රත්මලේ පුඤ්ඤරතන හිමියන්ට අක්තපත්‍ර පිරිනැමේ

tmadawela | 27 Jan, 2016 10:04AM | Leave a comment
යක්කල සමාධි ධර්මායතනය හා ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරය යන උභය විහාරාධිපති පුජ්‍ය ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමියන්ට සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන යන ගෞරව නාමය සහිතව ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය ප්‍රධානය කිරීමේ පුන්න්‍යෝත්සවය පසුගියදා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රීසුමංගල මහනාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මල්වතු මහාවිහාර උපෝෂථාගාරයේදී පැවැත්විණි.

එහිදී අනුශාසනාව පැවැත්වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ " යුරෝපය පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇතිව තිබෙන මෙම කාල වකවානුවේ දක්ෂ අධ්‍යාත්මික ගුරුවරයෙකු වශයෙන් රත්මලේ පුඤ්ඤරතන හිමියන් යුරෝපයේදී සිදුකරන ශාසනික මෙහෙවර සුවිශාල" යැයි පැවසුහ.

විමලධම්ම හිමියෝ තවදුරටත් මෙසේද පැවසුහ. " රත්මලේ පුඤ්ඤරතන හිමියෝ සිය දායක කාරකාදීන් සම්බන්ධ කරගනිමින් දෙස් විදෙස්හි ධර්ම ප්‍රචාර කටයුතු වල නිරතවීම මහා සංඝ රත්නයේ පමණක් නොව සියලුම දෙනාගේ ආශිර්වාදයට පත්වන කරුණකි. උන්වහන්සේගේ මෙම ශාසනික සේවාව මල්වතු පාර්ශ්වයේ අගැයීමට පත්වූ අතර දායක කාරකාදීන්ගේ ගෞරවනීය ඉල්ලීම පරිදි මෙම ගෞරව නාමය උන්වහන්සේ වෙත පිරිනැමීමට කටයුතු කෙරුනි. මහා සංඝරත්නය සාමුහික කොට උන්වහන්සේ යහපත්, ධර්ම හා ශාස්ත්‍රීය කටයුතු සඳහා යොදා ගනිමින් අගන සේවයක් ඉටුකර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය වෙත විනයානුකුල භික්ෂු ශිෂ්‍යයන් දායාද කරමින් බුදුසසුනේ උන්නතිය උදෙසා උන්වහන්සේ සිදුකොට ඇති මෙහෙවර ප්‍රශංසනීයයි. ගම්පහ හා යක්කල ප්‍රදේශයේ ගිහි සැදැහැවතුන් වෙත ශාසනික කටයුතු සඳහා නිසි මාර්ගෝපදේෂකත්වය ලබාදෙන පුඤ්ඤරතන හිමියෝ සිය ශාසනික මෙහෙවර ජර්මනිය වැනි රටවලද ව්‍යාප්ත කරලීම උදෙසා දරනා උත්සාහය අපගේ ප්‍රසංශාවට පත්වන කරුණකි."

පිංකම සඳහා සහභාගිවූ ස්වීඩනයේ ස්ටොක්හොල්ම් බෞද්ධ විහාරාධිපති ස්කැඩිනේවියානු රටවල ප්‍රධාන සංඝ නායක පුජ්‍ය කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමියෝ " අද දින අධිකරණ සංඝ නායක තනතුර ලබන පුඤ්ඤරතන හිමියෝ විවිධ දුෂ්කරතා මත තම පැවිදි දිවිය සාර්ථක කරගත් හිමිනමක් බවත්, ඒ නිසාම උන්වහන්සේගේ ධර්මදුත සේවයද සාර්ථක වී තෙබෙන බවත්, උන්වහන්සේට කරුණාව හා මෛත්‍රිය මෙන්ම ඕනෑම ප්‍රශ්නයක් දෙස පටු ආකල්ප වලට මැදි නොවී පුළුල්ව මැදිහත්ව බැලීමේ මනසක් ඇති බවත්, යුරෝපයේ ජනප්‍රිය ධර්ම දුතයෙකු ලෙසට උන්වහන්සේ ඉටුකරන කාලින සේවය හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් ලැබී තිබෙන බවත්" පැවසුහ. තවදුරටත් අදහස් දැක්වූ ධම්මරතන නාහිමියෝ " අපගේ භික්ෂු සමාජය දිනෙන් දින සංවර්ධනය වන නිසා කලානුරුපීව විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවනවා. එවිට ඒ ඒ යුගවල උගත් සිල්වත් නාහිමිවරුන් මෙන්ම සමාජය පිළිගත් ප්‍රභූන් ඉදිරිපත්ව ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම සිදුවුවා. වර්තමානයේත් ඉස්මතුවී තිබෙන්නේ එවැනි කාලීන අවශ්‍ය තාවයක්. වර්තමානයේ ථෙරවාදී භික්ෂු කතිකාවත් පනතක් පිළිබඳව විශාල කතා බහක් ඇතිවී තිබෙනවා. විවිධ පුද්ගලයින් එක එක දෘෂ්ටිකෝණවලින් ඒදෙස බලමින් අදහස් ප්‍රකාශ කරන බව අසන්නට ලැබෙනවා. කෙසේවෙතත් සංඝ සමාජය විසින් සකස්කරනු ලබන කතිකාවතකට උවද රටේ පිළිගත් නීතිමය බලයක් අවශ්‍ය වනවා. නොයෙක් දේගැන උපකල්පනය කරමින් මේගැන අදහස් පළකිරීමෙන් ඵලක් ඇතිවන්නේ නැහැ. සියලුදෙනාම යථාර්තයට මුහුණ දිය යුතුයි. වර්තමාන භික්ෂු සමාජයට කිසියම් සම්මුතියක් අත්‍යාවශ්‍යයි. එසේ නොවුවහොත් වැලිවිට සරණංකර සංඝරාජයාණන් වහන්සේ ඇතිකළ ශාසනික ප්‍රබෝධය ආපස්සට හැරී 17 වන 18 වන සියවස්වල පැවතියාක් වැනි අඳුරු යුගයක් යලිත් වරක් අපරට තුල බිහිවේවි. මෙහිදී රජය ඍජු අත පෙවීමකට වඩා අනුග්‍රහය දැක්වීමට තීරණය කළහොත් ඇතිවියහැකි ප්‍රශ්න වැළක්විය හැකිබව අපගේ වැටහීමයි යනුවෙන්ද අනවබෝධය නිසා ප්‍රශ්න අවුල් වන බවත්, විනය යනු සංවර්ධනය වීම නිසා විනය නීති පැනවුවත් ඒවා බුදුන් වහන්සේගේ ධර්මයට පටහැනි නොවන ආකාරයට පැනවූ බවත්, කලානුරුපව සමාජ අවශ්‍යතා මත මුලික සිද්ධාන්ත නොසිඳෙන ආකාරයට සම්මුති ඇතිකර ගැනීම වරදක් නොවන බවත්, පැහැදිලි සමාජ විඥානයක් ඇතිව දේශනාකර ඇති බෞද්ධ දර්ශනය පිළිබඳව අද බටහිර ලෝකයේ උගතුන් පවා පිළිගෙන ඇති බවත්, ඒ නිසාම යුරෝපය පුරා බුදුදහම පිළිබඳව ප්‍රබෝදයක් ඇතිවී තිබෙන බවත්, පුඤ්ඤරතන හිමියන් එම ප්‍රබෝධය වැඩිදියුණු කිරීමෙහිලා වැදගත් සේවයක් ඉටු කරන බවත්, දශක දෙකකට ආසන්න කාලයක් ධර්මදුත මෙහෙවරෙහි යෙදෙන උන්වහන්සේ තුල විවිධ බෞද්ධ සම්ප්‍රදායන් පිලිබඳ පුළුල් අවබෝධයක් ඇති බවත්, උන්වහන්සේ නවීනකරණය වන ගෝලීය සමාජය පිළිබඳවද මනා වැටහීමක් හා දැනුමක් ඇතිව එම වෙනස්වීම් සඳහා මුහුණපෑමට හැකි ශක්තියක් ඇති තරුණ යතිවරයාන් වහන්සේ නමක් බවත්" " සඳහන් කළහ.

පින්කම සඳහා පැමිණ සිටි දෙස් විදෙස් දායකයින් වෙනුවෙන් කතාකල ලක්බිම පුවත්පතේ ප්‍රධාන උප කර්තෘ ධර්ම ශ්‍රී තිලකවර්ධන " බටහිර ලෝකයේ බොහෝදෙනෙකු පෙර කාලවලට වඩා අද බෞද්ධ දර්ශනය හැදෑරීමට පෙළඹී සිටිනවා. ඔවුන් මුහුණ දෙන සංකීර්ණ ප්‍රශ්න සඳහා විසඳුම් ඇත්තේ බුදුදහම තුල බව ඒ අය අවබෝධ කරගෙන තිබෙනවා. එවැනි උගතුන් හා විවිධ ගවේශකයින් ඉදිරිපත් කරන ගැටළු සහගත විමසීම් සඳහා පැහැදිලි පිළිතුරු ලබාදීමට තරම් පුඤ්ඤරතන හිමියන් ධර්මය මෙන්ම අනෙකුත් සම්ප්‍රදායයන් හා සමයාන්තර දර්ශන පිලුබඳවත් මනා අවභෝධයක් ඇති හිමිනමක් වීම නිසා උන්වහන්සේගේ ධර්මදුත වැඩකටයුතු මෙතරම් සාර්ථකත්වයට පත්ව තිබෙනවා. උන්වහන්සේ කරුණාවන්ත තරුණ භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ කරුණා සමාධි සංවිධානය බිහිකර ශ්‍රී ලංකාවේ අග හිග කම් ඇති පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය නැංවීම සඳහා විශාල මෙහෙයක් ඉටු කරනවා." යැයි පැවසුවේය.

මල්වතු පාර්ශ්වයේ වැඩබලන ලේකකාධිකාරී පහමුණේ සුමංගල, අලුත්කුරු කෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලේ සෝමරතන, පොලොන්නරුව තමන්කඩුව දෙපලාතේ ද්විතීය සංඝනායක ලිඳකුඹුරේ සොභිට යන නාහිමිවරුන්ද අනුශාසනා කළහ. මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමි ප්‍රධාන කාරක මහා සංඝ සභාවේ නාහිමිවරුන්, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය වෑගම පියරතන, වත්මන් උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි, උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක දේදුනුපිටියේ උපනන්ද, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විහාරාධිපති මාරතුගොඩ උපරතන, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විහාරස්ථානයේ හිටපු විහාරාධිපති කිරිඳිගල්ලේ ඥානරතන, ප්‍රංශයේ සමාධි විහාරාධිපති තලංගල්ලේ සුමංගල, ඇමෙරිකාවේ විහාරවාසී හවන්පොල ධම්මසාර, පොලොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක කටුගම්පලගම පියරතන, හාරසිය පත්තුවේ උප සංඝනායක මාරතුගොඩ ධම්මානන්ද, දෙකටන නාමළුව පුරාණ විහාරාධිකාරී වෙන්නවත්තේ රතනජෝති, ජර්මනියේ මියුනික් විහාරාධිපති කන්නිමහර පියසිරි යන හිමිවරු සමඟ ජර්මන් සහ ඩෙන්මාර්ක් ජාතිකන් ඇතුළු විශාල පිරිසක් මෙම පිංකම සඳහා සහභාගිවුහ.