Gee Amaa 2015 - featuring Dr. Victor Rathnayake & Sunil Edirisinghe / Full Gallery

Admin | 26 Sep, 2015 11:27AM | Leave a comment
Gee Amaa 2015 - featuring Dr. Victor Rathnayake & Sunil Edirisinghe

ගී අමා පෑ සොබා......

උතුරැ ලංඩනයේ වෙසෙන අප, දකුණු , නිරිත හෝ ගිණිකොන ලංඩනයට යැවෙන්නේ බොහෝමත්ම කලාතුරකිනි. ඒත් ඒ විශේෂිතම හේතුවක් තිබුනොතින් පමණි.

සුන්දර තේම්ස් නදිය තරණය කොට මා ඉහත කී ප්‍රදේශ වලට උතරැ ලංඩනයේ සිට ළඟා වීම ලංකාවේ කතරගම යනවා වැනි කටයුත්තකි. සතියේ දිනක සේවා වැඩ මුර ආරම්භ වන හා අවසාන වන හෝරාවල නම් මේ සඳහා පැය දෙක තුනක් අනිවාර්‍යයෙන්ම වෙන් කළ යුතුය. සති අන්තයේ තත්වය නම් මඳක් ලිහිල්ය.

එහෙත් මේ මා සදහන් කළේ මහා මාර්ගවලින් එහි ළඟාවීමේ අපහසුතාවය වුවත් දුම්රියෙන් ඉතාමත් පහසුවෙන් ඒ ප්‍රදේශ වලට යාමේ හැකියාව ඇතිබවත් මේ මොහොතේ මතක් කළ යුතුය.

සැප්තැම්බර මාසයේ දහනම වෙනිදා එනම් පසුගිය සෙනසුරාදා සැන්දෑ යාමයේ අපට යායුතුව තිබුණේ වුලිච්( Woolwich) ප්‍රදේශයටයි. Woolwich පිහිටා තිබෙන්නේ තේම්ස් ගංඟාවේ දකුණුබඩයි. එහි ළඟා වීමට තේම්ස් නදිය තරණය කළ හැකි මාර්ග දෙකක් තිබිණි. එකක් වූයේ ගඟට යටින් තනා තිබෙන Black Wall Tunnel නම්වූ උමං මගයි. අනෙක නම් ගඟ හරහා ක්‍රියාත්මක වූ පාරැවයි. ( Woolwich Ferry)

පාරැවෙන් එගොඩවිය හැකි තොටුපළ අප යායුතු ස්ථානය අද්දරම වූවත් පාරැවේ සාමාන්‍යයෙන් ඇති තදබදය අත්දැකීමෙන් දැනවුන් අප ගමනට පැය දෙකක් පමණ තබා කලින්ම උතුරැ ලංඩනයෙන් පිටත්ව ගඟ තරණය කිරීම සඳහා බ්ලැක්වෝල් ටනලය පාවිච්චි කිරීමට තීරණය කළෙමු.

කෙසේ හෝ හෝරාවකට වැඩි කාලයකින් පසු අපට අවශ්‍ය ස්ථානයට සේන්දු වන්නට හැකි වුණි. ඒ වනවිටත් වුලිච්හී ගේට්වේ හවුස් ශාලාව අබියස සහෘද රසික කැළ යහමින් රොදබැඳ සිටියහ. තවද ඒ අවට මාර්ග දිගේ තම තමන්ගේ වාහන අවට වීදිවල හා රථ ගාල් වල ගාල් කළ තවත් පිරිස් පා ගමනින් ශාලාව දෙසට ඇදෙමින් උන්හ. අපද ලහි ලහියේ සුන්දර තේම්ස් නදිය පිස හමා ආ මදනලේ පහස විඳිමින්ම ඒ ජන ගඟ හා එක්වීමු.

සවස 5:30 ට සංදර්ශනය ආරම්භ කිරීමට නියමිතව තිබූවත් දොරටු විවෘත කරන විටත් 5:30 පසුවී තිබිණි.

ඒ පිළිබඳව සිතේ යම් කහටකින් ශාලාවට ඇතුළු වූවත් එහි වූ වේදිකාව හා ආසන පනවා තිබූ පිළිවෙල ඒ අමනාපය සැනෙකින්ම මගේ සිතින් අතුගා දැමීමට සමත් වුණි.

මට එකවරටම සිහියට නැගුනේ විසල් පාපන්දු හෝ ක්‍රිකට් ක්‍රීඩාංගනක සුඛෝපභෝගී ගෘහස්ත ක්‍රීඩාගාරයකි.

දැවැන්ත වේදිකාව සැමටම පේන අයුරින් පහතින් පිහිටි අතර අසුන් පේලීන් ක්‍රම ක්‍රමයෙන් ඉහලට යමින් ශාලාවේ පිටුපසටම විහිදී තිබිණි. ශාලාව ඇතුලට වන් මහා ජනකාය තැන තැන විසිරී ස්ථානගත වූයේ බොහෝ හිස් ආසන තැන තැන ඉතිරි කරමිනි. තව බොහෝ පිරිසකටද ඉඩ පහසුකම් තිබිණි.

වේදිකාව පිටුපස තිරය හා ඉදිරි පස තිරය ඉතාමත්ම දැකුම්කළු විය. බිත්ති හා පොලොව සාදා තිබුනේ කිසිදු දෝංකාරයක් ( Eco) නොනැගෙන පරිදි හා ශබ්ධය හොඳින් ප්‍රක්ෂේපනය කරන ද්‍රව්‍ය වලින් හා නවීන ශබ්ධ පරිපාලන ක්‍රමවේදයන් භාවිතයට ගනිමිනි. ශාලාව දුටු පමණින්ම අද නම් හොඳ ප්‍රමිතියකින් යුත් සංගීතයකට සමවැදිය හැකිබව අපට සිතිණි. ආසන පේලි අතර ඉඩ ප්‍රමාණය( leg space) මදක් අඩුවූවත් අනෙකුත් ධනාත්මක ගුණාංග ගැන සිතා ඒ ගැන අමතක කර දැමුවෙමු.

දැන් මේ සටහන කියවන ඔබගේ සිතෙහි යම්කිසි කුකුසක් ඇතිවී තිබෙන බව මම දනිමි. අප මේ හරිබැරි ගැහෙමින් හා දතකට මැදගෙන සූදානම් වන්නේ කුමක් නැරඹීම උදෙසාද? මදක් ඉවසා සිටින්න. දැන් මම , එය ඔබට පැහැදිලි කර දෙන්නම්.

" ගී අමා " එයයි මේ ප්‍රසංගයේ නම. ලංඩනයේ අති සාර්ථකව තම තුන්වැනි ගී අමා සංදර්ශනය මෙවරත් සංවිධානය කෙරැනේ එංගලන්තයේ ආට් ලංකා පදනමේ සාදර අනුග්‍රහයෙන් , එමලි ගුණවර්ධන අරමුදලේ අරමුදල් තර කිරීමේ ඉතාමත්ම උතුම් සිතිවිල්ල පෙරදැරි කරගෙනයි.

ආට් ලංකා පදනමේ නිර්මාතෘවරැන් වූ පියවිජය ෆොන්සේකා මහතා සහ ප්‍රවීණ රංගන වේදිණී ප්‍රේමා ගනේගොඩ මැතිණිය සංදර්ශනයේ ප්‍රධාන සංවිධායක ප්‍රසාද් ඔලෑන්ඩෝ මහතා සමග එක්ව සියළුම කටයුතු මැනවින් සම්පාදනය කොට තිබිණි.

එමලි ගුණවර්ධන අරමුදලේ නිර්මාතෘ එමලි ගුණවර්ධන මැතිණිය, ඇයට අවුරැදු දහතුනේදී මෙම අරමුදළ පුංචි පැලෑටියක් රෝපණය කරන්නාසේ පිහිටුවාගත් අතර අද දිනයේ එය අතු පතර දසත විහිදුවා ගත් මහා වෘකෂයක් සේ වර්ධනය වී ඇත. මෙයින් කෙරෙන්නේ ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ දරැවන්ට තම අනාගතය සාර්ථක කරගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දීමයි. එහෙයින් මෙම සංදර්ශනය නැරඹීමට යාමෙන් අප කාරණා දෙකක් සම්බන්ධයෙන් සතුටු විය හැකි වාසනාවන්තයන් බවට පත් වීමු. එනම් සංගීතය රස විඳීම මෙන්ම මෙවැනි අරමුදලකටද දායක වීමට හැකි වීමයි.

මේ අතර සියළුම රසිකයන් අසුන් ගෙන සිටියත් සංදර්ශනය ඇරඹෙන සේයාවක් පෙනෙනතෙක් මානයකවත් දක්නට නොලැබණි. හේතුව සොයා බැළූ විට දැනගන්නට ලැබුනේ ශබ්ද පරිපාලනය හා නාද ශික්ෂණය පිළිබඳව වූ ගැටළුවක් බවයි. මෙවැනි සංගීත සංදර්ශන වල මෙවැනි ගැටළු අරැමයක් නොවූ අතර සංගීතය රස විඳීමට සපැමිණි ප්‍රබුද්ධ රසික කැළ එය තේරැම් ගෙන ඇති අයුරැ කිසිදු නොසන්සුන්තාවයක් නොමැතිව සිටීමෙන්ම ගම්‍ය විය. ඔවුන්ට ඒ අතරවාරයේ කලකට පසුව මුණගැසූණු යහළු යෙහෙළියන් හා සතුටු සාමීචියේ යෙදීමට අවස්ථාවක් ලැබීම එයට යම් තරමින් හේතුවූවා විය හැක.

කෙසේ හෝ ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියැද්ද ප්‍රමුඛ වාද්‍ය වෘන්ධය වේදිකාවට අවතීර්ණ වීමෙන් අනතුරැව යුවතියකගේ හඬක් පසුබිමින් මතුවිය. ඇය ඒ මහා ප්‍රවීණ ගාන්දර්වයා වේදිකාවට හදුන්වා දෙත්ම ශාලාව සෙලවී යන තරමින් ඇසුණු අත්පොලසන් නාදය මධ්‍යයේ ආචාර්‍ය වික්ටර් රත්නායකයෝ වේදිකාවට ගොඩවූහ.

එතුමා, කුරිරැ දේශපාලනය විසින් ඉතා අඩු වයසින්ම අපෙන් උදුරාගත් ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන් විසින් රචිත ' තනි තරැවේ' ගීතයෙන් ඒ මහා සංගීත සංද්‍යාව ඇරඹූහ. අප සැම දෑස් පියාගෙන ඊට දැහැන් ගත වීමු. සුන්දර සිනහවකින් වත සරසාගත් එතුමා ඉන්පසු තවත් එලෙසම ජනතා හදවත් තුළ ලැගුම් ගත් ගීත තුනක් ගැයීමෙන් අනතුරැව වේදිකාවෙන් මොහොතකට සමුගනිද්දී තවත් එලෙසින්ම ජනතාව ආදරය කරන ගීත ලොවේ පහන් ටැඹක් බඳුවූ සුනිල් එදිරිසිංහයෝ වේදිකාණාරෑඩ වූහ.

සුනිලුන්ද ඉතාමත්ම ප්‍රසන්නව රසික කැළ අමතමින් එතුමන්ට වික්ටර් රත්නායකයන් තනු නිර්මාණය කර දුන් සහ එතුමන් මාතර ආච්චී චිත්‍රපටයට තමන්ගේ ප්‍රථම ගීතය ලෙස ගැයූ ' සදකඩ පහනක කැටයම් ඔපලා' ගීතය ඉතාමත්ම මධුර ලෙස ගැයූහ. එම ගීතය ලියූවේ වොලී නානායක්කාරයන් බව සඳහන් කිරීමටද එතුමන් අමතක නොකලේය.

ඉන්පසු යමන් රාගයෙන් නිර්මාණයවූ ' හදේ කොතනක හෝ හිදී ඔබ' ගීතය ගයා එම රාගයෙන්ම නිර්මිත වෙනත් ගායකයන් ගැයූ ගීත කිහිපයකම කොටස් ගයා රසිකයන් කුල්මත් කළේ ශාලාව දෙදරා හැළුනු අත්පොලසන් නාදය මධ්‍යයේය.

මෙලෙසින් දෙදෙනාම වරින් වර වේදිකාවට පැමිණ ගීත සතර බැගින් ගැයූහ. ඒ ගී සියල්ලේම නැතත් පුළු පුළුවන් වෙලාවට ගීතයට දායකවූ ගේය පද රචකයන් හා සංගීත වේදීන්ද ගෞරව සම්ප්‍රයුක්තව සිහිපත් කිරීමට ඔවුන් දෙපළම උනන්දුවීම පැසසුම් සහගතය.

රසිකයින් සමග විහිළු තහළු කරමින් ගීත ගැයීම ඉතාමත් ජීවමාන අයුරින් ගෙනයාමට ඔවුන් දෙපලම සමත් වූහ.

විවේක කාලයෙන් පසු එලැඹියේ සංදර්ශනයේ කූටප්‍රාප්ති අවස්ථාව කියූවොත් මා නිවැරදිය. එවර ආචාර්‍ය වික්ටර් රත්නායකයන් හා විශාරද සුනිල් එදිරිසිංහයන් දෙපලම එකම විටම වේදිකාවට නැග අසුන් ගත්හ. මේ වෙන්නට යන අරැමය කුමක්දැයි අප සැවොම තුල වූයේ කුතුහලයකි.

මුලින්ම ගී ගැයීම ඇරඹූ සුනිලුන් ' දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ' යන මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන් රචනා කළ මව් ගුණ ගීතය ගායනා කළේය. එම ගීතය අවසන්වනවාත් සමගම වික්ටර් රත්නායකයන්, ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන් ලියූ ' ආදරයේ උල්පත වූ අම්මා' ගීතය ගැයීය.

ඉන්පසු සුනිලුන් බොහෝ ශාස්ත්‍රීය අලංකරන ඇති ' හංසරාජිණී' ගීතය ගයද්දී එයට පිළිතුරැ වශයෙන් එවැනිම අලංකරන වලින් යුතු ' හෝපළු වන පෙත' ගීතය විකටර් රත්නායකයන් ගැයූහ. මෙම ගීත වලදී බටනලා වාදක ප්‍රියන්ත දසනායකයන් හා තබ්ලා වාදක නිහාල් කලුබෝවිලයන් යන මහා කුසලතා පිරි කලාකරැවන් පෑ පෙලහර එය නැරඹූ රසික ප්‍රජාව කුල්මත් කළ අතර ඒ මතකය ඔවුන්ගේ හද සන්තානයන්හී සදා නොමැකෙන මතකයක් බවට පත් වනබව මට හොඳින්ම විශ්වාසය.

ඉන්පසු වික්ටර් රත්නායකයන් වේදිකාවෙන් බැසගිය අතර සුනිල් එදිරිසිංහයන් සංදර්ශනයේ තම අවසාන ගීත කිහිපය ඉදිරිපත් කොට ' කවුරැන්ද ඔබ මගේ කවුරැන්ද මා ඔබේ' ගීතය අවසානයටම ගයා වේදිකාවෙන් සමුගෙන යද්දී සැමගේම සිත් වේදනාවෙන් බරවී යනු ඒ අතිවිශාල අත් පොලසන් නාදය මධ්‍යයේ ඔවුන් හෙළූ සුසුමින් මම හැඳිණ ගතිමි.

වික්ටර් රත්නායකයන්ද ඉන්පසු වේදිකාවට ගොඩවූයේ තම අවසන් ගීත කිහිපය ගැයීමටයි. එහිදී එතුමා ' දෛවයෝගයකින් නොවේ අප හමුවුනේ' ගීතය ගයද්දී ලීඩ් ගිටාර් වාදක මහේන්ද්‍ර පැස්කුවල් තම ගිටාරයෙන් පෑ පෙලහර ප්‍රේක්ෂකාගාරය අමන්දානන්දනයට පත් කිරීමට සමත්විය. එය නෑසූ කෙනෙකු ඇතිනම් එය තම ජීවිතයේ ලැබූ මහා අඩුපාඩුවක් යැයි මම කියමි. එය ඒ තරමටම ලස්සනය. මට ගුත්තිල පඬිතුමන්ගේ වෙන වැයුම මතක් වුණි.

තම අවසන් ගීතය ලෙස ලංකාවේ ජාතික ගීයට පමණක් දෙවැනිවන ' අපි ඔක්කොම රජවරැ' ගීතය ගයද්දී ශාලාවේ වුන් සියළුම සහෘද කැළ එතුමා හා ගායනයෙන් එක්වූ අතර එහි අත්වැල් ගායනයට සුනිල් එදිරිසිංහයන් නිහතමාණීව එක්වීමද සැමගේම නෙතට කඳුළක් කැන්දූ කරැණක් විය.

සංදර්ශනය ජාතික ගීය ගයා අවසන්වූ අතර ආට් ලංකා පදනමේ ප්‍රේමා ගනේගොඩ මැතිණිය සහ පියවිජය ෆොන්සේකා මහතා අප ප්‍රවීණ ගායක දෙපලට මණරම් මල් පොකුර බැගින් දී තම ප්‍රණාමය පුදකළහ. එමෙන්ම ලංකාවෙන් සපැමිණි සුරේෂ් මාලියැද්ද ප්‍රමුඛ ප්‍රවීණ වාද්‍ය වෘන්ධයට හා ඔවුන් හා සමානවම තම දායකත්වය ඉතාමත්ම අපූරැවට සංදර්ශනයට මුහු කළ එංගලන්තයේ වෙසෙන වාද්‍ය සගයන්ටද තිලින ප්‍රධානය කරමින් උපහාරය පුද කිරීමද ඉතාමත්ම ප්‍රසංසනීයය.

මේ අතර තවත් ඉතාමත්ම නිහතමාණී හා ආදර්ශමත් ක්‍රියාවක් නරඹන්නන් අතරේ සිදුවිය. එය මේ මොහොතේ සඳහන් නෙකොලොත් එය මහාම මහා ගුණමකු කමකි. එනම් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් තුමා පස්වැනි පේලියේ පමණ හිඳ ජනතාව සමඟ මුහුවී සංදර්ශනය නැරඹීමයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ ඉදිරි පෙළේ වෙන් කළ අසුනකට ප්‍රමාද වී පැමිනෙන මෙවන් රාජ්‍ය නායකයකු ජනතාවගෙන් දුරස් වී වෙනම ලොවක සිටිණු දක්නට ලැබීමයි. එහෙත් එතුමා නිහතමාණීව ජනතාව අතර සිට සාමාන්‍ය පුරවැසියකුසේ සංදර්ශනය රස වින්ඳේය. මෙය ලංකාවේ දේශපාලකයන්ට ආදර්ශයක් වේවා!

අවසානයේ වික්ටර් රත්නායකයන් හා සුනිල් එදිරිසිංහයන් රසිකයින් හා සුහදව සතුටු සාමීචියේ යෙදෙමින් ඔවුන් හා ඡායාරෑපවලටද පෙනීසිටින අයුරැ දක්නට ලැබිණි.

රාත්‍රී දහයට පමණ සංදර්ශනය නිමවූ අතර ඉතාමත්ම සාර්ථක හා සංගීත හා ගායන රසයෙන් අනූන සංගීත සංදර්ශනයක් නැරඹීමේ භාග්‍ය ලත් තෘප්තිමත් රසික කැළ මහත්වූ සොම්නසින් යුක්තව තම තමන්ගේ නිවෙස් කරා ඇදී යනු ඉතාමත්ම සතුටින් යුතුව තේම්ස් නදිය පිස හමා ආ ඒ රාත්‍රී සීතල සුළං කැරැල්ලක පහස විඳිමින් මම බලා සිටියෙමි.

සටහන: චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

Photography by Praneeth Hettiarachchi

Follow - Praneeth Hettiarachchi Photography | www.praneeth.co.uk