බ්‍රිතාන්‍ය නව මන්ත්‍රී රනිල්ගේ පියා ලන්ඩන් ගියේ ලංකාවේ දේශපාලනය එපාවෙලා

tmadawela | 01 Jan, 1970 12:00AM | Leave a comment
ශ්‍රී ලාංකික දේශපාලන පසුබිමක් ඇති පවුලකින් පැවතෙන 29 හැවිරිදි රනිල් ජයවර්ධන මැයි මස 07 වෙනි දින පැවැත්වුන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී වැඩි ඡන්ද 29,916 කින් ඊසානදිග හැම්ප්ෂයර් අසුන ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ඔහුගේ පියා නලින් ජයවර්ධන හොරණ අඟුරුවාතොට උපන් අයෙකි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේය.

නලින් ජයවර්ධනගේ පියා හෙන්රි ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවී දේශපාලනයෙහි නිරත විය. හෙන්රි ජයවර්ධන වයස අවුරුදු 26 දී අඟුරුවාතොට ගම් සභාවේ සභාපති තනතුරට පත්වී වසර 20 කට වඩා කටයුතු කළේය. ඔහුගේ සෙවනේ හැදුන වැඩුන නලින් ජයවර්ධනද දේශපාලනය කෙරෙහි නිරායාශයෙන්ම ඇල්මක් ඇතිකර ගත්තේය. කුඩා කල සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට ඔහුද සම්බන්ධවී කටයුතු කළේය.

හෙන්රි ජයවර්ධන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිව සිටි කාලයේ බණ්ඩාරගම ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ඉල්ලා සිටියේය. එහෙත් ප්‍රාදේශීය දේශපාලනයේ දීර්ග පළපුරුද්දක් තිබුණු ඔහුට නාමයෝජනා නොලැබුණි. ඒවෙනුවට බණ්ඩාරගම ආසනයට නාම යෝජනා ලබාදීම සඳහා පක්ෂ තේරීම් කමිටුව තෝරාගත්තේ දේශපාලනයට නවකයෙකුවූ හර්බට් වික්‍රමසිංහය.
වසර 20ක දේශපාලන පලපුරුද්දක් තිබූ තම පියාට පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීමේ අවස්තාව ලබා නොදීම නිසා තරුණ නලින් ජයවර්ධනට ලංකාවේ දේශපාලනය එපා විය.

1965 මැතිවරණයෙන් මැතිනියගේ රජය පරාජය වූ පසුව පිහිටවූ ඩඩ්ලි සේනානායක ගේ එක්සත් ජාතික පක්ෂ රජය පැවති කාලයේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවටත් ගුවන් හමුදාවටත් බැඳීමට ගත් උත්සාහයද සුදුසුකම් තිබියදීත්,දේශපාලන හේතු මත අසාර්ථකවිය.
ඔහු එංගලන්තයට එන්නේ ඉන් පසුවය.ලන්ඩන් නුවරදී ගණකාධිකරණය හැදෑරු ඔහු පසුව වෙස්මින්ස්ටෙර් විශ්ව විද්‍යාලයෙන් එම බී ඒ උපාධියක් දිනා ගත්තේය.ඒකාලයේ සිටම ඔහු දේශපාලන කටයුතු වලට සම්බන්ධ විය.

ඒ අතරවාරයේ තමන් උගත් දෙය වෙනත් අයට බෙදාදීමේ අරමුණෙන් කලක් ඔහුගේම සමාගමක් පිහිටුවා කටයුතු කළේය.
ටික කලකට පසුව හැම්ප්ෂයර් නගර සභාවට ඔහු කොන්සර්වෙටිවේ පක්ෂයෙන් තරඟ කිරීමේ අවස්ථාවද ඔහුට දෙවතාවක්ම ලැබුණි.රනිල් ජයවර්ධන ඔහුගේ වැඩිමහල් පුතාය. නලීන් ජයවර්ධනට තුෂානි ජයවර්ධන නමින් දියණියක්ද රවීන්ද්‍ර ජයවර්ධන නමින් බාල පුතෙක් ද සිටිති.

ඔහුගේ බිරිඳ ඉන්දිරා ජයවර්ධනයි. ඇය පාසල් පාලිකාවකි. තුෂානි දියණිය දැනට රැකියාවක නිරතව සිටී. බාල පුතා රවීන්ද්‍ර ලන්ඩන් නුවර ආර්ථික හා දේශපාලන විද්‍යාව පිලිබඳ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබයි.ගෙදර නිතර දෙවේලේ දේශපාලනය කතාබස් කෙරුන නිසා ලොකු පුතා රනිල් ජයවර්ධන වයස 11 සිටම දේශපාලනය පිලිබඳ උනන්දුවක් ඇතිකර ගත්තේය.

රනිල් ජයවර්ධන, 1986 දී ඊසාන දිග හැම්ප්ෂයර් පළාතේම උපත ලබා ගමේ පාසැලින් මුලික අධ්‍යාපනය ද, ලන්ඩනයේ ආර්ථික හා දේශපාලන විද්‍යාව පිලිබඳ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධිය ලැබුවෙකි. වෘත්තීයෙන් බැංකු කරුවෙකි.කලක් ඔහු ලොයිඩ්ස් බැංකුවේ කළමනා කරුවෙකු ලෙස රැකියාවක් කර ඇත.තම පාසැල් සමයේ පෙම්වතිය වූ ඉංග්‍රීසි ජාතික ඇලිසන් හා විවාහ වී සිටී. ඔවුනට ඩේසි ජයවර්ධන නම් සති කිහිපයක් වයසැති දියණියක් ඇත.

මාර්ගරට් තැචර් කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙස සිටි කාලයේදී රනිල් ජයවර්ධනට බේසින්ස්ටෝර්ක් සහ ඩීන් නගර සභාව සඳහා කොන්සර්වේටිව් පක්ෂයෙන් තරග කිරීමේ අවස්තාව ලැබිණි. ඔහු මුලින්ම දේශපාලනයේ අත්පොත් තැබුවේ එතැනෙනි.
2008 සිට ඔහු හැම්ෂයර් නගර සභාවේ මන්ත්‍රී වරයෙකු ලෙසද 2012 සිට එහි උප නගරාධිපති වරයා ලෙසද කටයුතු කර ඇත.පසුගිය වසර 8 ක් තුලම ඔහු නාගරික මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කරමින් බ්‍රිතාන්‍ය දේශපාලනය පිලිබඳ වටිනා අත්දැකීම් සම්භාරයක් මෙන්ම මනා පරිචයක්ද ලබාගත්තේය. මේකාලය තුල ප්‍රදේශයේ සෞඛ්‍යය සේවා, අධ්‍යාපන කටයුතු, සමාජ සුභසාදනය, ආරක්ෂාව වැනි අංශයන්ගේ දියුණුව උදෙසා මහත් කැපවීමකින් කටයුතු කර ඇති ඔහු ප්‍රදේශයේ ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පත්වීමටද සමත්විය.

පවුලේ සියලුදෙනාම නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට යන එන බවත් ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන්තුල ලොකු ඇල්මක් ඇති බවත් නලින් ජයවර්ධන කියයි.ශ්‍රී ලංකාව පිලිබඳ එල් ටී ටී ඊ හිතවාදීන් ගෙනයන ප්‍රචාර පිළිබඳව තම දරුවන්, විශේෂයෙන් රනිල්, නිරන්තරයෙන් දැනුවත් කරන බවත්,එම ප්‍රචාරයන්ට එරෙහිව ඇත්ත තත්වය කියාපෑමට රනිල් තුල ලොකු උනන්දුවක් ඇති බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල ඒ සඳහා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටින බවත් නලින් ජයවර්ධන කියයි.
නව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ඉතාම නිරහන්කාර පුද්ගලයෙකි. පින්තුරයක පෙනීසිටින විට පවා ඔහු අනෙත් අයට ඉදිරිය ලබාදී පිටුපසින් සිට ගැනීමට උත්සාහ කරන බව පෙනීයන දෙයකි.

තම දෙටු පුතනුවන් ලැබූ මේ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳව පවුලේ සැම බෙහෙවින් සතුටුවන බව පවසන නලින් ජයවර්ධන මේ අවස්ථාව දැක බලාගැනීමට තම පියා වන හෙන්රි ජයවර්ධනයන් ජීවත්ව සිටියානම් ඔහුද ඊටත් වඩා සතුටට පත්වනු නොඅනුමාන බවද පවසයි.

මුල සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ දේශපාලනයෙහි නියැළුන තමන් දේශපාලනයෙහි කිසියම් ගමනක් යමින් සිටින තම පුතනුවන් හට එම පක්ෂයේ වත්මන් ප්‍රධානීන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හඳුන්වාදී ශ්‍රී ලංකාවේ දේශපාලනය ප්‍රගතිය සඳහා සුභවාදී අනුග්‍රහයක් මෙන්ම සහභාගිත්වයක් ලබාදීමට කටයුතුකිරීමේ හැකියාව පිළිබඳවද තමන් සිත්තුල ඇල්මක් ඇති බවද නලින් ජයවර්ධන කියයි.

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමියන් අඟුරුවාතොට වැඩසිටි කාලයේ ඉතා ළඟින් ඇසුරු කළ බවද දැනුත් උන්වහන්සේ සමඟ නිතර කතා බස් කරන බවද නලින් ජයවර්ධන පවසයි.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ හිටපු සභාපති අභාවප්‍රාප්ත පරාක්‍රම රණසිංහගේ බිරිඳ වන මානෙල් රණසිංහ ඔහුගේ ඥාති සොහොයුරියකි.

නිහතමානි, ගුණ ගරුක, සුරුබුහුටි, මිත්‍රශීලී තරුණ චරිතයක් වන රනිල් ජයවර්ධනට බ්‍රිතාන්‍ය දේශපාලනයේ දිගු ගමනක් යාහැකිබව බොහෝදෙනා කියති.