බහරේන් රෆා "අපේ පන්සලේ" පොසොන් පින්කමක්

tmadawela | 14 Jun, 2015 05:28PM | Leave a comment
බහරේන්හි රෆා නඟරයේ පවත්වාගෙන යන " අපේ පන්සල" බෞද්ධ මධ්‍යස්ථානය මෙවරත් පොසොන් පිංකම උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇත.

සැදැහැවත් බෞද්ධයෙකු වන සුමිත් ගුණසේකර විසින් 2009 වසරේදී ආරම්භ කල මෙම ආගමික ස්ථානය එම ප්‍රදේශයේ ස්ථාපිත කෙරුන ප්‍රථම බෞද්ධ මධ්‍යස්ථානය වන බව මේ පිළිබඳව තොරතුරු ලබාදුන් සුදේශ් කරුණාතිලක පැවසිය.

වීවිධ දුෂ්කරතා මැද්දේ පවත්වාගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් සෑම වසරකම වෙසක් සහ පොසොන් පින්කම් මෙන්ම අනෙකුත් ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සව බොහෝ කලක සිට බහරේන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමට පවත්වනු ලබයි.

මෙම මධ්‍යස්ථානය සැබවින්ම ශ්‍රී ලංකාවේ විහාරස්ථානයක දැකිය හැකි බොහෝ අංගෝපාන්ගයන් ගෙන් සමන්විතවෙයි. එහි මනරම් බුදු මැඳුරක් ඇත. ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද බෝධීන් වහන්සේ නමක් වැඩ හිඳී. ඉඩ සහ අවසර ලැබෙන ප්‍රමාණයට නිර්මාණය කෙරුන වෙහෙර වහන්සේ නමක්ද ඇත.

වෙහෙස මහන්සිවී දුෂ්කර පරිසරයක රැකියා කරන ශ්‍රී ලාංකිකයින් හට මෙම ස්ථානයට පැමිණීමෙන්ම ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ විහාරස්ථානයකට ඇතුල්වන විට ඕනෑම බෞද්ධයෙකුහට දැනෙන අන්දමේ අසීමිත මානසික සුවයකි.

මෙවර පොසොන් පිංකම පවත්වා ඇත්තේ 7 වන වතාවටය.ඒ සඳහා රෆා අපේ පන්සලේ දායක කාරකාදීන් සුවිසේශී වැඩසටහන් රැසක්ම සංවිධානය කර තිබුණි.

එහි විශේෂ තැනක් ගෙන ඇත්තේ පොසොන් උත්සවය උදෙසාම ඉතාම කෙටි කාල සීමාවක් තුල නිර්මාණය කොට මහජන ප්‍රදර්ශණයට ඉදිරිපත් කළ මහා පහන් කූඩුවයි. මෙයට අමතරව දහසක් දෙනා වෙනුවෙන් ප්‍රනීත ශ්‍රී ලාංකික ආහාර පාන ඇතුළත්වූ පොසොන් බත් දන්සලක් ද පවත්වා ඇත.

පොසොන් පොහෝදින පිංකම සඳහා විශාල පිරිසක් සහභාගීවූවී ඇත. වැඩකටයුතු ආරම්භ කෙරුනේ රෆා පන්සලේ ඇති බුද්ධ මන්දිරයේදී ගිලම්පස බුද්ධ පුජාවක් පැවැත්වීමෙනි. අනතුරුව පැමිණ සිටි සැම තිසරණ සහිත පංච ශීලය සමාදම්වී තෙරුවන් වන්දනා කළහ.

තම මව්බිමෙන් බොහෝ දුර බැහැර තමන්ට නුහුරු නුපුරුදු පරිසරයක රැකියා කරන ශ්‍රී ලාංකික සැමදෙනා හටම ඉමහත් අස්වැසිල්ලක් ගෙනදෙන කුටක කාන්තාරේ සුපිපුණ සුගන්ධිත පුෂ්පයක් වන් "රෆා අපේ පන්සල" බෞද්ධ මධ්‍යස්ථානය මෙලෙසින් පවත්වාගෙන යන්නේ ඉතාමත් අසීරු වාතාවරණයක් යටතේය. මෙවර පොසොන් පින්කමේ, පහන් කුඩු නිර්මාණයේ සහ දන්සැලේ වැඩ කටයුතු සඳහා මෙන්ම බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහාත් විවිධාකාරයෙන් තම අගනා කාලය, ශ්‍රමය සහ මිලමුදල් වැය කරමින් සහයෝගය දක්වන සියලුම දෙනාටත් පිංකම සඳහා සහභාගිවූ විශාල සැදැහැවතුන් පිරිසටත් සංවිධායකයෝ පුන්‍යානුමොදනා කළහ.