන් ඉදිරිපත්වීම හේතුවෙන් මෙවර පසුගිය වසරට වඩා වැඩි ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පිරිනැමීමට හැකිවූ බවද කස්සපහිමියෝ කෘතඥතා පුර්වකව පැවසුහ.

 

මෙවර ගම්බද පාසල් වලින් තෝරාගත් දරු දැරියන් 80 දෙනෙකුට මෙම පරිත්‍යාග ලබාදී අත. එම අවස්ථාවට සහභාගිවූ සියලුම දරු දැරියන්, ගුරු මහත්ම මහත්මීන් සහ දෙමාපියන්හට කොළඹ ගංගාරාමය වැඳ පුදා ගැනීම සඳහාත් ගාලු මුවදොර ඇතුළු අනෙකුත් ස්ථාන නැරඹීම සඳහාත් අවස්තාවක් ලබාදී අත. එම චාරිකාව සඳහා සහභාගිවූ සමහර දරු දැරියන් එම ස්ථාන දැක බලාගත් පළමු අවස්ථාව එය බවද ඔවුනට අවශ්‍ය තෑගි බෝග සහ ශිෂ්‍යත්ව ලබාදෙමින් කල උපකාර සඳහා කස්සප හිමියන් ඇතුළු සියලුදෙනා වෙත පින් පමුණුවන බවද පැවසුහ.

 

මෙම අවස්ථාවට සහභාගීවූ බොරැල්ල අතුල දස්සන විහාරාධිපති පුජ්‍ය අතුල හිමියෝ කස්සප හිමියන් ඇතුළු ලන්ඩන් නුවර අතුල දස්සන විහාරස්ථානයේ සැමට මෙවන් දෑහිතකාමි සමාජ සත්කාරයන් ඉටුකිරීම සඳහා තවදුරටත් ශක්තිය සහ ධෛර්යය ලැබේවායි සුභාශින්ෂණය කළහ. මෙම වැඩකටයුත්ත සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ සියලුමදෙනාහටත් සහභාගිවූ සැමටත් කස්සපහිමියෝ පුන්යානුමොදනා කළහ.