ලන්ඩනයේ දෝංකාර දෙන අපේ කළා අසිරිය

tmadawela | 11 May, 2016 09:34PM | Leave a comment
ශ්‍රී ලාංකික උරුමය, සංස්කෘතිය හා කළා සම්ප්‍රදායයන් එක්තැන්කෙරෙන සුවිසේෂී කළා උළෙලක් ලබන 14 වන සෙනසුරාදා ලන්ඩන් නුවරදී පැවැත්වෙයි.

බ්‍රිතාන්‍යයේ විවිධ නඟරවල මෙන්ම ඉතාලියේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජිවත්වන ප්‍රවීන සිංහල නර්තන ශිල්පින් බොහෝදෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කරන මෙම කළා උළෙල නම් කොට ඇත්තේ "දෝංකාර" නමිනි.
සංවිධායකයින් වෙනුවෙන් මෙම කළා උළෙල පිළිබඳ අදහස් දැක්වූ ක්‍රිස් මඩපාත කළාකරුවා පැවසුවේ ලන්ඩන් නුවරදී මිට පෙර ඉදිරිපත් නොකෙරුණ අන්දමේ ශ්‍රී ලාංකික කාටත් ආඩම්බර විය හැකි නිර්මානාත්මක නර්තන හා වාධ්‍ය අංගයන්ගෙන් සමන්විත උසස් වැඩසටහනක් ඉදිරිපත් කිරීම ඔවුනගේ බලාපොරොත්තුව බවයි.

නුවර කලාවියේ ශාන්ති කර්ම, ගැමි නැටුම් ගැයුම්, උඩරට කංකාරි, සබරගමුවේ සම්ප්‍රදායික නැටුම්,පහතරට බලි තොවිල් ආදී ශ්‍රී ලංකාවේ ප්‍රචලිත නර්තන විශේෂයන් මෙම සංදර්ශනය සඳහා ඇතුලත් වෙයි.
එය එක දිගට ගලායන කථාවක අනුසාරයෙන් අප රටේ විවිධ පළාත්වල නැටුම් හා ගැයුම් ඉදිරිපත් කිරීම සංවිධායකයින්ගේ බලාපොරොත්තුවයි. සංදර්ශනයේ පළමු භාගයේ දී ලංකාවේ විවිධ පළාත්වල සංචාරයක යෙදෙන විදේශිකයකු අපගේ නැටුම් ගැයුම් දැකීමෙන් ලබන වින්දනයද ද්වීතීය භාගයේ දී එම විදේශිකයා තමන් අත්විඳි හා පෙම් බැඳි ඒ කලාශිල්ප තම රටට ගොස් අත්හදා බලන අන්දමත් රඟ දක්වන අන්දමත් නිරූපණය කෙරෙයි. මේ අත්දැකීම ඔහුට "දෝංකාරයක්" මෙන් නැවත නැවත ඇසේ. ඔහුගේ මාර්ගයෙන් දෝංකාර නැංවෙන්නේ අපගේම කළා සම්ප්‍රදායයන්ගේ ඇති පොහොසත් කමයි.

කළා උළෙල පිලිබඳ අදහස් දැක්වූ ලන්ඩනයේ පදිංචි රචකයෙකු, කවියෙකු හා කළා කරුවකු වන චන්දන ගුණසේකර පැවසුවේ මෙවැනි අදහසකි "අපගේ සාම්ප්‍රදායික උරුමයන් හා කලාශිල්ප වියැකියන මේ වකවානුවේ ඔවුනගේ මේ ව්‍යායාමය අප අගය කළ යුතුය. මේ තරුණ පිරිසට අපගේ උපරිම සහය ලබාදිම ඉතාම වැදගත් වන්නේය. එය අපට පමණක් නොව අපගේ දුවා දරුවන්ටද තමන්ගේ මව්බිමේ අභිමානය හා උරුමය දැන හැඳින ගැනීමේ කැටපතක්වනු ඇත. ඔවුන් හා මව්බිම යාකරන පාලමක් වනු ඇත.මේ තරුණ නැටුම් කණ්ඩායමත් සමඟ දැනටමත් ලංඩනයේ අපට සිටින සම්පතක් වන් අත්තනායක යුවලද සිටීම අපගේ භාග්‍යකි. එදා දහඅට සන්නියේ බෙර පදයට , යක් නැටුමට , වඩිග පටුනට වශී වූ අප දාහතර වෙනිදා ඒ සියල්ලම දුරුරට සිටම විඳගන්නෙමු."

පැරණි සිංහල චරිත්රානුකුලව මෙම කළා මංගල්‍යය සඳහා මුල් ආරාධනය පසුගියදා සංවිධායකයින් විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලන්ඩනයේ ඉන්නා අපගේ ප්‍රධාන පුරවැසියා වන වැඩ බලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් සුගීශ්වර ගුනරත්නවෙත පිළිගන්වනු ලැබිය. එම අවස්ථාවට මහ කොමසාරිස් කාර්යාලයේ මනෝජ් වර්ණපාල සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ලන්ඩන් නියෝජිත නලින් පෙරේරාද සහභාගී වුහ.

මෙම සුවිසේෂි සංස්කෘතික සංදර්ශනය පැවැත්වෙන්නේ මැයි මස 14 වන සෙනසුරාදා සවස 6 සිට 8 දක්වා වොට්ඵර්ඩ් නඟරයේ මනරම් "කොලසියම්" නාට්‍ය ශාලාවේදීය.

Event information: www.apisrilankan.com/event/dhongkara-secret-language-culture-will-tells-story-world